
ශ්‍රී ලංකාව තුළ BYD සහ Denza වාහන මිලදී ගන්නා පාරිභෝගිකයින් උදෙසා සුවිශේෂී මූල්‍ය විසඳුම් සැපයීම වෙනුවෙන් හැටන් නැෂනල් බැංකුව සහ John Keells CG Auto සමාගම සිය හවුල්කාරිත්වය තවදුරටත් ශක්තිමත් කර ඇත. මෙමගින් පාරිභෝගිකයින්ට ඉතා සහනදායී මෙන්ම නම්‍යශීලී ලීසිං පහසුකම් රැසක් හිමිවන අතර, පරිසර හිතකාමී වාහනයක හිමිකාරිත්වය පහසුවෙන්ම ලබා ගැනීමට ද අවස්ථාව සැලසේ.
මෙම අවබෝධතා ගිවිසුම හරහා ශ්‍රී ලංකාව තුළ විදුලි සහ හයිබි්‍රඩ් වාහන භාවිතය වඩාත් ජනප්‍රිය කරවීම වෙනුවෙන් පාරිභෝගිකයින්ට සුවිශේෂී දීමනා රැසක් හිමිවේ. එමෙන්ම, මෙරට තුළ සීඝ්‍රයෙන් වර්ධනය වන තිරසාර ප්‍රවාහන අවශ්‍යතාවලට සහාය වෙමින්, නවීනතම මෝටර් රථ මිලදී ගැනීමේදී පාරිභෝගිකයාට වැඩි මූල්‍ය නම්‍යශීලීත්වයක් ලබා දීමට ද මෙම හවුල්කාරීත්වය ඉඩ සලසයි.
මෙම හවුල්කාරිත්වය යටතේ, වසර හතක් දක්වා විශේෂ ලීසිං අනුපාත සමඟ නම්‍යශීලී අවශේෂ අගය ගෙවීමේ ක්‍රමවේද පාරිභෝගිකයින් වෙත පිරිනැමීමට HNB පියවර ගෙන ඇත. මීට අමතරව, පළමු වසර සඳහා වාර්ෂික ගාස්තුවෙන් නිදහස් HNB ක්‍රෙඩිට් කාඩ්පතක් සහ HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් වෙතින් සහනදායී වාහන රක්ෂණ වාරික ද පාරිභෝගිකයින් වෙත හිමිවේ.
මේ පිළිබඳව අදහස් දක්වමින් HNB ප්‍රධාන මෙහෙයුම් නිළධාරී සන්ජේ විජේමාන්න මහතා පැවසුවේ “ශ්‍රී ලංකාවේ වාහන වෙළෙඳපොළ නව්‍යකරණය, කාර්යක්ෂමතාව සහ පරිසර හිතකාමී ප්‍රවාහන ක්‍රමවේදයන් ඔස්සේ නව යුගයකට පිවිසෙමින් තිබෙනවා. John Keells CG Auto සමඟ ඇති කරගත් මෙම හවුල්කාරිත්වය මගින් විශ්වාසනීය මූල්‍ය ක්ෂේත්‍රයේ පළපුරුද්ද සහ ජාත්‍යන්තරව පිළිගත් මෝටර් රථ තාක්ෂණය එක් කිරීමට හැකි වන අතර එමගින් පාරිභෝගිකයින්ට වටිනා වරප්‍රසාද රැසක් සමඟින් සහනදායී මූල්‍ය විසඳුම් ඔස්සේ BYD සහ Denza වාහන හිමිකර ගැනීමට අවස්ථාව සැලසෙනවා. මෙම පියවර, දිවයිනේ ප්‍රමුඛතම වාහන මූල්‍යකරණ අත්දැකීමක් පාරිභෝගිකයා වෙත සමීප කිරීමට HNB හි කැපවීම මැනවින් පෙන්නුම් කරනවා.” යනුවෙනි.
“BYD සහ Denza යනු ජාත්‍යන්තර වශයෙන් ඉහළ පිළිගැනීමක් ඇති ලෝක මට්ටමේ මෝටර් රථ නවෝත්පාදනයන්. HNB සමඟ ඇති කරගත් මෙම හවුල්කාරිත්වය හරහා පාරිභෝගිකයින්ට වාහනය මිලදී ගන්නා මොහොතේ සිටම සුවිශේෂී අත්දැකීමක් විඳගත හැකි අතර ආකර්ෂණීය මූල්‍ය පහසුකම් සමඟින් නොමිලේ ලබාදෙන charge කිරීමේ පහසුකම්, නඩත්තු සේවා සහ හදිසි අවස්ථාවකදී ලැබෙන මාර්ගස්ථ සහාය වැනි ප්‍රතිලාභ රැසක් හිමි වීම හේතුවෙන් මෙය ශ්‍රී ලංකාව තුළ නවීනතම වාහනයක හිමිකාරිත්වය අපේක්ෂා කරන්නන්ට කදිම අවස්ථාවක්.” යනුවෙන් John Keells CG Auto ප්‍රධාන විධායක නිලධාරී චරිත් පණ්ඩිතරත්න මහතා සඳහන් කළේය.


