ඇට්ලස් ඇක්සිලියා සහ නාලන්දා විද්‍යාලය එක්ව ශ්‍රී ලංකාවේ නව පරපුරේ නවෝත්පාදකයන් සහ ව්‍යවසායකයන් බිහි කිරීමේ අරමුණින් ‘Tinkering Lab’ මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

Tinkering Lab - 5 (LBN)

2026 නොවැම්බර් 05, කොළඹ: Hemas Holdings PLC සමූහයට අයත් අධ්‍යාපනය කේන්ද්‍ර කරගත් අනුබද්ධ සමාගමක් වන Atlas Axillia, නාලන්දා විද්‍යාලය සමඟ එක්ව එම විද්‍යාලයේ නාලන්දා නවෝත්පාදන කේන්ද්‍රය තුළ (Nalanda Innovation Center) ස්ථාපිත කළ ‘Tinkering Lab’ මධ්‍යස්ථානය පසුගියදා නිල වශයෙන් විවෘත කළේය.

Atlas Axillia සහ නාලන්දා විද්‍යාලය එක්ව මෙහෙයවනු ලබන මෙම වැඩසටහන සඳහා ඉන්දියාවේ Atal Innovation Mission (AIM) – NITI Aayog ආයතනයේ තාක්ෂණික විශේෂඥ දැනුම ද හිමිවන අතර, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ඒ සඳහා පහසුකම් සලසයි. නාලන්දා විද්‍යාලයේ ශත සංවත්සර ගොඩනැගිල්ල තුළ ස්ථාපිත කර ඇති මෙම පරිශ්‍රය මඟින් විද්‍යාව, තාක්ෂණය, ඉංජිනේරු විද්‍යාව සහ ගණිතය (STEM) මෙන්ම කලා ක්ෂේත්‍රය හා සම්බන්ධ ප්‍රායෝගික ඉගෙනුම් අත්දැකීම් පාසල් පරිසරය තුළම සිසුන්ට ලබා දෙයි.




විද්‍යාත්මක සංකල්ප නිර්මාණශීලී ගවේෂණය සහ ව්‍යවසායකත්වය සමඟ ඒකාබද්ධ කරමින්, පෙළපොත් තුළින් ලබාගන්නා න්‍යායාත්මක දැනුම ප්‍රායෝගික භාවිතය සමඟ සම්බන්ධ කිරීමට මෙම විද්‍යාගාරය කටයුතු කරයි. ඒ අනුව, රොබෝ තාක්ෂණය, කෘත්‍රිම බුද්ධිය (AI) සහ නිර්මාණාත්මක චින්තනය (Design Thinking) වැනි ක්ෂේත්‍ර ඔස්සේ අත්හදා බැලීම් සිදු කිරීමටත්, සැබෑ ලෝකයේ ගැටලුවලට විසඳුම් නිර්මාණය කිරීමටත් සිසුන්ට අවශ්‍ය සම්පත් සහිත පරිසරයක් මෙහි සකස් කර තිබේ.

මෙම පහසුකම විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් Hemas Holdings PLC සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී අශිෂ් චන්ද්‍රා මහතා මෙසේ අදහස් දැක්වීය.

“සැබෑ සවිබල ගැන්වීම ආරම්භ වන්නේ දරුවන්ට තමන්ගේ අනාගතය හැඩගස්වා ගැනීමට අවශ්‍ය මෙවලම් සහ ආත්ම විශ්වාසය ලබා දීම තුළින් වේ. පරම්පරා ගණනාවක් පුරා ශ්‍රී ලාංකික පාසල් දරුවන්ගේ මූලික ඉගෙනුම් අවශ්‍යතා සපුරාලන අධ්‍යාපනික මෙවලම් සමඟ Atlas Axillia ඔවුන් සමඟ රැඳී සිටියා. මෙම Tinkering Lab මධ්‍යස්ථානය එම ගමන්මගෙහි ඉදිරි පියවරක් ලෙස හැඳින්විය හැකියි. ඒ තුළින් දරුවන්ගේ කුතුහලය, නිර්මාණශීලීත්වය සහ අභියෝග හමුවේ නොසැලී සිටීමේ හැකියාව වර්ධනය කිරීමට අපි අපේක්ෂා කරනවා. තම අදහස් අත්හදා බැලීමටත්, ඒවා සැබෑ මූලාකෘති (Prototypes) බවට පත් කිරීමටත්, ව්‍යවසායකත්ව චින්තනයක් වර්ධනය කර ගැනීමටත් සිසුන්ට නිදහස ලබා දීම තුළින් ශ්‍රී ලංකාවට අවශ්‍ය ප්‍රායෝගික ගැටලු විසඳීමේ හැකියාවෙන් යුත් පරපුරක් බිහි කිරීමට මෙම වැඩසටහන දායක වනු ඇතැයි අප විශ්වාස කරනවා.”

නාලන්දා නවෝත්පාදන මධ්‍යස්ථානය සැලසුම් කර ඇත්තේ ආරම්භක අදහසක් ගොඩනැඟීමේ සිට එය මූලාකෘතියක් බවට පත් කිරීම සහ අවසාන සංකල්පය ඉදිරිපත් කිරීම දක්වා නවෝත්පාදන ක්‍රියාවලියේ සෑම අදියරකදීම සිසුන්ට මඟ පෙන්වීම ලබා දෙන ආකාරයෙනි. මෙහි පහසුකම් අතර DIY Innovation Lab, ත්‍රිමාණ මුද්‍රණය (3D Printing) සහ ඩිජිටල් නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය නවීන උපකරණවලින් සමන්විත උසස් නිෂ්පාදන විද්‍යාගාරයක් (Advanced Fabrication Lab) මෙන්ම වැඩිදියුණු කළ යථාර්ථය (Augmented Reality) සහ අතථ්‍ය යථාර්ථය (Virtual Reality), කලා සහ කෘෂි තාක්ෂණය සඳහා වෙන්වූ අවකාශ ද ඇතුළත් වේ.

මෙම තාක්ෂණික පහසුකම්වලට අමතරව පුහුණු කටයුතු සඳහා වෙන්වූ ස්ථාන, සාමූහිකව වැඩ කිරීමේ අවකාශ, ආයතනික රැස්වීම් ශාලාවක් සහ ව්‍යාපාරික අදහස් ඉදිරිපත් කිරීම සඳහා වෙන්වූ පහසුකමක් ද මෙහි ස්ථාපිත කර තිබේ. මෙම පහසුකම් සියල්ල එක්ව සිසුන්ගේ සන්නිවේදන හැකියාව, කණ්ඩායම් ක්‍රියාකාරිත්වය, ව්‍යාපෘති කළමනාකරණය සහ ව්‍යවසායකත්ව කුසලතා වර්ධනය කිරීමට සහාය වේ. එමෙන්ම, කර්මාන්ත ක්ෂේත්‍රයේ වෘත්තිකයන් සහ ආරම්භක ව්‍යාපාර (Startups) ප්‍රජාව සමඟ සම්බන්ධ වීමට ද සිසුන්ට අවස්ථා නිර්මාණය කරයි.

මෙම සහයෝගීතාව පිළිබඳව සිය ප්‍රසාදය පළ කරමින් ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් අතිගරු සන්තෝෂ් ජා මහතා මෙසේ පැවසීය.

“අධ්‍යාපනය, විද්‍යාව සහ නවෝත්පාදනය තුළින් අපගේ තරුණ පරපුර සවිබල ගැන්වීම සඳහා දෙපාර්ශ්වය තුළම පවතින පොදු අපේක්ෂාවන් සහ කැපවීම මෙම සහයෝගීතාවයෙන් පිළිබිඹු වෙනවා. ඉන්දියාවේ Atal Innovation Mission වැඩසටහන එරට පාසල් දහස් ගණනක් පුරා කුතුහලය සහ ගවේෂණය පදනම් කරගත් සංස්කෘතියක් ගොඩනැඟීමට දායක වී තිබෙනවා. Atlas සහ නාලන්දා විද්‍යාලය අතර ඇති මෙම සහයෝගීතාව තුළින් ශ්‍රී ලංකාවේ තරුණ දක්ෂතා වෙනුවෙන් Atal Innovation Mission හි තාක්ෂණික විශේෂඥ දැනුම, විශේෂිත විෂයමාලා සහ පුහුණු සහාය ලබා දීමට හැකිවීම පිළිබඳව අප සතුටු වන අතර නව තාක්ෂණයන්හි බලය ප්‍රයෝජනයට ගනිමින් නවෝත්පාදනයේ නියමුවන් බවට පත්වීමට මෙම වැඩසටහන කුතුහලයෙන් පිරි තරුණ මනසක් ඇති සිසුන්ට ආභාසයක් වනු ඇතැයි අප විශ්වාස කරනවා.”

නාලන්දා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු වන මහේල ජයවර්ධන මහතා, නාලන්දා විද්‍යාල ශත සංවත්සර කමිටුව නියෝජනය කරමින් මෙසේ අදහස් දැක්වීය.

“නාලන්දා විද්‍යාලය සිය අධ්‍යාපනික සහ ක්‍රීඩා විශිෂ්ටත්වයේ ශත සංවත්සරය සමරන මේ මොහොතේ, ඉදිරි වසර සියය වෙනුවෙන් අවශ්‍ය දේ පිළිබඳව අවධානය යොමු කිරීම අපගේ වගකීමක්. ලෝකය පෙර නොවූ විරූ වේගයකින් වෙනස් වෙමින් පවතින අතර, අපගේ සිසුන් අනුවර්තනය වීමේ හැකියාව, කණ්ඩායම් හැඟීම සහ නිර්මාණශීලීව අභියෝග භාර ගැනීමේ ධෛර්යය සහිතව පාසලෙන් පිටවිය යුතුයි. නාලන්දා නවෝත්පාදන මධ්‍යස්ථානයේ Tinkering Lab පහසුකම මඟින් නිර්භීත අදහස් අත්හදා බැලීමටත්, නව තාක්ෂණයන් සමඟ අත්දැකීම් ලබා ගැනීමටත්, කෘත්‍රිම බුද්ධියෙන් බලගැන්වෙන ලෝකයක නායකත්වය ලබාදීමට අවශ්‍ය හැකියාවන් ඉගෙන ගැනීමටත් අපගේ සිසුන්ට ලෝක මට්ටමේ වේදිකාවක් හිමි වෙනවා.”

ශ්‍රී ලංකාවේ පාසල් පද්ධතිය තුළ විශේෂිත STEM පහසුකම් සඳහා ඇති ප්‍රවේශය තවමත් සීමිත මට්ටමක පවතින පසුබිමක, නාලන්දා නවෝත්පාදන මධ්‍යස්ථානයේ මෙම Tinkering Lab පහසුකම අධ්‍යාපන ආයතන, කර්මාන්ත ක්ෂේත්‍රයේ හවුල්කරුවන් සහ ජාත්‍යන්තර ආයතන අතර සහයෝගීතාව තුළින් ප්‍රායෝගික හා තාක්ෂණය පදනම් කරගත් අධ්‍යාපනය සඳහා ඇති ප්‍රවේශය පුළුල් කළ හැකි ආකාරය පිළිබඳ වැදගත් ආදර්ශයක් සපයයි.



ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව