
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පෞද්ගලික බැංකුවක් වන HNB මෙරට කෘෂිකාර්මික ක්ෂේත්රය වෙනුවෙන් සංවිධානය කරනු ලබන 2026 Agri-TECH Startup Spark වැඩසටහනට සහය දැක්වීම සඳහා ලංකා ඉංජිනේරු ආයතනය (IESL) සමඟ පසුගියදා අත්වැල් බැඳගනු ලැබීය. මෙරට ගොවි ජනතාව මුහුණ දෙන ප්‍රායෝගික ගැටලුවලට තාක්ෂණය පදනම් කරගත් නවීන විසඳුම් සැකසීම සඳහා තරුණ නවෝත්පාදකයන් බලගැන්වීම සහ එමගින් දේශීය කෘෂිකර්මාන්තය නවීකරණය කිරීම මෙම හවුල්කාරීත්වයේ අරමුණ වී ඇත.
මෙම හවුල්කාරීත්වය යටතේ ලංකා ඉංජිනේරු ආයතනයේ තරුණ සාමාජික අංශය විසින් සංවිධානය කරනු ලබන කෘෂිකාර්මික වැඩපිළිවෙළ සඳහා HNB හි තිරසාරත්ව දෙපාර්තමේන්තුවේ දායකත්වයෙන් මූල්‍ය හා උපායමාර්ගික සහය ලබා දීමට නියමිතය. ඒ අනුව, රුපියල් මිලියන 1.2ක ආයෝජනයක් තුලින් විශ්වවිද්‍යාල මට්ටමින් බිහිවන කෘෂි-තාක්ෂණික නව නිපැයුම්වල මූලාකෘති සැකසීම, ක්ෂේත්‍ර පරීක්ෂණ, ව්‍යාපාරික පුහුණුව සහ සේවක ධාරිතාව වර්ධනය කිරීම සඳහා HNB මඟ පෙන්වනු ඇත. මෙමගින් අප රටේ ඉංජිනේරු දක්ෂතා, ගොවි ජනතාවගේ සැබෑ අවශ්‍යතා සහ ව්‍යාපාරික අවස්ථාවන් එකිනෙකට සම්බන්ධ කිරීමට අවස්ථාව සලසා දෙනු ඇත.
මෙම වැඩසටහන මගින් ශ්‍රී ලංකාව පුරා පිහිටි ප්රමුඛ පෙළේ විශ්වවිද්‍යාල නවයක සිසුන් එකම වහලක් යටට කැඳවනු ලබයි. මොරටුව විශ්වවිද්‍යාලය, රුහුණ විශ්වවිද්‍යාලය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය, යාපනය විශ්වවිද්‍යාලය, ගිනිකොණදිග විශ්වවිද්‍යාලය, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය, ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය, SLIIT සහ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය (KDU) මීට ඇතුළත් වේ. මුලින්ම මෙයට ඉදිරිපත් වූ සමස්ත නවක ව්‍යාපාර 90 අතරින් අවසන් වටය සඳහා තෝරාගත් තරඟකරුවන් 45 දෙනෙකු මීළඟ අදියරට සුදුසුකම් ලබා ඇති අතර. ඔවුන් ඉදිරි කාලය තුළ තම තාක්ෂණික සංකල්ප තවදුරටත් ඉහළ නංවා ගැනීමටත්, සැබෑ ගොවි බිම් ආශ්‍රිතව තම විසඳුම් පරීක්ෂා කර බැලීමටත්, අනාගත ව්‍යාපාරික අවස්ථාවන් සඳහා සූදානම් වීමටත් කටයුතු කරනු ඇත.
මෙම සුවිශේෂී හවුල්කාරීත්වය සම්බන්ධයෙන් අදහස් දක්වමින් HNB ජ්‍යෙෂ්ඨ උප සභාපති/ප්‍රධාන තිරසාර නිලධාරී ප්‍රියංකර විජයරත්න මහතා පැවසුවේ “ශ්‍රී ලංකාව වෙනුවෙන් තිරසාර සහ ශක්තිමත් අනාගතයක් ගොඩනැඟීම සඳහා අනාගත නවෝත්පාදකයන් බලගැන්වීම අත්‍යවශ්‍ය බව HNB දැඩිව විශ්වාස කරනවා. ලංකා ඉංජිනේරු ආයතනය සමඟ ඇති කරගත් මෙම හවුල්කාරිත්වය හරහා, තරුණ ඉංජිනේරුවන්ට තමන් සතු අදහස් කෘෂිකර්මාන්තයේ පවතින සැබෑ ගැටලුවලට ප්‍රායෝගික විසඳුම් හඳුන්වා දීමට අප අවස්ථාව සලසා දෙනවා. ඉංජිනේරු ක්ෂේත්රයේ තාක්ෂණික දැනුම සහ ගොවි ජනතාවගේ සැබෑ අවශ්‍යතා එකට යා කිරීම මගින්, රටේ ආහාර සුරක්ෂිතතාවය ශක්තිමත් කිරීමටත්, දේශගුණික විපර්යාසයන්ට ඔරොත්තු දෙන නවීන කෘෂි ක්‍රමවේදයන් ප්‍රචලිත කිරීමටත්, එමගින් ග්‍රාමීය ආර්ථිකය තවදුරටත් ඉහළ නැංවීමටත් අප බලාපොරොත්තු වනවා.” යනුවෙනි.
මෙහිදී HNB විසින් ගොවි ජනතාව මුහුණ දෙන විවිධ අභියෝගවලට සාර්ථක තාක්ෂණික විසඳුම් සෙවීම සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාලයට සහ මොරටුව විශ්වවිද්‍යාලයට සහයෝගය ලබා දෙනු ඇත. මෙම වැඩපිළිවෙළ ප්‍රධාන වශයෙන්ම ස්මාර්ට් කෘෂිකර්මාන්තය, IoT තාක්ෂණය පදනම් කරගත් යෙදවුම්, නව මෙවලම්වල මූලාකෘති නිපදවීම, ඒවා සැබෑ ගොවි බිම් තුළ පරීක්ෂා කිරීම සහ සිසුන් තුළ ව්‍යවසායකත්ව කුසලතා වර්ධනය කිරීම යන අංශයන් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරයි.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ලංකා ඉංජිනේරු ආයතනයේ Young Members Section හි සභාපති ලසිත චතුරංග බාලසූරිය මහතා සඳහන් කර සිටියේ ‘’Agri-TECH Startup Spark වැඩසටහන මඟින් තරුණ ඉංජිනේරුවන්ට තමන් සතු අදහස් ප්‍රායෝගික විසඳුම් බවට පත් කිරීමට කදිම අවස්ථාවක් සලසා දෙනවා” යනුවෙනි.


