ආසියා පදනම සහ ශ්‍රී ලංකා පොලීසිය එක්ව ජාතික සයිබර් ආරක්ෂණ දැනුවත් කිරීමේ වැඩසටහනක් දියත් කරයි

[S] The Asia Foundation and Sri Lanka Police Launch National Cybersecurity Awareness Campaign - Final

ආසියා පදනම (The Asia Foundation) ශ්‍රී ලංකා පොලීසිය හා එක්ව, ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් (MSME) සහ සමස්ත මහජනතාව අතර සයිබර් ආරක්ෂණය පිළිබඳ දැනුවත්භාවය වර්ධනය කිරීම සහ සයිබර් අපරාධ (cybercrime) වළක්වා ගැනීම දිරිගැන්වීම සඳහා වූ ජාතික දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගියදා ආරම්භ කලේය.

ආසියා පදනමේ ආසියා-පැසිෆික් සයිබර් ආරක්ෂණ අරමුදල් (ACF) ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක වන මෙම වැඩසටහන මගින් ව්ද්‍යුත් නාලිකා, ශ්‍රී ලංකා පොලීසියේ නිල සමාජ මාධ්‍ය ජාල, පොදු ස්ථාන සහ පොදු ප්‍රවාහන සේවා ඔස්සේ ජනතාව වෙත ඩිජිටල් ආරක්ෂාව පිළිබඳ උපදෙස් සහ මාර්ගෝපදේශ ලබාදීමට කටයුතු කෙරේ. මේ යටතේ ව්‍යාපාරවලට සහ පුද්ගලයන්ට සයිබර් තර්ජන හඳුනාගැනීම, තොරතුරු සුරක්ෂිතව තබාගැනීම සහ සයිබර් අපරාධ වළක්වා ගැනීම සඳහා උපකාර කිරීම මෙහි ප්‍රධාන අරමුණයි.




මෙම ව්‍යාපාරය යටතේ කෙටි දැනුවත් කිරීමේ වීඩියෝ (infomercials) හයක් නිෂ්පාදනය කර ඇති අතර, ඒවා ශ්‍රී ලංකා පොලිසියේ සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ප්‍රචාරය කිරීමට නියමිතය. ඊට අමතරව සිංහල සහ දෙමළ භාෂාවලින් සකස් කළ දැනුවත් කිරීමේ බැනර් දිවයින පුරා පිහිටි පොලිස් ස්ථාන, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ සහ වෙනත් රාජ්‍ය හා පොදු ආයතනයන්හි ප්‍රදර්ශනය කෙරෙන අතර, පොදු ප්‍රවාහන සේවා සඳහා වන ස්ටිකර් සහ ලැප්ටොප් පරිගණක සඳහා වන ස්ටිකර් ද ශ්‍රී ලංකා පොලීසිය හරහා බෙදාහැරීමට කටයුතු යොදා ඇත.

තවද, මෙහිදී වඩාත් සුරක්ෂිත ඩිජිටල් භාවිතයක් සඳහා අනුගමනය කළ හැකි සරල පූර්වාරක්ෂණ පියවර කිහිපයක් පිළිබඳව ප්‍රධාන වශයෙන් අවධානය යොමු කර තිබේ. වඩාත් ශක්තිමත් මෙන්ම එකිනෙකට වෙනස් මුරපද (passwords) භාවිත කිරීම, හැකි සෑම විටම ද්වි-සාධක සත්‍යාපනය (two-factor authentication) සක්‍රීය කරගැනීම, හානිකර/ සැක සහිත සබැඳි (suspicious links), ඇමුණුම් (attachments) සහ පණිවිඩ සඳහා ප්‍රතිචාර දැක්වීමට පෙර ඒවා තහවුරු කරගැනීම, එක් වරක් පමණක් භාවිත කළ හැකි මුරපද (OTP) කිසිවෙකු සමග හුවමාරු නොකිරීම ඊට ඇතුළත් ය. දෛනික ඩිජිටල් ගනුදෙනුවලදී වඩාත් විමසිලිමත් වීමේ වැදගත්කම මෙම පණිවිඩ ඔස්සේ අවධාරණය කෙරේ.

Google.org හි අනුග්‍රහයෙන්, Protect.ngo සහ Global Cyber Alliance යන කලාපීය හවුල්කාර සංවිධාන සමග එක්ව ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය, ක්ෂුද්‍ර සහ කුඩා පරිමාණ ව්‍යාපාර, ලාභ නොලබන (nonprofit) සංවිධාන සහ සමාජ ව්‍යවසායයන් (social enterprises) අතර සයිබර් ආරක්ෂණය ශක්තිමත් කිරීම සඳහා ACF ව්‍යාපෘතිය මගින් දරනු ලබන උත්සාහයෙහි තවත් පියවරක් ලෙස හඳුන්වා දිය හැක. මෙය 2023 ඔක්තෝබර් සිට 2027 අප්‍රේල් දක්වා කාලය තුළ ආසියා-පැසිෆික් කලාපයේ රටවල් 13 ක ක්‍රියාත්මක වේ.

ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය (SLIIT), ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය, ලංකා අධ්‍යාපන හා පර්යේෂණ ජාලය (LEARN), ප්‍රාදේශීය සංවර්ධන බැංකුව (RDB) සහ සර්වෝදය යන ආයතන මෙම වැඩසටහනේ ශ්‍රී ලාංකික මෙහෙයුම් හවුල්කරුවන් ලෙස කටයුතු කරයි. මෙම වැඩසටහන යටතේ මේ වන විට ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායයන් 7,000 කට අධික සංඛ්‍යාවක් නියෝජනය කරමින් පුද්ගලයන් 11,000 කට වැඩි පිරිසකට සයිබර් ආරක්ෂණ අවදානම් හඳුනාගැනීම, වළක්වාගැනීම සහ කළමනාකරණය කිරීම පිළිබඳ පුහුණුව ලබාදී ඇත. ඊට අමතරව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය (SLIIT) සහ ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය තුළ පිහිටුවා ඇති විශ්වවිද්‍යාල විශේෂ සයිබර් ආරක්ෂණ වැඩසටහන් (University Cybersecurity Clinics) හරහා ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායයන් 200 කට වැඩි සංඛ්‍යාවකට ඩිජිටල් ආරක්ෂාව ශක්තිමත් කරගැනීම සඳහා වූ ප්‍රායෝගික සහාය ලබාදී තිබේ.

මෙම මහජන දැනුවත් කිරීමේ වැඩසටහන්වලට අමතරව, ශ්‍රී ලංකා පොලිසියේ ජාතික පොලිස් විද්‍යාපීඨය සමග පවතින ACF හවුල්කාරීත්වය යටතේ ස්ථාන සහ කොට්ඨාස මට්ටමින් පොලිස් නිලධාරීන් 150 දෙනෙකු පුහුණුකරුවන් ලෙස පුහුණු කර ඇත. එමෙන්ම අන්තර්කරණය වූ ප්‍රජා සම්බන්ධතා සහ පළමු ප්‍රතිචාර දැක්වීමේ ක්‍රියාපටිපාටි (first-response protocols) සම්බන්ධයෙන් කාන්තා නිලධාරිනියන් 50 දෙනෙකු සහ ඩිජිටල් සාක්ෂි සුරක්ෂිත කිරීම (digital evidence preservation) හා යොමු කිරීම් (referrals) ඇතුළු තාක්ෂණික කුසලතා සම්බන්ධයෙන් නිලධාරීන් 30 දෙනෙකු පුහුණු කිරීමට පියවර ගෙන ඇත. තවද පොලිස් ඉගෙනුම් කළමනාකරණ පද්ධතිය සඳහා (Police learning management system) විශේෂිත සයිබර් ආරක්ෂණ මෙවලම් කට්ටලයක්ද (cybersecurity toolkit)  එකතු කිරීමටද නියමිතය.

ජාතික මට්ටමේ දැනුවත් කිරීමේ ප්‍රයත්නයන්, ව්‍යාපාරික සහාය සහ ආයතනික ධාරිතා වර්ධනය සමග සම්බන්ධ කිරීම මගින්, තොරතුරු සහිතව තීරණ ගැනීම සහ සයිබර් තර්ජන කඩිනමින් වළක්වාගැනීම දිරිගැන්වීම මෙම ප්‍රචාරණ ව්‍යාපාරයේ අරමුණයි. එමගින් ව්‍යාපාරවලට සහ ප්‍රජාවට වඩාත් විශ්වාසයෙන් යුතුව ඩිජිටල් ආර්ථිකයට දායක වීමට අවස්ථාව සැලසෙන අතරම, ශ්‍රී ලංකාව පුරා වඩාත් සුරක්ෂිත හා ඔරොත්තු දෙන ඩිජිටල් පරිසරයක් නිර්මාණය කිරීමටද එය අත්වැලක් වනු ඇත.



ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

five + nine =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව