Sarvodaya Development Finance වගකීම්සහගත මූල්‍ය මෙහෙවර තවදුරටත් තහවුරු කරමින් 2025/26 මූල්‍ය වර්ෂයේ ශක්තිමත් කාර්ය සාධනයක් වාර්තා කරයි

Capture

Sarvodaya Development Finance PLC (SDF) 2026 මාර්තු 31 දිනෙන් අවසන් වූ මූල්‍ය වර්ෂය සඳහා ශක්තිමත් මූල්‍ය කාර්ය සාධනයක් වාර්තා කරමින්, ආදායම, ලාභදායිත්වය, ණය පත්‍රිකා වර්ධනය සහ වත්කම් ගුණාත්මකභාවය ඇතුළු ප්‍රධාන අංශ කිහිපයක කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කර ඇත.  එය සමාගමේ වගකිවයුතු මූල්‍ය ප්‍රතිපත්තිය සහ ජනතාව කේන්ද්‍ර කරගත් ව්‍යාපාරික දැක්ම මනාව විදහා දක්වයි.

සමාලෝචිත මූල්‍ය වර්ෂය තුළ SDF සමාගම රුපියල් බිලියන 6.42ක මුළු ආදායමක් වාර්තා කළ අතර, එය පෙර වර්ෂයට සාපේක්ෂව 46.8%ක වර්ධනයකි. ව්‍යාපාර ව්‍යාප්තිය සහ ආදායම් උත්පාදනය කරන වත්කම්වල වර්ධනය හේතුවෙන් පොලී ආදායම 43.8%කින් ඉහළ ගොස් රුපියල් බිලියන 5.85ක් ලෙස වාර්තා විය. සමාගමේ ශක්තිමත් හා ස්ථාවර ආදායම් ජනනය කිරීමේ හැකියාව පෙන්නුම් කරමින් ශුද්ධ පොලී ආදායම 35.4%කින් ඉහළ ගොස් රුපියල් බිලියන 3.58ක් ලෙසත්, මුළු මෙහෙයුම් ආදායම 40.8%කින් වර්ධනය වී රුපියල් බිලියන 4.15ක් ලෙසත් වාර්තා විය.



මෙම මූල්‍ය වර්ෂය තුළ සමාගමේ ලාභදායීත්වය කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇත. මූල්‍ය සේවා මත බදු ගෙවීමට පෙර මෙහෙයුම් ලාභය රුපියල් බිලියන 1.82 ක් එනම් 59.9% ක වර්ධනයක් සහ බදු ගෙවීමට පෙර ලාභය (Profit Before Tax) රුපියල් බිලියන 1.36 ක් 63.8% ක වර්ධනයක් ලෙස වාර්තා විය. සමාගම ලබාගත් විශිෂ්ටතම ජයග්‍රහණයක් ලෙස වසරේ ශුද්ධ ලාභය 73.1% කින් ඉහළ ගොස් රුපියල් මිලියන 820.1 ක් ලෙස සටහන් වූයේ පෙර වසරේ පැවති රුපියල් මිලියන 473.8 ක මට්ටම අභිබවා යමිනි. කොටස් හිමියන් වෙනුවෙන් උපරිම අගයක් නිර්මාණය කරමින් සමාගමේ කොටස් හිමියන් රුපියල් 5.48 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

2026 මාර්තු 31 දිනෙන් අවසන් වන විට සමාගමේ සමස්ත වත්කම් 65.8% කින් ඉහළ ගොස් රුපියල් බිලියන 37.37 ක් දක්වා වර්ධනය වෙමින් එහි ශේෂ පත්‍රය (balance sheet) සැලකිය යුතු ලෙස පුළුල් වී තිබේ. එහිදී ණය සහ ලැබිය යුතු දෑ ඇතුළත්, අගය අඩු කළ පිරිවැය යටතේ පවතින මූල්‍ය වත්කම් ණය සහ ලැබිය යුතු (Financial assets at amortized cost loans) 67.2% කින් ඉහළ ගොස් රුපියල් බිලියන 20.60 ක් වූ අතර, කල්බදු කුලී ලැබීම් (lease rental receivables) 34.0% කින් ඉහළ ගොස් රුපියල් බිලියන 9.19 ක් ලෙස සටහන් විය. මීට අමතරව, තිරසාර බැඳුම්කර (Sustainable Bonds) ඇතුළු ණය සුරැකුම්පත් හරහා රුපියල් බිලියන 2.09 ක අරමුදල් සපයා ගනිමින් සිය ප්‍රාග්ධන පදනම තවදුරටත් ශක්තිමත් කිරීමට ද SDF ආයතනය සමත් විය.

මෙම ප්‍රගතිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ ප්‍රධාන විධායක නිලධාරී නිලන්ත ජයනෙත්ති මහතා මෙසේ ප්‍රකාශ කළේය.”2025/26 මූල්‍ය වර්ෂයේ අප ලැබූ ජයග්‍රහණ, අපගේ ස්ථාවර ව්‍යාපාරික ආකෘතිය සහ ක්‍රමෝපායික වර්ධන උපාය මාර්ගයන්හි සාර්ථකත්වය මනාව තහවුරු කරනවා. වගකිවයුතු මූල්‍ය විසඳුම් ඔස්සේ දිවයින පුරා සිටින ජනතාව සහ ව්‍යවසායන් නඟාසිටුවීමට සහය වන අතරම, සියලු දෙනා වෙනුවෙන් තිරසාර වටිනාකමක් ගොඩනැඟීමට අප සැමවිටම කැපවී සිටිනවා.”

නියාමන අවශ්‍යතාවලට වඩා බෙහෙවින් ඉහළ මට්ටමක පවතින ශක්තිමත් ප්‍රාග්ධන පදනමක් රඳවා තබා ගැනීමට SDF ආයතනය සමත්ව සිටී. ඒ අනුව එහි පළමු පෙළ ප්‍රාග්ධන ප්‍රමාණත්ව අනුපාතය (Tier 1 Capital Adequacy Ratio) 15.48% ක් සහ සමස්ත ප්‍රාග්ධන ප්‍රමාණතා අනුපාතය (Total Capital Adequacy Ratio) 22.13% ක් ලෙස සටහන් වේ. වත්කම්වල ගුණාත්මකභාවය (Asset Quality) අතින් ද සමාගම ඉහළ ප්‍රගතියක් පෙන්වා ඇති අතර, 3 වන අදියරේ දළ ණය අනුපාතය (Gross Stage 3 Loans Ratio) 7.88% සිට 4.93% දක්වා පහත වැටී ඇති අතර 3 වන අදියරේ ශුද්ධ ණය අනුපාතය (Net Stage 3 Loans Ratio) 5.70% සිට 2.94% දක්වා පහත හෙළීමට සමාගම සමත් වී ඇත. මීට අමතරව 3 වන අදියරේ හානිපූරණ ආවරණ අනුපාතය (Stage 3 Impairment Coverage Ratio) ද 42.60% ක් දක්වා ශක්තිමත් වී ඇත.

පිරිවැය සහ ආදායම් අනුපාතය 42.99% දක්වා අඩු කරගනිමින් සිය මෙහෙයුම් කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට සමාගම සමත්ව ඇති අතර, එහි හිමිකම් මත ප්‍රතිලාභය (ROE) 19.60% ක් ලෙස සටහන් වේ. සමාගම සතු මෙම ස්ථාවර මූල්‍ය පදනම හේතුවෙන් SDF හි බාහිර ණය ශ්‍රේණිගත කිරීම ‘Lanka Ratings (SL) BBB- Stable’ දක්වා ඉහළ නැංවීමට එම ශ්‍රේණිගත කිරීමේ ආයතනය පියවර ගෙන ඇත.

Sarvodaya Development Finance ආයතනය සිය ශාඛා 56 ක ජාලය සමඟින්, මූල්‍ය ඇතුළත් කිරීම් පුළුල් කිරීමට සහ තිරසාර ව්‍යවසායකත්වය නඟාසිටුවීමට කැපවී සිටින අතර, එමඟින් ශ්‍රී ලංකාවේ දිගුකාලීන සමාජ-ආර්ථික සංවර්ධනයට අඛණ්ඩව සිය දායකත්වය සපයයි.


ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව