කන්ට්‍රෝල් යූනියන් ශ්‍රී ලංකා (Control Union Sri Lanka) රසායනාගාරය, කෘමිනාශක අවශේෂ පරීක්ෂාව සඳහා ගෝලීය ප්‍රමිතිකරණය හිමිකර ගනී

1- Control Union Sri Lanka receiving the ISO IEC 17025 2017 accreditation (LBN)

කන්ට්‍රෝල් යූනියන් ශ්‍රී ලංකා රසායනාගාරය, කෘමිනාශක අවශේෂ පරික්ෂාව සඳහා ශ්‍රී ලංකා ප්‍රතීතන මණ්ඩලය (SLAB) විසින් ලබාදෙන ජාත්‍යන්තර ISO/IEC 17025:2017 ප්‍රමිතිකරණය හිමි කරගෙන තිබෙන බව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. මෙමගින් පරීක්ෂණ වාර්තාවල විශ්වසනීයත්වය පිළිබඳ ස්වාධීන තහවුරු කිරීමක් නිෂ්පාදකයින්, ගනුදෙනුකරුවන් සහ නියාමන ආයතන වෙත ලබා දෙනු ඇත.

රසායනාගාරය විසින් ලබා ගැනීමට අපේක්ෂිත SLAB වෙතින් ලබා දෙන ප්‍රතීතන හතරෙන් පළමුවැන්න මෙය වේ. එක් කෘමිනාශක පරීක්ෂණයක් හෝ අසමත් වීම හේතුවෙන් සමස්ත නැව්ගත කිරීමක් ප්‍රමාද වීමට හෝ අත්හිටුවීමට මෙන්ම වෙළෙඳපොළේ අලෙවි කෙරෙන නිෂ්පාදනයක් ඉවත් කිරීමට පවා සිදු වෙයි. එබැවින් යුරෝපය ඇතුළු දැඩි නියාමනයකට යටත් වෙළෙඳපොළවල ගනුදෙනුකරුවන් උපරිම අවශේෂ සීමාවන් (Maximum Residue Levels) සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කරනු ලබන අතර එම ප්‍රමිතීන් සපුරාලීමට අපොහොසත් වන භාණ්ඩ තොග ප්‍රතික්ෂේප කිරීම, ප්‍රමාද කිරීම හෝ සැලකිය යුතු මූල්‍ය අලාභයක් දරමින් ආපසු හරවා එවීම සිදුවිය හැකිය.
nbsp;



මෙවැනි පිළිගත් ප්‍රතීතනයක් සහිත රසායනාගාරයක පරීක්ෂණ වාර්තා ගනුදෙනුකරුවන් සහ නියාමන බලධාරීන් වැඩි විශ්වාසයකින් පිළිගන්නා බැවින්, ගැටලු කඩිනමින් විසඳා ගැනීමටත් විදේශ රටවලදී යළි යළිත් පරීක්ෂණවලට භාජනය වීමෙන් වැළකී සිටීමට ශ්‍රී ලාංකික නිෂ්පාදකයන්ට අවස්ථාව සැලසේ. මෙම ප්‍රතීතනයේ විශ්වසනීයත්වය සහ පිළිගැනීම තහවුරු වනුයේ ප්‍රතීතනය පිරිනමන ආයතනයේ පිළිගත්භාවය මතයි. SLAB යනු ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රමිතිකරණ අධිකාරිය වන අතර, ජාත්‍යන්තර ප්‍රමිතිකරණ සංසදය (IAF), ජාත්‍යන්තර රසායනාගාර ප්‍රමිතිකරණ සහයෝගිතාව (ILAC) සහ ආසියා පැසිෆික් ප්‍රමිතිකරණ සහයෝගිතාව (APAC) සමඟ ඇති අන්‍යෝන්‍ය පිළිගැනීමේ ගිවිසුම් හරහා SLAB ජාත්‍යන්තර පිළිගැනීමට ලක්ව තිබේ. 2026 ජනවාරි මාසයේ සිට, එම ගෝලීය පිළිගැනීම ‘Global Accreditation Cooperation Incorporated (Global ACI)’ යටතේ ඒකාබද්ධ කර තිබේ. එමඟින් අදාළ පිළිගත් විෂය පථයන් යටතේ නිකුත් කරනු ලබන පරීක්ෂණ වාර්තා සහ සහතික සඳහා ජාත්‍යන්තර මට්ටමේ පිළිගැනීමක් හිමිවන බව තහවුරු වේ.

මෙම රසායනාගාරය මගින් ඉතා අඩු සාන්ද්‍රණයන්ගෙන් යුත් සංයෝග වෙන්කර හඳුනාගත හැකි LC MS/MS සහ GC MS/MS යන ජාත්‍යන්තර මට්ටමේ ස්පෙක්ට්‍රොමෙට්‍රි තාක්ෂණයන් (mass spectrometry technologies) භාවිතයෙන් කෘමිනාශක අවශේෂ 800 ක් පමණ පරීක්ෂා කරනු ලබයි. මෙහිදී සාමාන්‍ය පරීක්ෂණ ක්‍රමවලින් හඳුනා ගැනීමට අපහසු ග්ලයිෆොසේට් (glyphosate), ග්ලූෆොසිනේට් (glufosinate) සහ එතිලීන් ඔක්සයිඩ් (ethylene oxide) වැනි විශේෂිත රසායනික සංයෝග හඳුනාගැනීමට හැකි වීම මෙහි ඇති සුවිශේෂත්වයයි.

මීට අමතරව, තේ, කුළුබඩු, පලතුරු, එළවළු, පොල්කිරි සහ පොල්වතුර ඇතුළු මෙරට ප්‍රධාන කෘෂිකාර්මික හා ආහාර නිෂ්පාදන රැසක් ද මෙම ප්‍රතීතන විෂය පථයට ඇතුළත් කර තිබේ. එමඟින් දේශීයව වගා කරනු ලබන, පරිභෝජනයට එක්වන මෙන්ම ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත අපනයනය කරනු ලබන ශ්‍රී ලාංකික නිෂ්පාදනවල විවිධත්වය මැනවින් පෙන්නුම් කරයි. මෙම පරීක්ෂණ ක්‍රමවේදයන් කෘමිනාශක අවශේෂ විශ්ලේෂණය සඳහා වන යුරෝපා සංගමයේ EU SANTE මාර්ගෝපදේශවලට අනුකූලව සකස් කර ඇති අතර රසායනාගාරයේ පරීක්ෂණ ක්‍රමවේද, උපකරණ, කාර්ය මණ්ඩලයේ නිපුණතාව සහ තත්ත්ව කළමනාකරණ පද්ධතිය ISO/IEC 17025 ජාත්‍යන්තර ප්‍රමිතියට අනුකූලද යන්න SLAB විසින් තහවුරු කර තිබේ.

මේ පිළිබඳ අදහස් දක්වමින් කන්ට්‍රෝල් යූනියන් ශ්‍රී ලංකා හි කළමනාකාර අධ්‍යක්ෂ රොෂාන් රණවක මහතා ප්‍රකාශ කර සිටියේ නිෂ්පාදනයක් කොළඹ වෙළෙඳසැලකට හෝ යුරෝපීය වරායකට යොමු කළ ද, මෙහිදී නිකුත් කරන පරීක්ෂණ වාර්තාව පිළිගැනීමට ලක්වන බවට නිෂ්පාදකයන්ට මෙන්ම ගනුදෙනුකරුවන්ට ද විශ්වාසයක් තිබිය යුතු බවයි.  මෙම ප්‍රමිතිකරණය මගින් අපගේ පරීක්ෂණ ක්‍රම සහ අපගේ කාර්ය මණ්ඩලය එම ප්‍රමිතිය සපුරාලන බවට ස්වාධීනව තහවුරු වන බව පෙන්වා දුන් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, මෙම ජයග්‍රහණය රසායනාගාර කණ්ඩායමේ කැපවීමේ සහ විනයගරුකභාවයේ ප්‍රතිඵලයක් වන අතර, ඔවුන් අත්කරගත් මෙම සාර්ථකත්වය පිළිබඳව තමන් බෙහෙවින් ආඩම්බර වන බවයි.

ඒ අනුව, දැනට ලබාගෙන ඇති ප්‍රතීතනයට අමතරව, ඉතිරි SLAB ප්‍රතීතන තුන යටතේ ආහාර, ජලය සහ බැර ලෝහ සම්බන්ධ රසායනික පරීක්ෂණ මෙන්ම සාම්ප්‍රදායික පරීක්ෂණ ක්‍රමවේද සහ PCR තාක්ෂණය භාවිතයෙන් සිදුකරන ක්ෂුද්‍රජීව විද්‍යාත්මක පරීක්ෂණ ද ආවරණය කෙරේ. මේවනවිට කන්ට්‍රෝල් යූනියන් ශ්‍රී ලංකා  රසායනාගාරය, කෘමිනාශක අවශේෂ පරීක්ෂාව සඳහා වන SLAB ප්‍රතීතනය ලබාගෙන ඇති අතර, ඉතිරි ප්‍රතීතන තුන ද සම්පූර්ණ කරගැනීමෙන් අනතුරුව ඒ පිළිබඳව නිල වශයෙන් දැනුම්දීමට බලාපොරොත්තු වේ.

PCR තාක්ෂණය භාවිත කරන ශ්‍රී ලංකාවේ පළමු ආහාර පරීක්ෂණ රසායනාගාරය වන මෙය, ජාත්‍යන්තර කන්ට්‍රෝල් යූනියන් රසායනාගාර ජාලයේ 28 වැනි රසායනාගාරය ලෙස 2026 පෙබරවාරි මාසයේ දී ආරම්භ කරන ලදී. මෙම ප්‍රමිතිකරණය මඟින් රසායනාගාර පහසුකම ස්ථාපිත කර ඇති උසස් ප්‍රමිතීන් ස්වාධීනව තහවුරු කෙරෙන අතර, එමඟින් ශ්‍රී ලාංකික නිෂ්පාදකයින්ට මෙන්ම ඔවුන්ගෙන් නිෂ්පාදන මිලදී ගන්නා ව්‍යාපාරවලට දේශීය හා ජාත්‍යන්තර වෙළඳපොළ තුළ වඩාත් ශක්තිමත් විශ්වාසනීයත්වයක් ගොඩනඟා ගැනීමට හැකි වනු ඇත.

කන්ට්‍රෝල් යූනියන් ශ්‍රී ලංකා හි පරීක්ෂණ සේවාවන් පිළිබඳ වැඩිදුර තොරතුරු srilanka.controlunion.com/service/testing වෙබ් අඩවිය ඔස්සේ ලබාගත හැකිය.
nbsp;


ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව