
ගාල්ල, 2026 අගෝස්තු 06: ශ්‍රී ලංකා පාම් ඔයිල් කර්මාන්තකරුවන්ගේ සංගමයේ (Palm Oil Industry Association of Sri Lanka – POIA) නියෝජිතයින් විසින් දකුණු පළාතේ ස්ථාපිත ඔයිල් පාම් වගා ප්‍රදේශ වෙත සංවිධානය කරන ලද ක්ෂේත්‍ර චාරිකාවකදී, මෙම වගාව සම්බන්ධයෙන් පවතින දීර්ඝකාලීන දුර්මතවලින් සැබෑ පාරිසරික තොරතුරු වෙන්කර හඳුනා ගැනීමේ අවශ්‍යතාව අවධාරණය කෙරිණි.
පොදු සංවාදයන් තුළ බොහෝ විට ඔයිල් පාම් වගාව නිරූපණය කෙරෙන්නේ, වගාබිම් තුළ ද්විතීයික ශාක වර්ධනය විය නොහැකි නිසරු මුඩු බිම් බවට පත්කරන, ආසන්නයේ ඇති ජල මූලාශ්‍ර සිඳී යාමට සලස්වන සහ ජෛව විවිධත්වය විනාශ කරන වගාවක් ලෙස ය. කෙසේ වෙතත්, දකුණු පළාතේ ස්ථාපිත වගා ප්‍රදේශ පුරා නිරීක්ෂණය කරන ලද තත්ත්වයන් මගින් ඊට වඩා යහපත් මෙන්ම අදාළ ස්ථානීය තත්ත්වයන්ට අනුරූප පාරිසරික සේයාවක් පෙන්නුම් කරයි.
වගා කරන ලද පාම් ගස් යට සැලකිය යුතු ලෙස බිම් ආවරණ ශාක සහ යටි රෝපණ වර්ධනය වී තිබෙනු දක්නට ලැබිණි. නිසි ලෙස කළමනාකරණය කළ විට, මෙම ශාක ආවරණය මගින් පස ඍජු වර්ෂාපතනයෙන් ආරක්ෂා කිරීම, පස් සේදී යාම සහ මතුපිට ජල ගැලීම් අඩු කිරීම, තෙතමනය රඳවා ගැනීම සහ ස්වාභාවික පරිසර ක්‍රියාකාරීත්වයට අනුබල දීම සිදු වේ. සෙවන, පස, භූමි ලක්ෂණ සහ පාම් ගස්වල වයස මත පදනම්ව සුදුසු ශාක ඔයිල් පාම් වගාව සමඟ සහජීවනයෙන් පැවතිය හැකි බව පෙන්වා දෙමින්, යටි වගා සහ ගැළපෙන අන්තර් වගා සහිත ප්‍රදේශ ද මෙහිදී දැකගත හැකි විය. බිම් ආවරණ කළමනාකරණය, පසට කාබනික ද්‍රව්‍ය නැවත එකතු කිරීම සඳහා කපන ලද පාම් අතු ක්‍රමවත්ව තැන්පත් කිරීම, සහ භූමි ලක්ෂණවලට අනුරූප වන පරිදි පස් හා ජල සංරක්ෂණ ක්‍රමවේද භාවිත කිරීම වැනි යහපත් කළමනාකරණ අත්දැකීම්වල ප්‍රායෝගික යෙදවුම් පිළිබඳව ද මාධ්‍ය නියෝජිතයන් හට මෙහිදී අවබෝධයක් ලබා දෙන ලදී.
වගා ප්‍රදේශ තුළ, ඒවාට මායිම්ව මෙන්ම ඉන් ඔබ්බෙහි ද පිරිසිදු ජල මූලාශ්‍ර පවතිනු නිරීක්ෂණය විය. ඔයිල් පාම් වගාවේ බලපෑම මගින් අවට ඇති ළිං සහ ඇළ දොළ ඉබේම සිඳී යන බවට කරනු ලබන පොදු ප්‍රකාශයන්, මෙම සශ්‍රීක ජල මූලාශ්‍ර හේතුවෙන් අභියෝගයට ලක් වේ. කෙසේ වෙතත්, වගකීම්සහගත වගා ක්‍රමවේදයක් සඳහා ස්වාභාවික ජලාපවහන පද්ධති ආරක්ෂා කිරීම, ජල මාර්ග දෙපස පිහිටි ආරක්ෂිත කලාප (buffer zones) පවත්වාගෙන යාම, පොහොර සහ කෘෂිරසායන භාවිතය ප්‍රවේශමෙන් පාලනය කිරීම, මෙන්ම ජලයේ ගුණාත්මකභාවය සහ ලබාගැනීමේ හැකියාව පිළිබඳව නිරන්තර අධීක්ෂණය පවත්වාගෙන යාම අත්‍යවශ්‍ය වේ.
ඔයිල් පාම් වගා පද්ධති තුළ මනා ලෙස කළමනාකරණය කරන ලද බිම් ආවරණ ශාක මගින්, පසේ කාබනික ද්‍රව්‍ය ප්‍රමාණය, පෝෂක සංසරණය සහ සමස්ත පාංශු ස්තරයේ සාරවත් බව වර්ධනය කරන වටිනා කාබනික ජීව ස්කන්ධයක් පසට එකතු වේ. එසේම, අවට ප්‍රජාවන් සිය ගෘහස්ථ ජල අවශ්‍යතා සඳහා වතු භූමිය තුළ පිහිටි ජල මූලාශ්‍ර තවදුරටත් භාවිත කරන බව ද නිරීක්ෂණය වූ අතර, ඔයිල් පාම් වගාව මගින් ඒ අවට පවත්නා ජල මූලාශ්‍ර සිඳී යන බවට කෙරෙන පොදු අනුමානයන් අභියෝගයට ලක් කිරීමට මෙම තත්ත්වය සමත් වේ.
නාකියාදෙණිය සහ හෝමදොළ වතුයායන්හි සිදු කරන ලද පූර්ව එළිමහන් ජලජ පර්යේෂණ මගින් ද මෙම වතු භූමි දර්ශනයන්හි පාරිසරික වටිනාකම තහවුරු වේ. ගිං ගඟ ද්‍රෝණියෙන් වාර්තා වූ, ශ්‍රී ලංකාවට ආවේණික මිරිදිය මත්ස්‍ය විශේෂයක් වන Schistura scripta (‘Sri Lanka Mountain Loach’ හෙවත් නාකියාදෙණිය අහිරාවා) විද්‍යාත්මකව හඳුනා ගැනීමට මෙම පර්යේෂණය දායක විය. එම විශේෂයේ පැවැත්ම මගින් තහවුරු වන්නේ මෙම ප්‍රදේශයන්හි පාරිසරික වටිනාකම තවදුරටත් රැඳී පවතින බවයි. එමෙන්ම වගා කරන ලද භූමි තුළ පිහිටි ඇළ දොළ, ජලාශ්‍රිත ආරක්ෂිත තීරයන් (riparian zones) සහ ඒ හා සම්බන්ධ ස්වාභාවික වාසස්ථාන ආරක්ෂා කිරීමේ වැදගත්කම ද මෙයින් මතු කර පෙන්වයි. වඩාත් පුළුල් ලෙස බලන කල, විශේෂයෙන් ජල මාර්ග, ජලාශ්‍රිත ආරක්ෂිත තීරයන් සහ ස්වාභාවික ප්‍රදේශ ආරක්ෂා වී ඇති ස්ථානයන්හි, ජලජ ජීවීන්, පක්ෂීන්, කෘමීන් සහ අනෙකුත් සතුන්ගේ පැවැත්මට උපකාරී වන ශාක ආවරණයක් සහ සම්බන්ධිත වාසස්ථාන පද්ධතියක් මෙම වගා භූමි මගින් සපයනු ලබයි.
වගකීම්සහගත වතු කළමනාකරණය සඳහා පැහැදිලි මෙහෙයුම් ප්රමිතීන්, නිතිපතා අධීක්ෂණය සහ අඛණ්ඩ වර්ධනයක් අවශ්‍ය වේ. අදාළ පරිසර සහ රෙගුලාසිමය අවශ්‍යතාවලට අනුකූල වන අතරම, පස, ජලය, ජෛව විවිධත්වය සහ අවට ප්රජාවන්ගේ යහපත සුරක්ෂිත කරන කළමනාකරණ ක්‍රමවේද ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම POIA විසින් අවධාරණය කරන ලදී.
මෙම නිරීක්ෂණයන් පිළිබඳ අදහස් දක්වමින් POIA හි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී යජිත් ද සිල්වා මහතා මෙසේ පැවසීය: “ඕනෑම වතු වගාවක් සම්බන්ධයෙන් පවතින පාරිසරික ගැටලු සීරුවෙන් සලකා බැලිය යුතුයි. කෙසේ වෙතත්, නිගමනවලට එළඹිය යුත්තේ විද්‍යාත්මක සාක්ෂි, අදාළ ස්ථානීය තත්ත්වයන් සහ සැබෑ භූමි කළමනාකරණ ක්‍රමවේදයන් පදනම් කරගෙනයි. දකුණු පළාතේ නිරීක්ෂණය කරන ලද යටි වගා ශාක, යෝග්‍ය අන්තර් වගාවන්, සක්‍රීය ජල සම්පත් සහ ජෛව විවිධත්වය මගින් පැහැදිලි වන්නේ පොදු මතයන් මත පිහිටා නිගමනවලට එළඹීම වෙනුවට විධිමත් පාරිසරික ඇගයීමක් සිදු කිරීමේ අත්‍යවශ්‍යතාවයි.”
ශ්‍රී ලංකාවේ පාම් ඔයිල් කර්මාන්තය ක්‍රියාත්මක වන්නේ දීර්ඝ කාලයක සිට පවතින කෘෂිකාර්මික හා වතු භූමි පසුබිමකය. එම නිසා මහා පරිමාණ නොඉඳුල් වනාන්තර හෙළිපෙහෙළි කිරීම් සිදු වන විදේශීය උදාහරණවලට වඩා දේශීය තත්ත්වය වෙනස් වේ. මෙම වෙනස මගින් පාරිසරික ආරක්ෂණ ක්‍රමවේදයන්හි අවශ්‍යතාව බැහැර නොකෙරෙන නමුත්, දේශීය තත්ත්වයන් සලකා බැලීමෙන් තොරව ජාත්‍යන්තර ප්‍රකාශයන් ශ්‍රී ලංකාවට ඍජුවම ආරෝපණය නොකළ යුත්තේ මන්දැයි මෙයින් අවධාරණය කෙරේ.
ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ක්ෂේත්රය තුළ ඔයිල් පාම් වගාව වැදගත් ආර්ථික භූමිකාවක් ද ඉටු කරයි. භූමි ඒකකයකට ලැබෙන සාපේක්ෂව ඉහළ ඵලදායිතාව හේතුවෙන්, සුදුසු භූමි තේරීම සහ වගකීම්සහගත කළමනාකරණය මගින් නිෂ්පාදන මෙහෙයවන විට, ස්ථාපිත වගා භූමි තුළින් දේශීය ඉල්ලුම සපයා ගැනීමට උපකාරී වන අතර එමගින් අමතර භූමි ප්‍රමාණයන් කෙරෙහි ඇති වන බලපෑම ද අවම වේ.
වගකීම්සහගත ඔයිල් පාම් වගාව සඳහා සුදුසු භූමි තේරීම, පස් හා ජල කළමනාකරණය, ජෛව විවිධත්ව ආරක්ෂණය, පාරදෘශ්‍ය අධීක්ෂණය සහ රෙගුලාසිවල සහාය ලැබිය යුතු බව POIA විශ්වාස කරයි. විනිවිදභාවයෙන් යුත් විමර්ශනයන්ට සෑමවිටම විවෘත වන එම සංගමය, ඔයිල් පාම් වගාව පිළිබඳ තීරණ ගැනීම මිථ්‍යාවන් හෝ සාධාරණීකරණය කරන ලද පොදු මත පදනම් කර නොගෙන, විශ්වසනීය දත්ත, ආර්ථික වටිනාකම් එකතු කිරීම්, විද්‍යාත්මක ඇගයීම් සහ අඛණ්ඩ වර්ධනය උදෙසා වන කැපවීම මත පදනම්ව සිදුවිය යුතු බව අවධාරණය කරයි.


