CAREER ONE (www.careerone.gov.lk) ඩිජිටල් වේදිකාව හරහා කුසලතා සහ රැකියා නියුක්ති සංවර්ධනයේ රාජ්‍ය-පෞද්ගලික සහයෝගීතාවය ශක්තිමත් වෙයි

Picture 1

ශ්‍රී ලංකාවේ තාක්ෂණික හා වෘත්තීය අධ්‍යාපන හා පුහුණු (TVET) ක්ෂේත්‍රයේ ප්‍රධාන පාර්ශවකරුවන් රැසකගේ සහභාගීත්වයෙන් ‘CAREER ONE’ ඩිජිටල් වේදිකාව (www.careerone.gov.lk) පිළිබඳව සංවිධානය කරන ලද සර්වපාක්ෂික ආයතනික සමුළුවක්, 2026 ජූනි 2 වැනි බදාදා දින කොළඹ Shangri-La හෝටලයේදී ඉතා සාර්ථක ලෙස පවත්වන ලදී.



කොරියානු ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනයේ (KOICA) අරමුදල් මත ක්‍රියාත්මක වන TVET වෘත්තීය වේදිකා ව්‍යාපෘතිය (2023–2026) යටතේ මෙම වැඩසටහන සංවිධානය කරන ලදී. මේ සඳහා ව්‍යාපෘති කළමනාකරණ උපදේශක ලෙස කටයුතු කරන ප්‍රමුඛ පෙළේ කොරියානු EdTech සමාගමක් වන UBION ආයතනය, ශ්‍රී ලංකා අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය සහ තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව (TVEC) එක්ව දායකත්වය ලබා දී ඇත.

ඩිජිටල් තාක්ෂණය ඔස්සේ වෘත්තීය ජීවිතයට සූදානම් කිරීම, වෘත්තීය මඟපෙන්වීමේ ක්‍රමවේදයන් ශක්තිමත් කිරීම සහ  ලංකාවේ TVET ක්ෂේත්‍රයේ නිල වෘත්තීය මාර්ගෝපදේශන වේදිකාව ලෙස ක්‍රියා කරන ‘CAREER ONE’ වෙබ් අඩවිය වඩාත් ඵලදායී ලෙස භාවිතයට ගැනීම මෙම මුලපිරීමේ ප්‍රධාන අරමුණ විය. මෙමඟින් NVQ පාඨමාලා හදාරන සිසුන් සඳහා වෘත්තීය උපදෙස්, සේවයේ නිරත වෙමින් පුහුණුව ලබාගැනීමේ අවස්ථා සහ නව රැකියා ඇබෑර්තු රැසක් සෘජුවම ලබා දේ.

සමුළුවේ ආරම්භක අදහස් දැක්වීම් අධ්‍යාපන අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ (වෘත්තීය පුහුණු) දිමුතුන් චන්ද්‍රසිරි මහත්මිය, TVEC හි සභාපති මහාචාර්ය ජී. එල්. ධර්මසිරි වික්‍රමසිංහ මහතා, NAITA හි අධ්‍යක්ෂ (සැලසුම්) රොහාන් රොඩ්රිගෝ මහතා, KOICA ශ්‍රී ලංකා කාර්යාලයේ දේශීය අධ්‍යක්ෂිකා ලී යූරි මහත්මිය සහ UBION සමාගමේ ව්‍යාපෘති කළමනාකරු ස්කොට් මහතා විසින් සිදු කරන ලදී. එහිදී කථිකයන් අවධාරණය කළේ වෘත්තීය පුහුණුලාභීන්ගේ සහ උපාධිධාරීන්ගේ රැකියා අවස්ථා ඉහළ නැංවීම සඳහා රාජ්‍ය ආයතන, වෘත්තීය පුහුණු සපයන්නන් සහ පෞද්ගලික අංශය අතර සහයෝගීතාවය ශක්තිමත් කිරීම අතිශය වැදගත් වන බවයි.

මෙහිදී UBION සමාගමේ ව්‍යාපෘති කළමනාකාර ස්කොට් මහතා විසින් ‘CareerOne’ ව්‍යාපෘතිය පිළිබඳ සමස්ත සමාලෝචනයක් ඉදිරිපත් කරන ලදී. ඔහු පැහැදිලි කළේ ‘CareerOne’ යනු KOICA අරමුදල් මඟින් බලගැන්වෙන, 2022 දෙසැම්බර් සිට 2026 දෙසැම්බර් දක්වා UBION සමාගම විසින් ක්‍රියාත්මක කරනු ලබන ජාතික TVET වෘත්තීය වේදිකාවක් බවයි. තිරසාර ඩිජිටල් වෘත්තීය මාර්ගෝපදේශනයක් සහ ගැළපෙන රැකියා අවස්ථා සලසා දීමේ වේදිකාවක් හරහා TVET උපාධිධාරීන්ගේ රැකියා අවස්ථා පුළුල් කිරීම මෙම ව්‍යාපෘතියේ මූලික අරමුණ වේ. සමාගම් ලියාපදිංචි කිරීම, රැකියා ඇබෑර්තු ප්‍රකාශයට පත් කිරීම සහ සේවයේ නිරත වෙමින් පුහුණුව ලබාදීමේ අවස්ථා හරහා පෞද්ගලික අංශයේ සක්‍රිය දායකත්වයේ ඇති වැදගත්කම ඔහු මෙහිදී පෙන්වා දුන්නේය. එමෙන්ම, සේවා යෝජකයන් සම්බන්ධ කර ගැනීම,ගැළපෙන පුහුණුලාභීන් තෝරා දීම සහ ගුණාත්මකභාවය සහතික කිරීම සඳහා NAITA පරීක්ෂකවරුන් ඉටු කරන කාර්යභාරය ද ඔහු අවධාරණය කළේය.

NAITA හි අධ්‍යක්ෂ (පුහුණු) අසිත රත්නායක මහතා විසින් NAITA පරීක්ෂකවරුන්ගේ කාර්යභාරය සහ CareerOne වේදිකාව වඩාත් ඵලදායී ලෙස භාවිත කරන්නේ කෙසේද යන්න පිළිබඳව දේශනයක් පවත්වන ලදී. ඔහු පැහැදිලි කළේ NAITA පරීක්ෂකවරුන් ආයතනික මට්ටමේ ආධුනිකත්ව පුහුණුකරණයේ ප්‍රධාන සම්බන්ධීකාරකවරුන් සහ සන්නාම තානාපතිවරුන් ලෙස ක්‍රියා කරන බවයි. පුහුණු ආයතන හඳුනා ගැනීම, ආධුනිකයන් බඳවා ගැනීම, පරීක්ෂණ පැවැත්වීම, පුහුණුලාභීන්ගේ ප්‍රගතිය නිරීක්ෂණය කිරීම, ඇගයීම් සම්බන්ධීකරණය, පුහුණුවේ ගුණාත්මකභාවය සහතික කිරීම මෙන්ම සේවයේ නිරත වෙමින් පුහුණුවීම සහ පූර්ව ඉගෙනුම් ඇගයීම් (RPL) කටයුතු සංවිධානය කිරීම ඔවුන්ගේ වගකීම්වලට ඇතුළත් වේ. CareerOne වේදිකාව නිසි ලෙස භාවිත කිරීමෙන් පුහුණු අවස්ථා කළමනාකරණය, පුහුණුලාභීන් ස්ථානගත කිරීම, සේවා යෝජකයන්ගේ දායකත්වය සහ දත්ත නිරීක්ෂණය වඩාත් කාර්යක්ෂම වන අතරම, කර්මාන්ත ක්ෂේත්‍රය සමඟ පවතින සබඳතා සහ රැකියා ප්‍රතිඵල තවදුරටත් ශක්තිමත් වන බව රත්නායක මහතා වැඩිදුරටත් පැවසීය.

TVEC හි සහකාර අධ්‍යක්ෂ වජිර විජේසිංහ මහතා, ආයතනික ක්ෂේත්‍රය තුළ TVET පුහුණුලාභීන් සාර්ථකව සම්බන්ධ කර ගැනීමේ හොඳම ප්‍රවේශයන් සහ භාවිතයන් මෙන්ම කුසලතා පූර්ණ වෘත්තීය උපාධිධාරීන් බඳවා ගැනීමෙන් ආයතනවලට ලැබෙන වාසි පිළිබඳව කරුණු ඉදිරිපත් කළේය. ක්ෂේත්‍රයේ කුසලතා ඉල්ලුම හඳුනා ගැනීමට, සේවයේ නිරත වෙමින් පුහුණුවීම පහසු කිරීමට, ඇගයීම් පැවැත්වීමට සහ රැකියා ස්ථානගත කිරීම් සඳහා සහය වීමට පුහුණු ආයතන, කර්මාන්ත ක්ෂේත්‍රය සහ නියාමන ආයතන අතර පවතින ඒකාබද්ධතාවයේ වැදගත්කම ඔහු අවධාරණය කළේය.

ව්‍යාපෘති ක්‍රියාකාරී නිලධාරිනී හේලි මෙනවිය විසින් CareerOne ඩිජිටල් වේදිකාව භාවිත කරමින් සමාගම් ලියාපදිංචි කිරීම, රැකියා ඇබෑර්තු ඇතුළත් කිරීම සහ සේවයේ නිරත වෙමින් පුහුණුවීමේ අවස්ථා ලියාපදිංචි කරන ආකාරය පිළිබඳව ප්‍රායෝගික නිරූපණයක් ඉදිරිපත් කරන ලදී. මෙම සැසිය මඟින් සහභාගී වූවන්ට බඳවා ගැනීමේ සහ පුහුණු කිරීමේ කටයුතු සඳහා මෙම ඩිජිටල් වේදිකාව ඉතා ඵලදායී ලෙස භාවිත කරන්නේ කෙසේද යන්න පිළිබඳව ප්‍රායෝගික මඟ පෙන්වීමක් ලබාදෙන ලදී.

වැඩසටහන අතරතුර විශේෂ සංස්කෘතික නර්තන අංගයක් ද පැවැත්වුණු අතර, එය සහභාගී වූ සැමට ශ්‍රී ලාංකීය සංස්කෘතික උරුමයේ අභිමානය සහ සුන්දරත්වය අත්විඳීමට ලැබුණු කදිම අවස්ථාවක් විය.

ෆියුචර් ලංකා පර්යේෂණ හා සංවර්ධන පදනම නියෝජනය කරමින් ඩයන් බදුගේ මහතා විසින් කරුණු සාකච්ඡා කිරීමේ සැසියක් මෙහෙයවන ලදී. මෙම සැසියේ මූලික අවධානය යොමු වූයේ CareerOne ඩිජිටල් වේදිකාවට සක්‍රියව දායක වීමේ වැදගත්කම පිළිබඳව ආයතනික නියෝජිතයන් දැනුවත් කිරීම සහ එහි ප්‍රතිලාභ උපරිමයෙන් ලබා ගත හැකි උපායමාර්ග හඳුනා ගැනීම කෙරෙහි ය.

වැඩසටහනේ සමාප්ති අදහස් දැක්වීම TVEC හි අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය කේ. ඒ. ලලිතධීර මහතා විසින් සිදු කරන ලදී. CareerOne වේදිකාවේ දිගුකාලීන සාර්ථකත්වය සහ ශ්‍රී ලංකාව තුළ වෘත්තීය අධ්‍යාපන හා රැකියා අවස්ථාවන්හි අඛණ්ඩ දියුණුව තහවුරු කිරීම සඳහා රාජ්‍ය ආයතන, වෘත්තීය ආයතන, සේවා යෝජකයන් සහ සංවර්ධන සහකරුවන් අතර පවතින දිගුකාලීන සහයෝගීතාවයේ අත්‍යවශ්‍යතාවය ඔහු එහිදී නැවත වරක් අවධාරණය කළේය.


ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

eighteen + nine =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව