සන්ෂයින් හෝල්ඩින්ග්ස් 2027 මූල්‍ය වර්ෂයේ පළමු කාර්තුව සඳහා 16.6%ක ඉහළ ආදායම් වර්ධනයක් වාර්තා කරයි

Sunshine Healthcare Lanka Managing Director Shyam Sathasivam

ශ්‍රී ලංකාවේ විවිධාංගීකරණය වූ සමාගම් සමූහයක් වන සන්ෂයින් හෝල්ඩින්ග්ස් 2026/27 මූල්‍ය වර්ෂයේ පළමු කාර්තුව සඳහා රු. බිලියන 18.5ක ඒකාබද්ධ ආදායමක් වාර්තා කිරීමට සමත්ව ඇත. එය පසුගිය වසරේ අදාළ කාලපරිච්ඡේදයට සාපේක්ෂව 16.6%ක කැපී පෙනෙන වර්ධනයකි.

සමූහය ලබා ගත් මෙම ඉහළ ආදායම් වර්ධනයට එහි විවිධාංගීකරණය වූ ව්‍යාපාරික අංශ මෙන්ම, Joint Agri Products Ceylon (JAPC) පුද්. සමාගමේ බහුතර කොටස් හිමිකාරිත්වය අත්පත් කර ගැනීමද ද ප්‍රධාන වශයෙන් හේතු විය. සුව සේවා අංශය මුළු ආදායමින් 49.2%ක දායකත්වයක් ලබා දෙමින් සමූහයේ මෙම ඉහළ වර්ධනයට විශාල දායකත්වයක් ලබා දුන් අතර පාරිභෝගික අංශය සහ කෘෂි ව්‍යාපාර අංශය ද පිළිවෙලින් 35.6%ක් හා 15.2%ක් ද වශයෙන් සමූහයේ මුළු ආදායමට දායක විය. කෙසේ වෙතත්, සුව සේවා අංශය මුහුණ දුන් ඖෂධ මිල නියාමන බලපෑම් සහ සැපයුම් දාමයේ පැවති අභියෝග මෙන්ම, කෘෂි ව්‍යාපාර අංශයේ මෙහෙයුම් පිරිවැය ඉහළ යාම ද සමූහයේ ලාභදායීත්වයට යම් බලපෑමක් එල්ල කළේය.




පසුගිය වසරේ අදාළ කාලපරිච්ඡේදයට සාපේක්ෂව සමූහයේ දළ ලාභය 3.2% කින් රු. බිලියන 5.2 ක් දක්වා ඉහළ ගිය අතර, දළ ලාභ ආන්තිකය පදනම් ලකුණු (bps) 366 කින් 28.1% ක් දක්වා පහත වැටී ඇත. මේ අතර, පොලී සහ බදු පෙර ඉපැයීම් (EBIT) පසුගිය වසරට සාපේක්ෂව 7.8% කින් රු. බිලියන 2.4 ක් දක්වා පහත වැටුණු අතර එහි ප්‍රතිඵලයක් ලෙස මෙහෙයුම් ලාභා            න්තිකය 13.2% ක් දක්වා සුළු පහත වැටීමක් පෙන්නුම් කරයි. මෙම අභියෝග මධ්‍යයේ වුවද සමූහයේ බදු පසු ලාභය (PAT) පසුගිය වසරට සාපේක්ෂව 6.0% කින් රු. බිලියන 1.4 ක් දක්වා ඉහළ ගොස් ඇත.

සමූහයේ මෙම මූල්‍ය ප්‍රතිඵල පිළිබඳව අදහස් දක්වමින් සන්ෂයින් හෝල්ඩින්ග්ස් හි සමූහ ප්‍රධාන විධායක නිලධාරී ශ්‍යාම් සතාසිවම් මහතා පැවසුවේ “සමූහයේ ප්‍රධාන ව්‍යාපාරික අංශවල ලාභාන්තිකයන් කෙරෙහි එල්ල වූ විවිධ අභියෝග මධ්‍යයේදී වුවද, පළමු කාර්තුවේදී ශක්තිමත් ආදායම් වර්ධනයක් අත්කර ගැනීමට සන්ෂයින් හෝල්ඩින්ග්ස් සමත්ව තිබෙනවා. අපගේ විවිධාංගීකරණය වූ ව්‍යාපාරික මෙහෙයුම් ආකෘතියේ ඇති ශක්තිමත් බව සහ JAPC සමාගමේ බහුතර කොටස් හිමිකාරීත්වය අත්පත් කරගැනීම මෙම සාර්ථකත්වයට ප්‍රධාන හේතුවක් වුණා. මේ අතර, සුව සේවා අංශයේ පැවති ඖෂධ මිල පාලනය හා සැපයුම් දාමයේ අභියෝග මෙන්ම, කෘෂි ව්‍යාපාර අංශයේ මෙහෙයුම් පිරිවැය ඉහළ යාම අපගේ ලාභදායීත්වයට යම් මට්ටමක බලපෑමක් එල්ල කළා.” යනුවෙනි.

“අපගේ මූලික අවධානය යොමුව ඇත්තේ උපයන ලාභයේ ස්ථාවරත්වය ආරක්ෂා කරගැනීම, දේශීය නිෂ්පාදන ක්ෂේත්‍රය තවදුරටත් ශක්තිමත් කිරීම සහ ක්‍රමවත් ලෙස ව්‍යාපාරික වර්ධනයක් අත්කර ගැනීමටයි. Zydus Sunshine Lifesciences සමාගම ස්ථාපිත කිරීම හරහා දේශීය ඖෂධ නිෂ්පාදනය ශක්තිමත් කිරීමටත්, ශ්‍රී ලංකාවේ සුව සේවා සැපයුම් දාමය තුළ වඩාත් ස්ථාවර මෙන්ම ශක්තිමත් වටපිටාවක් නිර්මාණය කිරීමටත් වැදගත් පියවරක් තැබීමට අපට හැකිවුණා. සමූහයක් ලෙස, දිගුකාලීන සහ තිරසාර වටිනාකමක් ගොඩනැගීම වෙනුවෙන් අපගේ වෙළඳ නාම, ව්‍යාපාරික මෙහෙයුම් සහ ක්‍රියාකාරකම් නංවාලීම වෙනුවෙන් අඛණ්ඩව ආයෝජනය කිරීමට අප කැපවී සිටිනවා.” යනුවෙන් සතාසිවම් මහතා වැඩිදුරටත් පැවසීය.

මෙම කාර්තුවේදී Sunshine Healthcare Lanka Ltd සහ ඉන්දියාවේ Zydus Lifesciences Ltd යන සමාගම් එක්ව Zydus Sunshine Lifesciences නමින් නව ව්‍යාපාරයක් ස්ථාපිත කරන ලදී. මෙම ව්‍යාපාරික සහයෝගීතාවය මඟින් ආයෝජන මණ්ඩලයට අයත් හොරණ අපනයන සැකසුම් කලාපය තුළ ජාත්‍යන්තර නිෂ්පාදන ප්‍රමිතීන්ට (GMP) අනුකූලව ඖෂධ වර්ග නිෂ්පාදනය කෙරෙන නවීන කර්මාන්තශාලාවක් ඉදිකිරීමට නියමිතය. මෙම නව ආයෝජනය හරහා දේශීය ඖෂධ නිෂ්පාදන ක්ෂේත්‍රයේ හැකියාවන් තවදුරටත් පුළුල් කිරීමටත්, එමඟින් මෙරට සුව සේවා සැපයුම් දාමය වඩාත් ස්ථාවර කිරීමට දායක වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

 

සුව සේවා අංශය

සමූහයේ සුව සේවා අංශය 2027 මූල්‍ය වර්ෂයේ පළමු කාර්තුවේදී රු. බිලියන 9.1ක ආදායමක් වාර්තා කර ඇති අතර, එය පසුගිය වසරට සාපේක්ෂව 5.9%ක වර්ධනයකි. ජාතික ඖෂධ නියාමන අධිකාරිය (NMRA) විසින් සිදු කරන ලද ඖෂධ මිල අඩු කිරීම් හා සැපයුම් දාමයේ පැවති විවිධ අභියෝග මධ්‍යයේ වුවද, වෛද්‍ය උපකරණ සහ ඖෂධ නිෂ්පාදන අංශයන්හි අත්කරගත් ප්‍රගතිය හේතුවෙන් සුව සේවා අංශයේ වර්ධනය ස්ථාවරව පවත්වා ගැනීමට සමූහයට හැකි විය.

ඖෂධ විකුණුම් ප්‍රමාණයන් පහත වැටීම සහ සමස්ත සුව සේවා අංශයේ පැවති අභියෝග හේතුවෙන්, ඖෂධ බෙදාහැරීමේ ව්‍යාපාරයේ ආදායම පසුගිය වසරට සාපේක්ෂව 18.2% ක පහත වැටීමක් පෙන්නුම් කළේය. කෙසේ වෙතත්, වෛද්‍ය උපකරණ අංශය 8.8% ක ආදායම් වර්ධනයක් වාර්තා කර ඇති අතර, Healthguard Distribution සහ හෙල්ත්ගාර්ඩ් ෆාමසි හි ආදායම පිළිවෙළින් 0.3% ක සහ 0.9% ක සුළු පහත වැටීමක් අත්විඳින ලදී.

මේ අතර, පළමු කාර්තුවේදී රජයේ ඖෂධ සැපයුම් ඇණවුම් නියමිත පරිදි ලබා දීමට හැකි වීම හේතුවෙන්, සමූහයේ ඖෂධ නිෂ්පාදන ව්‍යාපාරය වන ලීනා මැනිෆැක්චරින් පුද්ගලික සමාගම පසුගිය වසරට සාපේක්ෂව 20.5% ක ඉහළ ආදායම් වර්ධනයක් අත්කර ගැනීමට සමත් විය.

පාරිභෝගික අංශය

FY27 පළමු කාර්තුවේදී පාරිභෝගික අංශය පසුගිය වසරට සාපේක්ෂව 38.0%ක කැපී පෙනෙන වර්ධනයක් සමඟින් රු. බිලියන 6.6ක ආදායමක් වාර්තා කර ඇත. මෙම ඉහළ වර්ධනය සඳහා ප්‍රධාන වශයෙන් හේතු වූයේ සමූහය JAPC සමාගමේ බහුතර කොටස්  හිමිකාරීත්වයක් අත්කර ගැනීමයි. කෙසේ වෙතත්, JAPC සමාගම හැර පාරිභෝගික අංශය පමණක් සලකා බැලීමේදී, සන්නාමගත තේ කාණ්ඩයේ ස්ථාවරත්වය සහ රසකැවිලි නිෂ්පාදන පෙළෙහි අඛණ්ඩ වර්ධනය හේතුවෙන් පාරිභෝගික අංශයේ ආදායම 2.1%ක වර්ධනයක් පෙන්නුම් කර ඇත.

මේ අතර වෙළෙඳපොළ තුළ Watawala Tea සහ Ran Kahata යන සන්නාමයන් පෙන්වූ ඉහළ කාර්යසාධනය හේතුවෙන් පසුගිය වසරට සාපේක්ෂව සන්නාමගත තේ කාණ්ඩයේ ආදායම 8.3%ක වර්ධනයක් වාර්තා කර ඇත. කෙසේ වෙතත්, වෙළඳපොළ තුළ පැවති දැඩි තරඟකාරිත්වය හේතුවෙන් ප්‍රිමියම් තේ කාණ්ඩයේ විකුණුම්වලට යම් බලපෑමක් එල්ල විය. මේ අතර, චුයින්ගම් සහ වේෆර් නිෂ්පාදන පෙළෙහි අත්කරගත් ප්‍රගතියත් සමඟ රසකැවිලි අංශයේ ආදායම ද 6.9%ක වර්ධනයක් සනිටුහන් කළේය.

ප්‍රධාන විදේශීය ගැනුම්කරුවන්ගෙන් ලැබුණු ඇණවුම් ප්‍රමාණයන් අවම වීම හේතුවෙන්, තේ අපනයන ආදායම 6.3% ක පහත වැටීමක් පෙන්නුම් කළේය. මේ අතර, කුරුඳු, පොල් ආශ්‍රිත නිෂ්පාදන, ගම්මිරිස් සහ කරාබුනැටි යන නිෂ්පාදන පෙළෙහි ඉහළ ඉල්ලුම හේතුවෙන් JAPC සමාගමේ කුළුබඩු අපනයන ව්‍යාපාරය 11.5% ක ආදායම් වර්ධනයක් වාර්තා කර ඇත.

කෘෂි ව්‍යාපාර අංශය

සමූහයේ කෘෂි ව්‍යාපාර අංශය නියෝජනය කරන වටවල වැවිලි සමාගම පසුගිය වසරේ අදාළ කාලපරිච්ඡේදයට සාපේක්ෂව 12.7%ක වර්ධනයක් සමඟින් රු. බිලියන 2.8ක ආදායමක් වාර්තා කර ඇත.

වෙළඳපොළ මිල ගණන් ඉහළ යාම, විකුණුම් ප්‍රමාණය ඉහළ යාම සහ ඉහළ අස්වැන්නක් ලැබීම වැනි සාධක හේතුවෙන් පාම් ඔයිල් ව්‍යාපාරයේ ආදායම 17.9%කින් රු. බිලියන 2.5ක් දක්වා වර්ධනය වී ඇත.

කිරි ආශ්‍රිත නිෂ්පාදන ව්‍යාපාරය රු. මිලියන 258.9ක ආදායමක් වාර්තා කළ ද එය පසුගිය වසරට සාපේක්ෂව 7.1%ක පහළ යාමකි. කිරි විකුණුම් ප්‍රමාණයන් පහත වැටීම සහ නිෂ්පාදන පිරිවැය ඉහළ යාම මෙයට ප්‍රධාන වශයෙන් හේතු විය. මෙහි ප්‍රතිඵලයක් ලෙස, පසුගිය මූල්‍ය වර්ෂයේ අදාළ කාලපරිච්ඡේදය තුළ 48.8%ක් වූ කෘෂි ව්‍යාපාර අංශයේ මෙහෙයුම් ලාභාන්තිකය මෙම කාර්තුවේදී 47.2%ක් දක්වා සුළු වශයෙන් පහත වැටී ඇත.



ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

5 × 4 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව