Suzuki Motors Lanka වෙතින් යළිත් හඳුන්වා දෙනු ලබන GN125 සමග Haojue සන්නාමය ශ්‍රී ලංකා වෙළෙඳපොළට

Haojue Motorcycles Suzuki GN125 (LBN)

Softlogic Holdings PLC හි අනුබද්ධිත සමාගමක් වන Suzuki Motors Lanka Limited සිය පාරිභෝගිකයින් වෙත ලබාදුන් පොරොන්දුව ඉටු කරමින් Haojue යතුරු පැදි නැවතත් ශ්‍රී ලංකා වෙළඳපොළට හඳුන්වා දීමට පියවර ගෙන තිබෙන බව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. ඒ අනුව, මෙරට දිගු කාලයක සිට ජනප්‍රියත්වයට පත් GN125 යතුරු පැදිය නැවතත් ශ්‍රී ලාංකීය පාරිභෝගිකයන් වෙත ලබාදීමට සමාගම විසින් කටයුතු කර තිබේ.

දෛනික ගමනාගමන කටයුතු සඳහා වූ විශ්වාසනීය බව සහ ධාවනයේදී අඩු පිරිවැය, GN125 යතුරුපැදිය ආරම්භයේ සිටම ශ්‍රී ලාංකික යතුරුපැදිකරුවන් අතර දැඩි ආකර්ෂණයක් දිනා ගැනීමට හේතු විය. Haojue යතුරු පැදි මාදිලි පෙළට අයත් නවතම NK150 සහ UHR150 යන මාදිලි ද්විත්වය ද මෙම හඳුන්වාදීම සඳහා එක් කොට තිබේ. ඒ අනුව මෙම සන්නාමය දේශීය වෙළඳපොළ තුළ යළි ස්ථාපිත කිරීමත්  සමඟ පාරිභෝගිකයන්ට සිය අවශ්‍යතා අනුව ගැළපෙන නිෂ්පාදන තෝරා ගැනීමට මෙහිදී අවස්ථාව හිමි වනු ඇත.



Haojue සන්නාමය චීනය තුළ Suzuki සමඟ ඒකාබද්ධ ව්‍යාපාරයක් ලෙස ක්‍රියාත්මක වන අතර, වසර දෙකකට වැඩි කාලයක් පුරා එරට යතුරුපැදි කර්මාන්තයේ නිෂ්පාදන හා අලෙවිය යන අංශ දෙකෙන්ම පෙරමුණ ගැනීමට සමත් වී තිබේ. Suzuki Motors Lanka සමාගම පවසන්නේ, දශක දෙකකට අධික කාලයක් පුරා අත් කරගත් මෙම සාර්ථකත්වය, ශ්‍රී ලංකා වෙළඳපොළට යළි පිවිසෙන Haojue සන්නාමයේ විශ්වසනීයත්වය සහ කල්පැවැත්ම තවදුරටත් තහවුරු කරන බවයි.

මේ පිළිබඳ අදහස් දක්වමින් Suzuki Motors Lanka Limited හි අලෙවි කළමණාකාර තිලින වන්නිආරච්චි මහතා ප්‍රකාශ කොට සිටියේ GN125 යනු ශ්‍රී ලාංකික යතුරු පැදි ධාවකයින්ගේ හදවත් තුළ විශේෂ ස්ථානයක් දිනාගත් යතුරු පැදියක් බවයි. මෙම නැවත හඳුන්වා දීමේ ප්‍රධාන අරමුණ ලෙස ඔහු පෙන්වා දුන්නේ පාරිභෝගිකයින් සැමවිටම විශ්වාස කළ යතුරුපැදියක්, Softlogic සමාගමේ උසස් ප්‍රමිතිය ද සමඟින් ඔවුන් වෙත ලබා දෙන බවයි. එමෙන්ම GN125 , NK150 සහ UHR150 යන මාදිලි හඳුන්වාදීමත් සමඟ පාරිභෝගිකයින්ට තම අවශ්‍යතාවයට ගැළපෙන මාදිලියක් තෝරාගැනීමේ වැඩි අවස්ථාවක් හිමිවන බවත් අපගේ ප්‍රදර්ශනාගාර හරහා සම්පූර්ණ මාදිලි පෙළම නුදුරේදී ප්‍රදර්ශනය කිරීමට නියමිතව ඇති අතර ඒ සඳහා පෙර වෙන්කරවා ගැනීමේ පහසුකම ලබා දීමට ද බලාපොරොත්තු වන බවත් ඔහු මෙහිදී කියා සිටියි.

හුරුපුරුදු සන්නාමයක අත්දැකීම නැවත විඳගැනීමට කැමති පැරණි GN125 පාරිභෝගිකයන්ට මෙන්ම, යතුරු පැදියේ කල්පැවැත්ම පිළිබඳ විශ්වාසයෙන් යුතුව එය තෝරාගන්නා නව පරම්පරාවේ රැකියාවල නිරත පුද්ගලයින්, උසස් අධ්‍යාපනය ලබන සිසුන් සහ පළමුවරට යතුරුපැදියක් මිලදී ගන්නා පාරිභෝගිකයින් වෙත ද ආකර්ෂණය වනු ඇතැයි සමාගම අපේක්ෂා කරයි. එමෙන්ම Haojue හි විශ්වාසනීයත්වය සමඟ වඩාත් ප්‍රබල සහ උසස් ධාවන අත්දැකීමක් ලබාගැනීමට බලාපොරොත්තු වන පාරිභෝගිකයින් ඉලක්ක කර ගනිමින් NK150 සහ UHR150 මාදිලි වෙළෙඳපොළට එක් කර තිබේ.

මෙම හඳුන්වාදීමත් සමඟ ශ්‍රී ලංකාව තුළ Haojue සන්නාමයේ පැවැත්ම යළි ශක්තිමත් කිරීමට සමාගම දිගුකාලීනව කැපවී කටයුතු කරන අතර, ඉදිරි මාස කිහිපය තුළ දිවයින පුරා බලයලත් අලෙවි නියෝජිත ජාලය පුළුල් කරමින් මෙම සන්නාමය තවදුරටත් ව්‍යාප්ත කිරීමට සැලසුම් කර ඇති බව Softlogic Automobiles සමාගම සඳහන් කරයි.එමෙන්ම පාරිභෝගික විශ්වාසය තවදුරටත් තහවුරු කිරීමේ අරමුණින්, අලෙවියෙන් පසු සේවා පහසුකම් තවදුරටත් ශක්තිමත් කිරීම සහ අවශ්‍ය අමතර කොටස් පහසුවෙන් ලබාගත හැකි ආකාරය කෙරෙහි විශේෂ අවධානය යොමු කරන බව ද එම සමාගම වැඩිදුරටත් පවසයි.

තවද මෙම හඳුන්වා දීම මගින් Suzuki Motors Lanka Limited හි දැනට පවතින යතුරු පැදි එකතුව තවතවත් පුළුල් වන අතර, දිවයින පුරා ජනතාව ප්‍රධාන ප්‍රවාහන මාධ්‍යයක් ලෙස භාවිත කරන ස්කූටර් රථ වෙළඳපොළ කෙරෙහි ද Softlogic සමූහය දිගුකාලීන ආයෝජන සඳහා දක්වන කැපවීම ද මෙයින් මනාව පිළිබිඹු වේ.

ඒ අනුව මෙහි මිල ගණන්, ගෙවීමේ පහසුකම් සහ මෙම නිෂ්පාදන ව්‍යාප්ත කරන ලද අලෙවි නියෝජිත ජාල පිළිබඳ වැඩිදුර තොරතුරු ඉදිරි සති කිහිපය තුළ ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.



ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව