වියට්ජෙට් සමාගම සිය ගෝලීය ගුවන් ගමන් ජාලය පුරා නොමිලේ අධිවේගී Wi-Fi පහසුකම් ලබා දීම සඳහා ස්ටාර්ලින්ක් සමඟ ගිවිසුමකට එළඹෙයි

Photo 1 (1) (LBN)
  • කොළඹ – හෝ චි මිං නගරය නව ගුවන් සේවාව ඇතුළුව, වියට්ජෙට් සන්නාමය යටතේ ක්‍රියාත්මක වන සියලුම ගුවන් ගමන්වල මගීන් සඳහා නොමිලේ Wi-Fi පහසුකම් ලබා දෙනු ඇත.
  • පළමු අදියරේ දී ස්ටාර්ලින්ක් පහසුකම වියට්ජෙට් ගුවන් යානා 120 ක ස්ථාපිත කිරීමට නියමිත අතර, ඉදිරියේ දී ගුවන් සමාගමේ අනාගත ගුවන් යානා ජාලය වෙත ද එය ව්‍යාප්ත කිරීමට සැලසුම් කර ඇත.

කොළඹ, 2026 සැප්තැම්බර් 24: වියට්නාමයේ මහලේකම් සහ ජනාධිපති ටෝ ලාම් (To Lam) මහතාගේ ඇමෙරිකා එක්සත් ජනපද නිල සංචාරය අතරතුර, වියට්ජෙට් සමාගම සිය සමූහ සමාගම් වන Galaxy Holdings සහ Galaxy Telecom සමඟ එක්ව, වියට්ජෙට් ගුවන් ගමන්වල මගීන්ට නොමිලේ අධිවේගී Wi-Fi පහසුකම ලබා දීම සඳහා SpaceX හි චන්ද්‍රිකා අන්තර්ජාල සේවාව වන ස්ටාර්ලින්ක් සමඟ උපායමාර්ගික ගිවිසුමකට අත්සන් තබන ලදී.



මෙම ගිවිසුම වියට්නාමයේ මහලේකම් සහ ජනාධිපති ටෝ ලාම්  (To Lam)  මහතා, දෙරටේ ජ්‍යෙෂ්ඨ නායකයින් සහ ව්‍යාපාරික නියෝජිතයින් ඉදිරියේ හුවමාරු කරගත් අතර, එය වියට්නාමය සහ ඇමෙරිකා එක්සත් ජනපදය අතර ගුවන් සේවා තාක්ෂණික සහයෝගීතාවයේ නව සන්ධිස්ථානයක් සනිටුහන් කරයි.

ඒ අනුව පළමු අදියරේ දී, Airbus A321 සහ Boeing 737  ගුවන් යානා 100 ක් සහ Airbus A330  ගුවන් යානා 20 ක් ඇතුළුව වියට්ජෙට් ගුවන් යානා 120 ක ස්ටාර්ලින්ක් තාක්ෂණය ස්ථාපිත කිරීමට නියමිතයි. කොළඹ – හෝ චි මිං නගරය දක්වා වන ගුවන් සේවාව ද ඇතුළුව, වියට්නාම දේශීය සහ ජාත්‍යන්තර ගුවන් ගමන් ජාලය පුරා අන්තර්ජාල සබඳතාව ව්‍යාප්ත කරමින්, ඉදිරියේදී එකතු වන සියලුම නව ගුවන් යානා සඳහා ද මෙම අන්තර්ජාල පහසුකම් සපයා දීමට වියට්ජෙට් සමාගම සැලසුම් කර තිබේ.

සාගරික හා ධ්‍රැවීය කලාප මෙන්ම දුරස්ථ ප්‍රදේශ පුරා පැතිරුණු පුළුල් ආවරණය සහ අධිවේගී සම්බන්ධතාව සහිත ස්ටාර්ලින්ක් සේවාව මඟින් ගුවන් මගීන්ට සිය ගුවන් ගමන අතරතුර රාජකාරි කටයුතුවල නිරත වීමට, අන්තර්ජාලය සමඟ සම්බන්ධ වීමට, විනෝදාස්වාද වැඩසටහන් නැරඹීමට සහ විවිධ සබැඳි ඔස්සේ අන්තර්ගතයන් වෙත පිවිසීමට අවස්ථාව සැලසේ. වියට්ජෙට් හි අරමුණ වන්නේ ගුවන් ගමන් අතරතුර ලබාදෙන අධිවේගී Wi-Fi පහසුකම හුදෙක් සුඛෝපභෝගී පහසුකමක් ලෙස නොව, දෛනික ගුවන් ගමන් සඳහා අත්‍යවශ්‍ය සහ සියලු මගීන්ට පහසුවෙන් ප්‍රවේශ විය හැකි ඩිජිටල් සේවාවක් බවට පත් කිරීමටයි.

වියට්ජෙට් සභාපතිනි ආචාර්ය න්ගුයෙන් ති ෆුවොන්ග් තාඕ  (Dr. Nguyen Thi Phuong Thao) මහත්මිය ප්‍රකාශ කර සිටියේ ස්ටාර්ලින්ක් පහසුකම සමඟින්, ගුවන් ගමනක යෙදී සිටින කාලය තවදුරටත් අන්තර්ජාලයෙන් බැහැරව සිටින කාලයක් නොවන බවයි.  රාජකාරි කටයුතු වල නිරත වීම, විනෝදාස්වාදය ලැබීම හෝ පවුලේ අය සහ මිතුරන් සමඟ සම්බන්ධතාව පවත්වා ගැනීම ඇතුළු ඕනෑම කටයුත්තක් සඳහා ගමන පුරාම අන්තර්ජාලය සමඟ රැඳී සිටීමට වියට්ජෙට් මගීන්ට හැකි වන බවත් මෙය නවෝත්පාදනය කේන්ද්‍ර කරගත් වියට්ජෙට් හි ඇති දිගුකාලීන කැපවීම සහ නවීන තාක්ෂණය වැඩි පිරිසක් වෙත සමීප කරවීමේ අරමුණ පිළිබිඹු කරන්නක් බවත් ඇය වැඩිදුරටත් සඳහන් කරයි.

එමෙන්ම SpaceX හි ගෝලීය ව්‍යාපාර සහ රජයේ කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ උප සභාපති ටිම් හියුස් (Tim Hughes)  මහතා සඳහන් කළේ වියට්ජෙට් වෙත ස්ටාර්ලින්ක් හඳුන්වාදීම මඟින්, වියට්නාමය තුළ දැනටමත් නිවාස සහ ව්‍යාපාර සඳහා ලබාදෙන වේගවත් හා විශ්වසනීය සේවාව තවදුරටත් පුළුල් වනු ඇති බවයි . වියට්ජෙට් සහ එහි පාරිභෝගිකයින් වෙත මෙම අන්තර්ජාල සබඳතා අත්දැකීම ලබා දීමට ලැබීම ගැන අපි ඉතා සතුටු වන බව කියා සිටි ඔහු පෙන්වා දුන්නේ එමඟින් සෑම ගුවන් ගමනක්ම වඩාත් සුවපහසු, බාධාවකින් තොර සහ ප්‍රීතිමත් අත්දැකීමක්  බවට පත්වනු ඇති බවයි.

මෙම ස්ටාර්ලින්ක් ගිවිසුම මගින් වියට්ජෙට් සහ SpaceX අතර දිගුකාලීන තාක්ෂණික සහයෝගීතාවකට නව පරිච්ඡේදයක් ආරම්භ කරයි. නවීන ගුවන් යානා සමූහය, දත්ත හා කෘතිම බුද්ධිය (AI) මෙන්ම ඉහළ නිපුණතාවකින් යුත් මානව සම්පත වෙනුවෙන් සිදුකරන අඛණ්ඩ ආයෝජන හරහා, මගීන්ගේ අත්දැකීම නව මානයකට ගෙන යාමටත් ඩිජිටල් ගුවන් සේවා පද්ධතියක් ගොඩනැගීමටත් වියට්ජෙට් පියවර ගනිමින් සිටියි.

 

ඒ අනුව, ශ්‍රී ලංකාව වෙත සහ ශ්‍රී ලංකාවේ සිට ගමන් කරන මගීන් ඇතුළු මිලියන සංඛ්‍යාත මගීන්ට ඔවුන්ගේ ගමනාන්ත දක්වා අඛණ්ඩව ලොව සමඟ සම්බන්ධව සිටීමට හැකිවන පරිදි, තාක්ෂණයෙන් බලගැන්වුණු ගුවන් ගමන් අත්දැකීමක් නිර්මාණය කිරීමට වියට්ජෙට් සමාගමට හැකි වනු ඇත.



ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව