ලාංකික තරුණ තරුණියන්ට තාක්ෂණික කුසලතා සහ රැකියා අවස්ථා වැඩි කිරීමට සිංගර් සමාගම සහ NAITA ආයතනය අතර නව හවුල්කාරී වැඩසටහනක්

Capture

ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන්ට තාක්ෂණික පුහුණුව, පිළිගත් වෘත්තීය සුදුසුකම් සහ ආධුනිකත්ව අවස්ථා ලබා දීම සඳහා සිංගර් ශ්‍රී ලංකා සමාගම සහ NAITA ආයතනය අවබෝධතා ගිවිසුමකට පසුගිය දා අත්සන් තබන ලදී.

මෙම හවුල්කාරීත්වය හරහා, සිංගර් සමාගමේ ව්‍යාපාරික දැනුම සහ NAITA ආයතනයේ පුහුණු කිරීමේ අංශය එක්කරමින්, අනාගතයට ගැළපෙන දක්ෂ සේවක පිරිසක් බිහි කිරීම අපේක්ෂා කෙරේ. මේ යටතේ සිංගර් සමාගමේ දැනට සේවය කරන තාක්ෂණික සේවකයින්ට ‘පූර්ව ඉගෙනුම් හඳුනාගැනීම’ (RPL) ක්‍රමය හරහා පිළිගත් වෘත්තීය සුදුසුකම් ලබා දෙන අතරම, තරුණ තරුණියන්ට කර්මාන්තශාලා හෝ ආයතන ඉලක්ක කරගත් ආධුනික පුහුණු අවස්ථා නිර්මාණය කිරීමට අපේක්ෂා කරයි.




මෙම ගිවිසුම යටතේ, සිංගර් සමාගමේ තාක්ෂණික සේවකයින්ට RPL ක්‍රමය හරහා NVQ (ජාතික වෘත්තීය සුදුසුකම්) 3 හෝ 4 මට්ටමේ සුදුසුකමක් ලබා ගැනීමට අවස්ථාව සැලසේ. මෙමඟින් දැනටමත් ක්ෂේත්‍රයේ අත්දැකීම් සහ තාක්ෂණික දක්ෂතා ඇති සේවකයින්ට, තම කුසලතා සඳහා නිල පිළිගැනීමක් ලබා ගැනීමට අවස්ථාව හිමි වේ. මේ සඳහා අවශ්‍ය තක්සේරු කිරීම් NAITA ආයතනය විසින් සිදු කරන අතර, එම සුදුසුකම් ලබා ගැනීමට අවශ්‍ය සියලු පහසුකම් සිංගර් සමාගම විසින් සපයනු ලබයි.

මෙම හවුල්කාරීත්වය පිළිබඳව අදහස් දක්වමින්, සිංගර් ශ්‍රී ලංකා ආයතනයේ සමූහ කළමනාකාර අධ්‍යක්ෂ මහේෂ් විජේවර්ධන මහතා ප්‍රකාශ කළේ, “අපේ සේවකයින්ගේ වෘත්තීය කුසලතා සංවර්ධනය කිරීම ව්‍යාපාරයේ ඉදිරිකාලීන සැලසුම් ශක්තිමත් කරගැනීමේ වැදගත් අංගයක් ලෙස අප දකිනවා. NAITA සමඟ ඇති කරගත් මෙම හවුල්කාරීත්වය හරහා, අපගේ පළපුරුදු තාක්ෂණික සේවකයින්ට ඔවුන්ගේ කුසලතා සඳහා නිල පිළිගැනීමක් ලබා ගැනීමට අවස්ථාව සැලසෙන අතරම, තරුණ තරුණියන්ට රැකියා අවස්ථා සඳහා මාවතක් ද විවෘත වීම සතුටට කරුණක්.”

මෙම සහයෝගීතාව පිළිබඳව අදහස් දක්වමින්, NAITA සභාපති එච්. අබ්දුල් සත්තර් මහතා ප්‍රකාශ කළේ, “සමාගම් ක්ෂේත්‍රයේ අවශ්‍යතාවලට ගැළපෙන කුසලතා සංවර්ධනය කිරීම සඳහා වෘත්තීය පුහුණු ආයතන සහ සමාගම් අතර ශක්තිමත් හවුල්කාරීත්වයක් තිබීම අත්‍යවශ්‍යයි. සිංගර් සමාගම සමඟ ඇති කරගත් මෙම හවුල්කාරීත්වය තුළින්, විධිමත් වෘත්තීය අධ්‍යාපනය සහ ජාතික මට්ටමින් පිළිගත් සුදුසුකම් ප්‍රායෝගික වෘත්තීය අත්දැකීම් සමඟ ඒකාබද්ධ කිරීමට හැකි වනු ඇති බව අපට විශ්වාසයි.”

මෙම හවුල්කාරීත්වය හරහා, සිංගර් සහ NAITA දෙපාර්ශවයට ව්‍යවසාය පදනම් කරගත් පුහුණු ක්‍රමය හරහා ආධුනිකයන් බඳවා ගැනීමට, පුහුණු කිරීමට සහ තක්සේරු කිරීමට ද අවස්ථාව ලැබේ. ආධුනිකයන්ට අවශ්‍ය සිද්ධාන්තමය දැනුම ලබාදීම සඳහා NAITA ආයතනය සහයෝගය ලබා දෙන අතර, සිංගර් සමාගම මඟින් ක්ෂේත්‍රයේ ප්‍රායෝගික අත්දැකීම් ඔවුන්ට ලබා දීම සිදු කෙරේ. එමෙන්ම, සිංගර් කර්මාන්තශාලා තුළ ද තරුණ තරුණියන්ට පුහුණු හා රැකියා අවස්ථා ලබා ගැනීමට මෙයින් මඟ සැලසීම විශේෂත්වයකි.

මෙම අවබෝධතා ගිවිසුම යටතේ මූලිකව හඳුනාගත් ක්ෂේත්‍ර වන්නේ විදුලි කාර්මික, විදුලි උපකරණ කාර්මික, ශීතකරණ සහ වායු සමීකරණ (AC) කාර්මික, ජංගම දුරකථන අලුත්වැඩියා කරන්නන් සහ කෘෂිකාර්මික යන්ත්‍රෝපකරණ කාර්මිකයන් වේ. එසේම, අනාගත අවශ්‍යතා මත දෙපාර්ශ්වයේම එකඟතාවයෙන් තවත් තාක්ෂණික ක්ෂේත්‍ර මීට එකතු කර ගැනීමට ද බලාපොරොත්තු වේ.

මෙම හවුල්කාරීත්වය හරහා, තම සේවකයන්ගේ වෘත්තීය කුසලතා සංවර්ධනයට මෙන්ම නව තාක්ෂණික සේවාවන් නිර්මාණය සඳහා සිංගර් සමාගම දක්වන උනන්දුව ද මනාව පෙන්නුම් කෙරේ. එමෙන්ම, ශ්‍රී ලංකාව තුළ දක්ෂ තාක්ෂණික වෘත්තිකයන් බිහි කිරීමේ ක්‍රියාවලියට සිංගර් සහ NAITA ආයතන එක්ව ලබා දෙන මෙම දායකත්වය අතිශය කාලීන වැදගත්කමකින් යුතු මැදිහත්වීමකි.



ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

twenty − 12 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව