
කොළඹ, 2026 ඔක්තෝබර් 5: වියට්ජෙට් ගුවන් සේවය, පසුගියදා පැවති ‘CAPA Airline Leader Summit Asia 2026’ සමුළුවේදී ‘Asia Low Cost/Hybrid Airline of the Year’ සම්මානයෙන් පිදුම් ලැබීය. ගුවන් සේවා සහ සංචාරක කර්මාන්ත සඳහා වෙළඳපොළ තොරතුරු සහ විශ්ලේෂණ සපයන ලොව ප්රමුඛ ජාත්‍යන්තර ආයතනයක් වන CAPA (Centre for Aviation) විසින් සංවිධානය කරන ලද මෙම සම්මාන උළෙල ජපානයේ හොක්කයිඩෝ හි චිටෝසේ නුවර හිදී පැවැත්විය. ශ්‍රී ලංකාව සහ වියට්නාමය යා කෙරෙන සිය ප්‍රථම ගුවන් මාර්ගය ආරම්භ කර සති කිහිපයකට පසුව, වියට්ජෙට් හි උපායමාර්ගික සංවර්ධනය සහ ව්‍යාපාර ආකෘතියේ නවෝත්පාදන ඇගයීමට ලක් කරමින් වියට්ජෙට් සමාගම මෙම සම්මානය හිමි කර ගන්නා ලදී.
වසර 15ක මෙහෙයුම් අත්දැකීම් සමඟින්, වියට්ජෙට් ගුවන් සේවය මෙහෙයුම් කාර්යක්ෂමතාව සහ පිරිවැය පාලනය පදනම් කරගත් සිය Hybrid ගුවන් සේවා ආකෘතිය තවදුරටත් සංවර්ධනය කරමින් සිටී. මෙම ආකෘතිය මගින් මගීන්ට ගුවන් ගමන් ගාස්තු, පහසුකම් සහ සේවා සම්බන්ධයෙන් වැඩි තේරීම් අවස්ථා ලබා දෙන අතර ශ්‍රී ලංකාව ඇතුළු ජාත්‍යන්තර ගුවන් ගමන් මාර්ග පුළුල් කිරීමට සහ සමස්ත මගීන්ගේ ගුවන් ගමන් අත්දැකීම තවදුරටත් ඉහළ නැංවීමට වියට්ජෙට් වෙත හැකියාව ලැබී තිබේ.
වියට්ජෙට් අධ්යක්ෂ මණ්ඩලයේ උප සභාපතිනි සහ සමූහ ප්‍රධාන මූල්‍ය නිලධාරිනී (CFO) හෝ න්ගොක් යේන් ෆුඔන්ග් (Ho Ngoc Yen Phuong) මහත්මිය ප්‍රකාශ කොට සිටියේ, වියට්ජෙට් හි ‘Hybrid’ ආකෘතිය යනු තරඟකාරී ගාස්තු, කාර්යක්ෂම මෙහෙයුම් සහ ආරක්ෂාව සමඟ මගීන්ට වැඩි තේරීම් සහ වඩාත් යහපත් අත්දැකීමක් ලබා දීම බවයි. එමෙන්ම වියට්ජෙට් හි ඉදිරි වර්ධන ගමනේ සෑම පියවරකදීම මගීන්ට, කොටස් හිමියන්ට සහ සමාගම සේවා සපයන වෙළෙඳපොළවලට දිගුකාලීන වටිනාකමක් එක් කිරීම අරමුණු කරමින් ගුවන් යානා, තාක්ෂණය සහ සේවා සඳහා අඛණ්ඩව ආයෝජනය කරන බව ද ඇය වැඩිදුරටත් සඳහන් කරයි.
වියට්ජෙට් හි පුළුල් බඳ සහිත Airbus A330 ගුවන් යානා සමූහය සංවර්ධනය කිරීමත්, විවේකී සංචාර, නෑදෑ හිතමිතුරන් හමුවීම සහ ව්‍යාපාරික සංචාර ඇතුළු විවිධ සංචාරක අවශ්‍යතාවලට සරිලන ගාස්තු ක්‍රම සහ පහසුකම් සැපයීමත් එහි Hybrid උපායමාර්ගය තුළින් මනාව පිළිබිඹු වේ. එමෙන්ම, මගීන්ට තම අවශ්‍යතාවලට වඩාත් ගැළපෙන නිෂ්පාදන සහ සේවා තෝරා ගැනීමටත්, වියට්නාමීය හා ජාත්‍යන්තර ආහාර සංස්කෘතීන්හි විශිෂ්ට රසයන්ගෙන් සමන්විත විවිධ ආහාර වේල් රස විඳීමටත්, වියට්ජෙට් හි කාර්ය මණ්ඩලයෙන් වෘත්තීයමය සහ සුහදශීලී සේවාවක් අත්විඳීමටත් අවස්ථාව හිමි වේ.
ඒ අනුව, ශ්‍රී ලාංකික සංචාරකයින්ට ද අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා යන දිනවල සතියකට තෙවරක් ක්‍රියාත්මක වන කොළඹ–හෝ චි මින් සිටි නව ගුවන් මාර්ගය ඔස්සේ මෙම අත්දැකීම විඳගැනීමට අවස්ථාව හිමි වේ.
එසේම, ගුවන් ගමන අතරතුර බාධාවකින් තොරව අන්තර්ජාල සබඳතාවක් ලබා දීමේ අරමුණින් සිය සියලුම ගුවන් යානා සඳහා ස්ටාර්ලින්ක් චන්ද්‍රිකා අන්තර්ජාල පහසුකම සවි කිරීමට සැලසුම් කර ඇති බව ද වියට්ජෙට් සමාගම නිවේදනය කර තිබේ. මෙම අධිවේගී Wi-Fi පහසුකම හේතුවෙන් මගීන්ට ගුවන් ගමන පුරා රාජකාරි කටයුතුවල නිරත වීමටත්, සමීපතමයන් සමඟ සම්බන්ධව සිටීමටත්, මාර්ගගත විනෝදාස්වාදය භුක්ති විඳීමටත් වැඩි ඉඩකඩක් ලැබෙනු ඇත.
මෙම මගී අත්දැකීම් ඉහළ නැංවීමට අමතරව වියට්ජෙට් සමාගම, වියට්නාමයේ ඉදිකෙරෙන විශාලතම ගුවන් තොටුපළ වන ලෝන්ග් තාන් (Long Thanh) හි ගුවන් යානා නඩත්තු මධ්‍යස්ථානයක් සඳහා ආයෝජනය කරමින් සිටින අතර වියට්නාමය තුළ ගුවන් යානා නඩත්තු, අලුත්වැඩියා සහ ප්‍රතිසංස්කරණ සේවා (MRO) සංවර්ධනය කිරීමට ඇති අවස්ථා පිළිබඳව ද පරීක්ෂා කරමින් සිටී. එමෙන්ම, තාක්ෂණය, කෘතිම බුද්ධිය, දත්ත සහ සයිබර් ආරක්ෂණය යන ක්ෂේත්රවල සහයෝගීතාව වර්ධනය කිරීමට ද සමාගම කටයුතු කරයි. මෙම පියවරයන් මගින් වියට්ජෙට් හි තාක්ෂණික හැකියාවන් ශක්තිමත් වන අතරම, සම්පත්වල පවතින නම්‍යශීලී බව හා පැවැත්ම වැඩිදියුණු වී, ගෝලීය ගුවන් සේවා වටිනාකම් දාමයට වියට්නාම ව්‍යවසායන්හි වැඩි දායකත්වයක් ලබා දීමට ද හැකි වනු ඇත.
වියට්ජෙට් හි වර්ධන උපායමාර්ගයේ ප්‍රධාන අංගයක් වන්නේ ජාත්‍යන්තර ව්‍යාප්තියයි. නව පරම්පරාවේ ගුවන් යානා සඳහා ආයෝජනය කරමින් සහ ජාත්‍යන්තර ගුවන් මාර්ග ජාලය පුළුල් කරමින් සිටින සමාගම, පුහුණුව, නඩත්තුව, ගොඩබිම් සේවා සහ තාක්ෂණය ඇතුළත් පුළුල් ගුවන් සේවා පරිසර පද්ධතියක්ද ගොඩනඟමින් සිටී. එමගින් වියට්ජෙට් හි දිගුකාලීන වර්ධනය සඳහා ශක්තිමත් පදනමක් නිර්මාණය වේ.
CAPA වෙතින් හිමි වූ මෙම සම්මානය, වියට්ජෙට් සමාගමට හිමි වූ ජාත්‍යන්තර ඇගයීම් මාලාවට එක් වූ තවත් සුවිශේෂී ඇගයීමක් වන අතර, මෑතකදී මාලදිවයිනේ පැවැති World Travel Awards හිදී “Asia’s Leading Airline Brand 2026 ලෙස ද වියට්ජෙට් සමාගම ඇගයීමට ලක් විය. සිය Hybrid උපායමාර්ගය තුළින් ගුවන් ගමන් සඳහා ඇති ප්‍රවේශය පුළුල් කිරීමටත්, ගුවන් ගමන් අත්දැකීම් වැඩිදියුණු කිරීමටත්, වියට්නාමය සහ ලෝකය අතර සබඳතාව ශක්තිමත් කරමින් සංචාරක, වෙළඳ සහ ආයෝජන ක්ෂේත්රවල වර්ධනයට දායක වීමටත් වියට්ජෙට් සමාගම බලාපොරොත්තු වේ.
CAPA හි ‘Aviation Awards for Excellence’ සම්මාන උළෙල මගින් ගුවන් සේවා ක්ෂේත්රයේ උපායමාර්ගික නායකත්වය, නවෝත්පාදන සහ කර්මාන්තයේ ප්‍රගතිය සඳහා සිදු කරන ලද කැපී පෙනෙන දායකත්වයන් ඇගයීමට ලක් කරයි. 2026 ඔක්තෝබර් මස 1 සහ 2 යන දෙදින 2026 Asia award සම්මාන උළෙල ජපානයේ හොක්කයිඩෝ හි චිටෝස් නුවරදී පැවැත්විය.


