

පසුගියදා පැවති 40 වැනි වෙළඳ සේවා මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේදී (Mercantile Athletics Championships) ප්‍රධාන පෙළේ සමාගම් රැසක කණ්ඩායම් 44 ක් අතරින් 11 වැනි ස්ථානය හිමි කරගැනීමට සෙලාන් බැංකුවේ මලල ක්‍රීඩා කණ්ඩායම සමත් විය.
මෙම තරගාවලියේදී රන් පදක්කම් 8 ක්, රිදී පදක්කම් 2 ක් සහ ලෝකඩ පදක්කම් 9 ක් දිනාගැනීමට සෙලාන් මලල ක්‍රීඩා කණ්ඩායමට හැකියාව ලැබිණි. තම කාර්ය මණ්ඩලයේ වෘත්තීය දියුණුව සඳහා අත්වැලක් වන අතරම ඔවුන්ගේ ක්‍රීඩා කුසලතා ඔප්නැංවීම සඳහාද සෙලාන් බැංකුව කැප වී සිටින බව මෙමඟින් මැනැවින් පිළිබිඹු වේ.
මෙම දක්ෂතා ඇගයීම සඳහා 2026 ජූනි 26 දින බත්තරමුල්ල Waters Edge හිදී පැවති ‘Mercantile Athletics Awards 2025’ සම්මාන උළෙලේදී සෙලාන් බැංකුවේ මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිහිපදෙනෙකුට සම්මාන හිමි විය.
මෙහිදී ඉහළම ගෞරවය දිනාගන්නා ලද්දේ, රන් පදක්කම් 4 ක් සහ රිදී පදක්කමක් දිනා ගනිමින් මීටර් 400 ඉසව්වෙන් නව තරග වාර්තාවක්ද පිහිටුවූ ඒ. ආර්. චාමික වීරවර්ධන විසිනි. එම දක්ෂතා වෙනුවෙන් ඔහුට ‘සමස්ත දක්ෂතම ක්‍රීඩකයා – පිරිමි’ සම්මානය හිමි විය. එමෙන්ම උස පැනීමේ ඉසව්වෙන් නව තරග වාර්තාවක් පිහිටුවමින් රන් පදක්කම් 3 ක් දිනාගත් කේ. ඒ. ඩී. තිසත් දෙව්නක මොවිඳු ද රන් සම්මානයකින් පිදුම් ලැබූ අතර, තරගාවලිය පුරා දැක්වූ විශිෂ්ට දක්ෂතා ඇගයීමක් වශයෙන් ‘දක්ෂතම ක්‍රීඩකයා – නවක පිරිමි කාණ්ඩය’ සම්මානයද ඔහු වෙත හිමි විය.
තවද තරගාවලියේදී රන් පදක්කමක් සහ රිදී පදක්කම් දෙකක් දිනාගත් අයි. ඩී. නෙලුකා සංජීවනී ප්‍රනාන්දු රිදී සම්මානයකින් පිදුම් ලැබූ අතර, රන් පදක්කමක් සහ ලෝකඩ පදක්කම් දෙකක් දිනාගත් ගිහාන් රණවීරටද රිදී සම්මානයක් විය.
මීට අමතරව, වෙළඳ සේවා මලල ක්‍රීඩා සංගමයේ සහකාර භාණ්ඩාගාරික ලෙස ඉටු කළ විශිෂ්ට මෙහෙවර වෙනුවෙන් රමේෂ් චාමිකර ජයරත්න විශිෂ්ට දායකත්ව සම්මානයකින් පිදුම් ලැබීය.
මෙම ජයග්‍රහණ පිළිබඳ අදහස් දක්වමින් සෙලාන් බැංකුවේ ප්‍රධාන පරිවර්තන නිලධාරී සහ සෙලාන් ක්‍රීඩා සමාජයේ සභාපති වරුණ කොග්ගලගේ මහතා මෙසේ පැවසීය:
“සෙලාන් නාමයට ගෞරවයක් ගෙනදෙමින් අපගේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් අත්කරගෙන ඇති මෙම ජයග්‍රහණ ඔවුන්ගේ උද්යෝගය, විනය සහ අධිෂ්ඨානය නිරූපණය කරන සැබෑම පිළිබිඹුවක් ලෙස හැඳින්වීමට පුළුවන්. සෙලාන් බැංකුව තුළ අප නිර්මාණය කිරීමට අප උත්සාහ කරන කණ්ඩායම් හැඟීම සහ නොපසුබස්නා උත්සාහය පදනම් කරගත් ආයතනික සංස්කෘතිය කෙබඳුද යන්නට මෙම ජයග්‍රහණ සාක්ෂි දරනවා. මෙම සුවිශේෂී ජයග්‍රහණ අත්කරගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සහ ඒ සඳහා දායක වූ නිලධාරීන්ට අපගේ උණුසුම් සුබපැතුම් පිරිනමන අතර, ඔවුන්ගේ කුසලතා තවදුරටත් ඉහළ නංවාගැනීමට අවශ්‍ය සහයෝගය අඛණ්ඩව ලබාදීමට අප සූදානම්.”
මෙම සුවිශේෂී ජයග්‍රහණ වෙනුවෙන් සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සහ නිලධාරීන්ට සෙලාන් බැංකුව සිය හෘදයාංගම සුබපැතුම් පුද කර සිටින අතර, රැකියාව මෙන්ම ක්‍රීඩාව තුළද විශිෂ්ටත්වය හඹා යාමට දිරිගන්වන ආයතනික සංස්කෘතියක් ඔස්සේ ඉදිරියේදී තවත් මෙවැනි ජයග්‍රහණ රැසක් සනිටුහන් කිරීමට බැංකුව බලාපොරොත්තු වෙයි.


