මෙරට රබර් වගාව 150 වැනි විය සපුරයි

Rubber 2 (LBN)

වර්ෂ 1876 වසරේදී ඇරඹි මෙරට රබර් වගාව 2026 වසරේ සිය 150 වැනි සංවත්සරය සමරනු ලබන්නේ ශ්‍රී ලාංකේය ආර්ථිකයේ ප්‍රමුඛතම සාධකයක් බවට පත් වෙමිනි. 1876 වසරේදී Hevea brasiliensis වර්ගයේ රබර් පැළ තොගයක් ගම්පහ හෙනරත්ගොඩ උද්භිද උද්‍යානය වෙත රැගෙන ඒමත් සමඟ රබර් වගාවේ මෙරට ගමන ආරම්භ විය.  බ්‍රිතාන්‍ය ජාතික උද්භිද විද්‍යාඥ Henry Wickham විසින් ඇමසන් වනාන්තරයෙන් හොර රහසේ රැගෙන ආ බීජ ලන්ඩනයේ Kew Gardens හිදී පැළ කිරීමෙන් පසු, මෙම රබර් පැළ ශ්‍රී ලංකාවට රැගෙන එන ලදී. එම පැළ ලංකාවට පැමිණීමත් සමඟ ආසියාවේ වාණිජ රබර් කර්මාන්තයේ සමාරම්භකයා වීමේ ගෞරවය ශ්‍රී ලංකාවට හිමි වූ අතර ශතවර්ෂ එකහමාරක් ගෙවුණු අද දවසේත් එම සුවිශේෂී පිළිගැනීම තව දුරටත් රඳවා ගැනීමට හැකි වී තිබීම විශේෂත්වයකි.




ශ්‍රී ලංකාව මෙම සංවත්සරය සමරන මොහොතේ, මෙරට වතු ක්ෂේත්‍රයේ කළමනාකාරීත්වය නියෝජනය කරන ලංකා වැවිලිකරුවන්ගේ සංගමය වසර 150ක මෙම අභිමානවත් උරුමය පිළිබඳව ඉමහත් සාඩම්බරයෙන් සිහිපත් කර සිටියි.

රබර් බීජ ලංකාවට ගෙන එනු ලැබුවේ අනාගත අරමුණක් සාක්ෂාත් කර ගැනීම වෙනුවෙනි.  Charles Goodyear විසින් 1839 දී සොයාගත් vulcanization තාක්ෂණය හේතුවෙන් එතෙක් පැවති මෘදු මෙන්ම උෂ්ණත්වයට සංවේදී රබර් කිරි ඉතා ශක්තිමත් කාර්මික ද්‍රව්‍යයක් බවට පරිවර්තනය විය. ඉන්පසු 1888 දී John Boyd Dunlop විසින් හුළං පිරවිය හැකි රබර් ටයරය නිපදවීමත් සමඟ, ලෝකය පුරාම රබර් සඳහා දැඩි ඉල්ලුමක් සහ වෙළෙඳපොළක් නිර්මාණය විය. බ්‍රසීලයේ වනාන්තරවලින් පමණක් එම දැවැන්ත ලෝක ඉල්ලුම සැපයිය නොහැකි වූ අතර, බ්‍රසීලයේ රබර් ඒකාධිකාරය බිඳ දැමීමට තීරණය කළ බි්‍රතාන්‍යය, දකුණු ඇමරිකාවෙන් Hevea රබර් බීජ හොර රහසේ රැගෙන විත් තම ආසියානු යටත් විජිතවල වගා කිරීමේ මෙහෙයුමට ප්‍රතිපාදන ලබා දුන්නේය. එම බීජ මුලින්ම ලැබුණු රටවල් අතර එවකට Ceylon නමින් හැඳින්වුණු අප රටද වූ අතර, ඉන්පසු ලංකාවේ වතු ක්ෂේත්‍රය තුළ ඉතා වේගවත් පරිවර්තනයක් සිදු විය.

ඉන් පසුව රබර් වාණිජ බෝගයක් ලෙස වගා කිරීම ඉතා වේගයෙන් ව්‍යාප්ත වූ අතර 1900 දශකයේ මුල් භාගය වන විට, ලෝක වෙළෙඳපොළේ තේ මිල පහත වැටීම නිසා මෙරට පහතරට වතු වැවිලිකරුවන් මෙම නව බෝගය වෙත යොමු වීමද සිදු විය. මේ හේතුවෙන්, වසර කිහිපයක් වැනි කෙටි කාලයක් ඇතුළත රබර් වගා කර තිබූ බිම් ප්‍රමාණය අක්කර 25,000 සිට අක්කර 100,000කට වඩා වැඩි ප්‍රමාණයක් දක්වා සීඝ්‍රයෙන් ඉහළ යන ලදී.

මෙම ගමන් මගෙහි ප්‍රධානතම සන්ධිස්ථානය වූයේ 1909 වසරේදී ‘ශ්‍රී ලංකා රබර් පර්යේෂණ ආයතනය‘ ( RRISL) පිහිටුවීමයි. එය ලොව පැරණිතම රබර් පර්යේෂණ ආයතනය වීමේ අභිමානය සමඟින් එය සියවසකට අධික කාලයක් තිස්සේ කෘෂිකාර්මික හා තාක්ෂණික පර්යේෂණ මෙහෙයවනු ලබයි. මෙම උරුමයට ශ්‍රී ලංකාවේ Latex Crepe No. 1 ශ්‍රේණියේ රබර් වර්ගයද ඇතුළත් වේ. එය ලොව පිරිසිදුම ස්වභාවික රබර් වර්ගය ලෙස සලකනු ලබන අතර, කිසිදු දුර්ගන්ධයකින් තොර, ඉහළ වටිනාකමකින් යුත් මෙම ද්‍රව්‍යය සඳහා වෛද්‍ය ක්ෂේත්‍රයේ සහ ඉහළ පෙළේ සපත්තු/රබර් ආශ්‍රිත නිෂ්පාදන වෙළෙඳපොළ තුළ අදටත් විශාල ඉල්ලුමක් පවතී.

ශ්‍රී ලංකාවට රබර් වාණිජ භෝගයක් පමණක් නොවූ අතර  රටේ රාජ්‍ය තාන්ත්‍රිකභාවය සහ අනන්‍යතාවය පිළිබඳ සාධකයක්ද විය.  1952 වසරේදී, දෙරටම දැඩි ආහාර හිඟයකට මුහුණ දී සිටි අවධියක, ලංකාව චීනය සමඟ සුප්‍රසිද්ධ ‘රබර්-සහල් ගිවිසුම‘ අත්සන් කළේය. එහිදී රටට අත්‍යවශ්‍යව තිබූ සහල් වෙනුවෙන් ලංකාවේ රබර් හුවමාරු කරගත් අතර, මෙය වැවිලි බෝගයක් රටක දේශපාලන හා රාජ්‍ය තාන්ත්‍රික මෙවලමක් ලෙස භාවිත වූ ඉතා දුර්ලභ අවස්ථාවකි. රබර් නිෂ්පාදනය ප්‍රථම වරට උච්චතම මට්ටමකට පැමිණියේ 1960 දශකයේ මැද භාගයේදීය. එහිදී නිෂ්පාදනය මෙටි්‍රක් ටොන් 107,000 ඉක්මවූ අතර, තේ සහ පොල් සමඟින් රටේ ප්‍රධානතම අපනයන බෝග තුනෙන් එකක් ලෙස රබර් සතු ස්ථානය ස්ථාවර කර ගැනීමට එය සමත් විය. සංඛ්‍යා ලේඛනවලට අනුව, 2011 වසරේදී මෙරට රබර් නිෂ්පාදනය මෙටි්‍රක් ටොන් 158,000ක් දක්වා ඉහළ යමින් එහි ඉතිහාසයේ ඉහළම වාර්තාව සනිටුහන් කර ඇත.

ලෝක වෙළෙඳපොළ තුළ තම අනන්‍යතාව රැකගැනීම සඳහා කාලයට සාපේක්ෂව වෙනස් වෙමින් ඉදිරියට ආ මෙම රබර් කර්මාන්තය ශල්‍යකර්ම අත් ආවරණ (surgical gloves), කාර්මික ටයර් සහ ඝන ටයර්  නිෂ්පාදනයේ කැපී පෙනෙන වර්ධනය නිසා 2024 වසරේදී ඇමරිකානු ඩොලර් බිලියන 1.1ක ආදායමක් උපයා දීමට සමත් වීමද විශේෂත්වයකි.  මෙහි වඩාත්ම සුවිශේෂී කරුණ වන්නේ, ශ්‍රී ලංකාව ලොව විශාලතම ඝන ටයර් නිෂ්පාදකයා බවට පත්ව තිබීමයි. මෙම ක්ෂේත්‍රය හරහා තවමත් 300,000කට ආසන්න පිරිසකගේ ජීවනෝපාය මාර්ග සලසා දී ඇති අතර ඉන් බහුතරයක් සාම්ප්‍රදායිකව රබර් වගා කරන දිස්ත්‍රික්කවල ජීවත් වන ග්‍රාමීය කාන්තාවන්ය. රබර් කිරි කපන්නන්, සුළු පරිමාණ වතු හිමියන් සහ වතු ආශ්‍රිත පවුල්වල පරම්පරා ගණනාවක් තිස්සේ පැවත ආ වගා සහ නිෂ්පාදන සම්ප්‍රදායන් අදටත් ක්‍රියාත්මක වෙමින් පවතී.

වසර 150ක් සනිටුහන් කරමින්, අරමුණු සහගත හෙට දවසකට

ලංකා වැවිලිකරුවන්ගේ සංගමය ක්ෂේත්‍රයේ අනෙකුත් ආයතන සමඟ එක්ව මෙම සුවිශේෂී සංවත්සරය සමරනු ලබන්නේ වටිනා ඉතිහාසය ඇගයීමට සහ එහි අනාගත පැවැත්ම වෙනුවෙන් කැපවීමට මඟ විවර කරමිනි. එහි හෙට දවස වෙනුවෙන් අදියර කිහිපයකින් යුත් සැලසුමක් සකස් කර තිබේ. ඒ අනුව, කෙටි කාලීන පියවරක් ලෙස මෙතෙක් වගා නොකර අතහැර දමා තිබූ ඉඩම් නැවත ඵලදායී ලෙස වගාවට යොදා ගැනීමටත්, 2027 වසර වන විට ජාතික රබර් අස්වැන්න ඉහළ නැංවීමටත් ඉලක්ක කොට ඇත. එමෙන්ම දිගුකාලීනව නව රබර් පැළ නැවත සිටුවීම, රබර් වගා නොකරන නව ප්‍රදේශ වෙත වගාව ව්‍යාප්ත කිරීම සහ ඉදිරි දශක කිහිපය තුළ ශ්‍රී ලංකාවේ රබර් ජාත්‍යන්තර අපනයන වෙළෙඳපොළ තුළ තරඟකාරීව පවත්වා ගැනීමට උදව් වන නවීන තාක්ෂණය යොදා ගැනීමේ ක්‍රම වේදයන් හඳුන්වා දීමටද සැලසුම් කර ඇත.

ශ්‍රී ලංකාවේ 150 වැනි රබර් සංවත්සරය යනු, සියල්ලටමත් වඩා වැටී ගිය බීජ තොගයකින් ආරම්භ කර අද වන විට ඩොලර් බිලියන ගණනක අපනයන ක්ෂේත්‍රයක් දක්වා මෙම කර්මාන්තය ගොඩනැගූ රබර් කිරි කපන්නන්, කුඩා වතු හිමියන්, වතු කාර්ය මණ්ඩලය, වතු අධිකාරීවරුන් සහ විද්‍යාඥයන් ඇතුළු පරම්පරා ගණනාවකට පුද කරන උපහාරයකි. එසේම ගම්පහ පොළොව මත මුල්ම රබර් පැළ රෝපණය කළ දින සිට මේ දක්වා කර්මාන්තය පැමිණි දිගු ගමන සැමරීමට ලැබුණු වටිනා මොහොතකි. එහි අනාගතය රැඳී පවතින්නේද අතීතය තුල අත්කර ගත් ජයග්‍රහණ මතය. කාලයට ගැලපෙන අයුරින් වෙනස් වෙමින්, නොසැලී ඉදිරියට යමින් ශ්‍රී ලාංකේය ආර්ථිකය නගා සිටුවීමට ඊට ඇති හැකියාව අති මහත්ය.



ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව