ආසියානු ජාතික උපාය මාර්ගයන්ගෙන් හෙලිවන කටුපොල් වගාවේ ආර්ථික බලපෑම

The Planters Association of Ceylon

ලංකා වැවිලිකරුවන්ගේ සංගමයේ මහලේකම් ලලිත් ඔබේසේකර මහතා විසිනි

ලී ක්වාන් යූ ශ්‍රී ලංකාව හැඳින්වූයේ බ්‍රිතාන්‍යයේ ආදර්ශමත් පොදු රාජ්‍ය මණ්ඩලීය රටක් ලෙසය. තමන්ට උරුම වූ සිංගප්පූරුවට හෝ තම අසල්වැසි රටවල් වූ මැලේසියාව සහ ඉන්දුනීසියාවට සාපේක්ෂව, එකල ලංකාව සතු වූ සම්පත්, යටිතල පහසුකම් සහ ආයතනික ව්‍යුහය සම්බන්ධයෙන් පැවති ප්‍රගතිය පිළිබ ඳව ද ඔහු එහිදී විශේෂයෙන් සඳහන් කර ඇත.

සිංගප්පූරුව තමන්ට ස්වභාවික සම්පත් නොමැති වීමේ අඩුව පියවාගැනීමට කටයුතු කරනු ලැබුවේ සේවා අංශය උපායමාර්ගිකව ව්‍යාප්ත කිරීමෙනි. ඉන්දුනීසියාව සහ මැලේසියාව තම රටවල සංවර්ධනය වේගවත් කිරීම සඳහා ස්වභාවික සම්පත් දැඩි ලෙස උපයෝගී කරගනු ලැබීය.




මෙම උපායමාර්ග තුනෙහිම හැකියාවන්ගෙන් පරිපූර්ණය වූ ශ්‍රී ලංකාව, ඉන් එකදු උපායමාර්ගයක්වත් ස්ථාවර ප්‍රතිපත්තියකින් යුතුව අනුගමනය කළේ නැත. මෙම රට නැවත නැවතත් වාණිජමය අවස්ථාවන් කලින්ම හඳුනාගෙන, එහි විශ්වාසදායක මට්ටමක් ගොඩනඟා ගත්තද, ඉන් අනතුරුව එය මහා පරිමාණයෙන් ඉදිරියටම රැගෙන යා යුතු අවසාන සහ තීරණාත්මක අවස්ථාවේදී පසුබට විය. අවසානයේදී තීරණාත්මක භාවයක් පැමිණියද, එය බොහෝ විට යෙදවෙන්නේ ව්‍යාපෘති ගොඩනැඟීමට නොව, දැනට පවතින මුලපිරීම් අත්හිටුවීමට සහ තහනම් කිරීමටය. එම අවාසනාවන්ත ක්‍රියාවලිය මනාව පැහැදිලි කරන මෑතකාලීන සහ පැහැදිලිම උදාහරණය වන්නේ මෙරට කටුපොල් වගාවයි.

ආසියානු කටුපොල් වගාවේ වර්ධනීය ගමන් මඟ

ඉන්දියානු කැබිනට් මණ්ඩලය විසින් ‘ආහාරයට ගත හැකි තෙල් සඳහා වූ ජාතික මෙහෙයුම – කටුපොල්’ (National Mission on Edible Oils – Oil Palm) අනුමත කරන ලද අතර, 2025-26 වන විට අතිරේක හෙක්ටයාර ලක්ෂ 6.5ක් මෙම වගාව යටතට පත් කිරීම සඳහා රුපියල් කෝටි 11,040ක් වෙන් කිරීමටද කටයුතු කරන ලදී. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව යන විදේශ විනිමය පීඩනය හමුවේ ආහාරයට ගත හැකි තෙල් ශුද්ධ වශයෙන් ආනයනය කළ රටවල් වූ අතර, එකම වගාවක්, එකම වෙළෙඳපොළක් සහ ජාත්‍යන්තර සාක්ෂි පිළිබඳ එකම දත්ත සමුදායක් අධ්‍යයනය කරමින් සිටි රටවල් විය.

මැලේසියාව කටුපොල් වගාවට පිවිසියේ රබර් කර්මාන්තය අඩපණ වෙමින් පැවති බැවිනි. 1960 දශකයේ මුල් භාගය වන විට, ලෝක වෙළෙඳපොළේ මිල පහත වැටීම සහ කෘතිම රබර්වලින් පැමිණි දැඩි තරඟකාරිත්වය හේතුවෙන් මැලේසියානු ආර්ථිකයට ස්වභාවික රබර් මත පමණක් යැපීම අතිශය දුශ්කර විය. 1955 දී ලෝක බැංකු දූත පිරිසක් විසින් ආර්ථිකය විවිධාංගීකරණය කිරීමට නිර්දේශ කළ අතර, රජය ඒ අනුව ක්‍රියාත්මක විය.

මේ සඳහා යොදාගත් ප්‍රධාන මෙවලම වූයේ ග්‍රාමීය දරිද්‍රතාවය තුරන් කිරීමේ අරමුණින් 1956 දී පිහිටුවන ලද ෆෙඩරල් බිම් සංවර්ධන අධිකාරියයි (FELDA). FELDA ආයතනය 1961 දී හෙක්ටයාර 375 ක භූමියක සිය ප්‍රථම කටුපොල් ව්‍යාපෘතිය ආරම්භ කළේය. එහිදී පාංශු සිතියම්කරණය මඟින් බෑවුම් සහිත භූමි සහ තද පස් සහිත ප්‍රදේශ මඟහරිමින් ජනාවාස පිහිටුවීමට පියවර ගැනුණි. රජය විසින් වගා ද්‍රව්‍ය සපයන ලද අතර, මධ්‍යම ඇඹරුම්හල්  හරහා නැවුම් කටුපොල් ඵලදාව මිලදී ගැනීම සහතික කළේය. එමඟින් සාමාන්‍යයෙන් සුළු පරිමාණ වගාකරුවන්ට මෙවැනි දිගුකාලීන වගාවලට පිවිසීමට බාධාවක් වන ප්‍රාග්ධන ගැටලුව ඉවත් කිරීමට මැලේසියාව කටයුතු කරනු ලැබුවේ කටුපොල් සංවර්ධනයේ භෝගයක් බවට පත් කර ගනිමිනි.

එහි ප්‍රතිඵලයක් ලෙස 1966 දී මැලේසියාව, බොර කටුපොල් තෙල් (crude palm oil) අපනයනයෙන් ලොව ප්‍රමුඛයා වූ නයිජීරියාව අභිබවා ගිය අතර, 1989 වන විට කටුපොල් වගාව රබර් වගාවද අභිබවා යමින් එරට ප්‍රධාන ආර්ථික භෝගය බවට පත්විය. වගා කළ භූමි ප්‍රමාණය දළ වශයෙන් හෙක්ටයාර 55,000 සිට මිලියන 5.74 දක්වා ඉහළ ගිය අතර, ජාතික දරිද්‍රතාවය 1970 දී පැවති 49.3% සිට 2019 වන විට 5.6% දක්වා පහත වැටුණි. මෙය තනි මැලේසියානු රජයකින් කළ දෙයක් නොවේ. එය ගොඩනැඟුණේ එකින් එක පත් වූ රජයන් රැසක් මෙම ප්‍රතිපත්තිය ආපස්සට නොහරවමින් ඒකායන අරමුණක් වෙනුවෙන් කටයුතු කිරීම හේතුවෙනි.

ඉන්දුනීසියාව තවත් ඉදිරියට යමින්, 1986 සිට මෙරටට සංක්‍රමණය වූ පවුල් කෘෂිකාර්මික යෙදවුම් සහ ඇඹරුම් පහසුකම් සපයන ආයතනික වතු වටා පදිංචි කරවීම සඳහා මෙම භෝගය යොදා ගනු ලැබීය. ඒ අනුව 1990 දී හෙක්ටයාර මිලියන 1.1 ක්ව පැවති වගා බිම් ප්‍රමාණය 2021 වන විට මිලියන 15 කට වඩා වැඩි කිරීමට ඔවුහු සමත් වූහ.

කෙසේ වෙතත්, ආරම්භයේදී මෙම රටවල් දෙකෙහිම සිදු වූ වගා ව්‍යාප්තිය දැඩි වනාන්තර විනාශයකට හේතු විය. කටුපොල් තෙල් මෙවැනි අපකීර්තියකට ලක්වීමට හේතුව එම අතීත වාර්තාවයි. මේ නිසා අද දවසේ මෙම වගාවට පිවිසෙන ඕනෑම රටක්, එම වැරැද්ද නැවත කළත් නැතත්, ඒ අපකීර්තිය අත් විඳිය යුතුය. ශ්‍රී ලංකාව ඉන් අනතුරුව සිදු කළ දේ, එයට ලැබිය යුතු ප්‍රමාණයට වඩා අඩු අවධානයක් ලැබීමට සැබෑ හේතුව එයයි.

ශ්‍රී ලංකාවේ තත්ත්වය

ශ්‍රී ලංකාවේ වාණිජමය කටුපොල් වගාව ආරම්භ වූයේ 1968 වසරේදීය. ඒ, යුරෝපීය ජාතික වතු පාලකයෙකු විසින් ගාල්ල නාකියාදෙණිය වතුයායේ හෙක්ටයාර භාගයක භූමියක කටුපොල් පැල 68ක් වගා කිරීමත් සමඟය. එය වර්තමානය වන විට තවදුරටත් ව්‍යාප්ත වී පවතී. එලෙස ප්‍රාදේශීය වතු සමාගම් (RPC) කටුපොල් වගාව කෙරෙහි යොමු වූයේ, වයස්ගත වීම නිසා තවදුරටත් ලාභදායී අස්වැන්නක් ලබා නොදෙන සහ ක්‍රමයෙන් පාඩු ලබන තත්ත්වයට පත් වූ රබර් වගාව වෙනුවට විකල්පයක් සෙවීමේ ප්‍රතිඵලයක් වශයෙනි.

මෙහි කෘෂිකාර්මික පාරිසරික තත්ත්වයන් ද ශ්‍රී ලංකාවට ආවේණික වන අතර එයද මෙම වගාවන්ට විශේෂයෙන් බලපානු ලබයි. හොඳින් වැඩුණු කටුපොල් ගසක වාර්ෂික ජල අවශ්‍යතාවය මිලිමීටර 1,300ක් පමණ වන විට, ශ්‍රී ලංකාවේ කටුපොල් වගා කර ඇත්තේ වසරකට මිලිමීටර 3,500 සිට 5,000කට වඩා වැඩි වර්ෂාපතනයක් ලබන තෙත් කලාපයකය. රබර් වගාවේදී මුහුණ දෙන ගැටලුව මෙහි ප්‍රතිවිරුද්ධ පැත්තයි. මන්ද, එම අධික වර්ෂාපතනය හේතුවෙන් රබර් කිරි කැපීමේ දින ගණන සීමා වන අතර, එයින් ලැබෙන ආදායම ද පහත වැටේ. නාකියාදෙණිය වතුයාය 2020 වසරේදී ‘තිරසාර ෆාම් ඔයිල් පිළිබඳ වටමේස සංසදය’ (RSPO) මඟින් සහතික කරන ලදී. දකුණු ආසියාවේ එවැනි සහතිකයක් ලැබූ ප්‍රථම අවස්ථාව මෙයයි. එමඟින් වර්තමානයේ ජාත්‍යන්තර සහතිකකරණ ක්‍රමයන් විසින් මුළු කලාපයම යොමු කිරීමට උත්සාහ කරන ඉලක්කගත මට්ටමට, දශක කිහිපයකට පෙරදීම ළඟා වීමට ශ්‍රී ලංකාවට හැකි විය.

2016 වසරේදී රජය විසින් මෙම වගාව හෙක්ටයාර 20,000ක් දක්වා ව්‍යාප්ත කිරීමට අනුමැතිය ලබා දෙන ලදී. නමුත්, සුළු පරිමාණ වගාකරුවන්ට කර්මාන්තයේ කේන්ද්‍රීය ස්ථානයක් හිමි වූ මැලේසියාව, ඉන්දුනීසියාව සහ ඉන්දියාව වැනි රටවල් මෙන් නොව, ශ්‍රී ලංකාවේ මෙම වගාව ප්‍රාදේශීය වතු සමාගම්වලට පමණක් සීමා විය. තේ, රබර්, පොල් සහ කුළුබඩු යන සෑම වගාවකදීම සුළු පරිමාණ වගාකරුවන්ට දායක වීමට අවස්ථාව ඇති අතර, එමඟින් ග්‍රාමීය මට්ටමින් ජනතාවට ආදායම් මාර්ග බිහි වේ. කෙසේ වෙතත්, කටුපොල් වගාව තුළ එවැනි අවස්ථාවක් නොතිබූ අතර, සාමාන්‍ය ජනතාව එම ක්‍රියාවලියෙන් බැහැර කිරීම හේතුවෙන් පසුව මෙම වගාවට එරෙහිව සමාජය තුළ දැඩි විරෝධයක් ගොඩනැඟීමට ප්‍රධානතම පදනම විය.

 

අරමුණක් නොමැති වෙනස් වීමේ අභියෝගය

කටුපොල් කර්මාන්තයෙන් සාමාන්‍ය ජනතාව ආර්ථික වශයෙන් බැහැර කිරීමේ ගැටලුව, පසුව බිම් මට්ටමේ මහජන විරෝධතා ලෙස කරළියට පැමිණි අතර, ඒ සඳහා ඉදිරිපත් කෙරුණු හේතු ප්‍රධාන වශයෙන් කේන්ද්‍රගත වූයේ ගිනිකොනදිග ආසියාවේ කටුපොල් වගා ව්‍යාප්තිය නිසා සිදු වූ පාරිසරික හානිය මතය. 2018 වන විට මධ්‍යම පරිසර අධිකාරිය විසින් එම චෝදනා නිල වාර්තාවක් මඟින් තහවුරු කළ අතර, භූගත ජලය සිඳී යාම, දේශගුණික රටා වෙනස් වීම, පස් තද වීම සහ ජෛව විවිධත්වය නැති වී යාම වැනි ගැටලුවලට හේතුව මෙම වගාව බවට එහිදී ප්‍රකාශ කෙරුණි. කෙසේ වෙතත්, එම ප්‍රකාශයන් සනාථ කිරීම සඳහා දේශීය වශයෙන් කිසිදු විද්‍යාත්මක අධ්‍යයනයක් සිදු කර නොතිබුණි. ඒ අනුව, ආර්ථිකමය ප්‍රශ්නයක් දේශපාලනික ප්‍රශ්නයක් බවට පරිවර්තනය විය.

මෙම වාර්තාව සකස් කිරීමේදී දේශීය පර්යේෂණ නොසලකා හරිමින්, වෙනත් භූගෝලීය කලාපවලින් ලබාගත් ද්විතීයික දත්ත මත විශාල වශයෙන් යැපී ඇති බව කර්මාන්ත හා ශාස්ත්‍රීය ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ පෙන්වා දෙති. වසර පනහකට වැඩි කාලයක් අඛණ්ඩව වගා කටයුතු සිදු කෙරෙන නාකියාදෙණිය වතුයායේ දිගුකාලීන නිරීක්ෂණ දත්ත දෙස බැලීමේදී, භූගත ජල මට්ටම පහත වැටීම පිළිබඳ කිසිදු සාක්ෂියක් දක්නට නොලැබේ. එසේ වුවද, 2021 අප්‍රේල් මාසයේදී රජය විසින් මෙම වගාව තහනම් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කළ අතර, දැනට පවතින වගාවන් ක්‍රමයෙන් ගලවා ඉවත් කිරීමට ද නියෝග කළේය. මෙහි ප්‍රතිඵලයක් ලෙස පැල තවාන් සඳහා කරන ලද ආයෝජනවලින් පමණක් දළ වශයෙන් රුපියල් මිලියන 350 කට ආසන්න මුදලක් විනාශයට ලක් විය.

ඉන්දියාවට මෙම ශාකය ප්‍රථම වරට හමු වූයේ 1886 දී කල්කටාවේ උද්භිද විද්‍යාත්මක නිදර්ශකයක් වශයෙනි. ඒ පිළිබඳව ක්‍රියාත්මක වීමට ඔවුන්ට සියවසකට ආසන්න කාලයක් ගත විය. නමුත් ඉන් පසුව ඔවුහු වේගයෙන් ඉදිරියට ගියහ. 2021-22 සහ 2025-26 කාලය තුළ ඔවුන් අලුතින් හෙක්ටයාර 273,000ක් එක් කළ අතර, ඒ අනුව 2026 මාර්තු 31 වන විට මුළු වගා බිම් ප්‍රමාණය හෙක්ටයාර 640,000 දක්වා ඉහළ නංවා ගැනීමටත්, ඇඹරුම් හල් 27ක් හරහා බොර කටුපොල් තෙල් මෙටි්‍රක් ටොන් මිලියන 2.01ක් නිෂ්පාදනය කිරීමටත් ඔවුහු සමත් වූහ.

එය ඔවුන්ගේ මුල් ඉලක්කයෙන් 42%ක් පමණක් වුවද, තමන්ගේම අභිලාෂයන්ට වඩා බෙහෙවින් පසුපසින් සිටි එම වැඩසටහන මඟින් වසර පහක් ඇතුළත වගා කරන ලද භූමි ප්‍රමාණය, ශ්‍රී ලංකාව වසර පනස් අටක් තිස්සේ වගා කළ මුළු භූමි ප්‍රමාණයට වඩා වැඩිය. එමෙන්ම ඔවුන්ට මුල් ඉලක්කයට ළඟා වීම සඳහා අඩුවක්ව පැවති ප්‍රමාණය පමණක් ගත්තද, මෙරට සමස්ත වගා බිම් ප්‍රමාණය මෙන් තිස් ගුණයකට වඩා වැඩිය.

 

වටිනාකම හඳුනා නොගැනීම

කටුපොල් වගාව විසින් ලෝකයේ තෙල් බීජ වගා කරන භූමියෙන් භාවිත කරන්නේ 5.5%ක් වැනි සුළු ප්‍රමාණයක් වුවද, ලෝකයේ සමස්ත තෙල් සහ මේද නිෂ්පාදනයෙන් 32%කට වඩා වැඩි ප්‍රමාණයක් නිපදවයි. මේ නිසා කටුපොල් වෙනුවට වෙනත් ඕනෑම විකල්ප භෝගයක් ආදේශ කිරීමෙන් සිදු වන්නේ වගා බිම් ප්‍රමාණය අඩු වීම නොව, එය තවදුරටත් ඉහළ යාමයි. ඉන්දුනීසියාව, මැලේසියාව සහ ඉන්දියාව යන රටවල් මෙම වගාව දෙස බැලුවේ තාක්ෂණික විසඳුම් අවශ්‍ය වන ආහාර සුරක්ෂිතතාව පිළිබඳ ගැටලුවක් ලෙසය. ඔවුන්ගේ ප්‍රතිචාර විවිධ අයුරින් පරිපූර්ණ නොවූවත්, ඔවුන් සියල්ල තීරණ ගත්තේ රාජ්‍ය ප්‍රතිපත්ති සහ විද්‍යාත්මක පදනම මත පිහිටමිනි. නමුත් ශ්‍රී ලංකාව මෙම ප්‍රශ්නය හැඟීම්බර තරඟකාරීත්වයක් බවට පරිවර්තනය කළ අතර, ආනයනික ආහාරයට ගත හැකි තෙල් මත දිගින් දිගටම යැපෙමින් රටේ විදේශ විනිමය පිටතට ගලා යාමට ඉඩ හරින අතරතුර, එම හැඟීම්බර තීන්දුව පාරිසරික ප්‍රතිපත්තියක් ලෙස අර්ථකථනය කළේය.

විශේෂඥ කමිටුවක් විසින් මේ වන විට මෙම තහනම ඉවත් කිරීමට නිර්දේශ කර ඇත. එය නිවැරදිව සිදු කිරීම යනු, ජාතික මට්ටමින් නිශ්චිතව නිර්වචනය කරන ලද භූමි ප්‍රමාණයකට පමණක් මෙම වගාව සීමා කිරීම සහ දේශීය පර්යේෂණ දත්ත ප්‍රසිද්ධ කිරීමයි. එවිට මීළඟ සමාලෝචනයක් සාක්ෂි මත පදනම්ව තීරණය කළ හැකිය.

මෙහි ඇති කිසිදු කරුණක් අලුත් ඒවා නොවේ. මේවා මෙම සංසන්දනයට ලක් වූ සෙසු රටවල් විශාල පිරිවැයක් දරා ඉගෙන ගත් පාඩම් වන අතර, එම වැරදි නැවත නොකර ඒවායින් ප්‍රයෝජන ගැනීමට අපට අවස්ථාව ඇත. මෙතෙක් අප සතුව අඩු වී තිබුණේ තීරණාත්මකව ක්‍රියා කිරීමට ඇති කැමැත්ත සහ එම තීරණයෙන් ලැබෙන ප්‍රතිඵල ශීඝ්‍රයෙන් වර්ධනය වන තෙක් එය වෙනස් නොකර දිගුකාලීනව පවත්වාගෙන යාමයි.



ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව