රොෂාන් මහානාම සහ උමාරියා සිංහවංශ ශ්‍රී ලංකාවේ SOS ළමා ගම්මාන සංවිධානයේ තානාපතිවරුන් ලෙස යළි පත්වෙති

Capture

දෙමාපිය රැකවරණය අහිමි වූ හෝ එවැනි අවදානමකට මුහුණ දී සිටින දරුවන්ගේ ආරක්ෂාව සහ යහපැවැත්ම තහවුරු කිරීම සඳහා වන කැපවීම යළි තහවුරු කරමින්, රොෂාන් මහානාම සහ උමාරියා සිංහවංශ ශ්‍රී ලංකාවේ SOS ළමා ගම්මාන සංවිධානයේ තානාපතිවරුන් ලෙස කටයුතු කිරීමේ එකඟතාව නැවත අලුත් කිරීමට පසුගියදා පියවර ගත්හ. ඊට අදාළ ගිවිසුමට අත්සන් තැබීම පසුගියදා රොෂාන් මහානාම භාරයේදී සිදු විය.

ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයකු මෙන්ම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ තරග තීරකවරයකු ලෙසද කටයුතු කළ රොෂාන් මහානාම දශකයකට අධික කාලයක් පුරා ශ්‍රී ලංකාවේ SOS ළමා ගම්මාන සංවිධානයේ මෙහෙවර උදෙසා සිය දායකත්වය ලබා දී තිබේ. එමෙන්ම සම්මානලාභී ගායන ශිල්පිනියක සහ රංගන ශිල්පිනියකද වන උමාරියා සිංහවංශ, ශ්‍රී ලංකාවේ SOS ළමා ගම්මාන සංවිධානයේ තානාපතිවරියක ලෙස සිය පළමු වසර තුළ ලබා දුන් සුවිශේෂී දායකත්වයෙන් අනතුරුව නැවතත් එම මෙහෙවර වෙනුවෙන් ගිවිසුම්ගත වී සිටී. තමන් සතු ජනප්‍රියත්වය ඔස්සේ, ශ්‍රී ලංකාවේ දරු පරපුරේ අනාගතය සුරක්ෂිත කිරීම වෙනුවෙන් සෑම ශ්‍රී ලාංකිකයකුගේම සහයෝගය ලබා ගැනීම සඳහා ඔවුන් දෙදෙනාම කැප වී සිටිති.




ඔවුන්ගේ දායකත්වය මහජනතාව දැනුවත් කිරීමට පමණක් සීමා නොවේ. මෙම තානාපතිවරුන් දෙදෙනාම SOS ළමා ගම්මාන වෙත ගොස් එහි දරුවන් සමඟ කාලය ගතකරති. ඔවුන්ගේ අදහස්වලට සවන් දෙති. එමෙන්ම දරුවන්ගේ අයිතිවාසිකම්, ආරක්ෂාව හා යහපැවැත්ම තහවුරු කිරීම වෙනුවෙන් පෙනී සිටින ඔවුහු, දිවයින පුරා දරුවන් සහ තරුණ තරුණියන් වෙනුවෙන් ශ්‍රී ලංකාවේ SOS ළමා ගම්මාන සංවිධානය ක්‍රියාත්මක කරන වැඩසටහන් සඳහා අරමුදල් රැස් කිරීමේ කටයුතුවලටද සහය වෙති. මෙම ක්‍රියාකාරකම් මඟින් දෙමාපිය රැකවරණය අහිමි දරුවන් මුහුණ දෙන සැබෑ තත්ත්වයන් පිළිබඳව මහජනතාවට නිවැරදි අවබෝධයක් ලැබෙන අතරම, දරුවන් තුළද තමන්ට නිසි අවධානය, ආදරය හා රැකවරණය හිමි වන බවට හැඟීමක් ඇති වේ.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ SOS ළමා ගම්මාන සංවිධානයේ ජාතික අධ්‍යක්ෂ දිවාකර් රත්නදුරෙයි මහතා මෙසේ අදහස් දැක්වීය:

“රොෂාන් සහ උමාරියා අපගේ මෙහෙවර වෙනුවෙන් හුදෙක් නාමිකව පමණක් ඉදිරිපත් වන්නන් නොවෙයි.  ඔවුන් අපගේ දරුවන් වෙනුවෙන් සැබෑ ලෙසම, මුළු හදවතින්ම පෙනී සිටිනවා. අපගේ ළමා ගම්මාන වෙත පැමිණෙමින්, දරුවන්ට සවන් දෙමින් ඔවුන් ඉටුකරන මෙහෙවර නිසා, තමන් පිළිබඳව සැලකිලිමත් වන පිරිසක් සිටින බවට සෑම දරුවකු තුළම හැඟීමක් ඇති වෙනවා. මෙම තානාපතිවරුන් යළි පත්වීම යනු, සෑම දරුවකුටම ආදරය, රැකවරණය සහ ගෞරවය සමඟ හැදීවැඩීමට අවස්ථාව හිමි විය යුතු බවට අප දරන විශ්වාසය තවදුරටත් ශක්තිමත් වීමක්. එමෙන්ම සමාජයේ ඉහළ පිළිගැනීමක් ඇති මෙවැනි පුද්ගලයන් අප සමඟ එක් වීම තුළින් තවත් පුද්ගලයන්, සමාගම් හා සංවිධානද අප සමඟ එක් වීමට පෙළඹෙනු ඇති බවට සැකයක් නෑ.”

මෙය අර්ථවත් සමාජ සත්කාරයන් උදෙසා ජනතාවගේ අවධානය දිනාගැනීමේදී ජනප්‍රිය පුද්ගලයන්ට ඉටු කළ හැකි කාර්යභාරය මැනැවින් පිළිබිඹු කරන පියවරකි. මෙබඳු සමාජ සත්කාරයන් තුළදී සෑම කෙනෙකුම ඉටු කළ යුතු භූමිකාවක් ඇත. අරමුණු යථාර්ථයන් බවට පත් කළ හැක්කේ එම භූමිකාවන් සාර්ථක ලෙස ඉටු කිරීම තුළිනි. ඒ ඔස්සේ කිසිදු දරුවෙකුට අසාධාරණයක් සිදු නොවන, සෑම දරුවෙකුටම ආදරය හා රැකවරණය හිමි වන අනාගතයක් නිර්මාණය කළ හැකි වේ.  එබඳු අනාගතයක් නිර්මාණය කිරීම සඳහා එක්වන මෙන් මෙම තානාපතිවරු රටේ පුරවැසියන් සියලුම දෙනාගෙන් ඉල්ලා සිටිති.

ශ්‍රී ලංකාවේ SOS ළමා ගම්මාන සංවිධානය 1981 වසරේ සිටම මෙරට දෙමාපිය රැකවරණය අහිමි වූ දරුවන්ට පවුලක රැකවරණයට සමාන ආදරයක් සහ රැකවරණයක් දීර්ඝකාලීනව ලබාදීමට පියවර ගෙන තිබේ. එම සංවිධානය මේ වන විට ශ්‍රී ලංකාව තුළ ළමා ගම්මාන 6 ක් පිහිටුවා ඇති අතර, එහි පවුල් ශක්තිමත් කිරීමේ වැඩසටහන් ප්‍රදේශ 11 ක ක්‍රියාත්මක වේ. දරුවන්ට සහ නව යොවුන් තරුණ තරුණියන්ට ආදරය, ගෞරවය සහ රැකවරණය මධ්‍යයේ ජීවත් වීමට මෙන්ම, අනාගතය සාර්ථක කරගැනීමට අවශ්‍ය පසුබිම සකස් කිරීමටද එම සංවිධානය කටයුතු කරයි. එහි ප්‍රජා සත්කාරයන් තුළින් මේ දක්වා ප්‍රතිලාභ හිමි වී ඇති පිරිස 50,000 කට අධිකය. රොෂාන් මහානාම සහ උමාරියා සිංහවංශ ශ්‍රී ලංකාවේ SOS ළමා ගම්මාන සංවිධානයේ තානාපතිවරුන් ලෙස මෙම සියලු සමාජ සත්කාරයන් සඳහා සිය පූර්ණ සහයෝගය සහ දායකත්වය ලබාදෙති.



ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

2 × 3 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව