‘Mark and Comm’ ආයතනය විසින් ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය වෘත්තියේ වෙනස්වන ප්‍රවණතා සහ අභියෝග විමසුමට ලක් කරමින් ‘State of Journalism 2026’ වාර්තාව එළිදක්වයි

Image - Survay (LBN)

 Mark and Comm’ ආයතනය විසින් දෙවන වරටත් පවත්වනු ලබන ‘ශ්‍රී ලාංකේය මාධ්‍යයේ හඬ’ (Sri Lanka Media’s Voice) සමීක්ෂණය තුළින් මෙරට ජනමාධ්‍යවේදීන්ගේ වෘත්තීය අභිමානය, කෘත්‍රිම බුද්ධිය (AI) සහ ඩිජිටල් තාක්ෂණය පිළිබඳ දැනුම හා කුසලතා වර්ධනය කරගැනීමට ඔවුන් තුළ පවතින උනන්දුව මෙන්ම වැටුප්, රැකියා සුරක්ෂිතතාව සහ මාධ්‍ය වෘත්තීයට අදාළ අභියෝග රැසක් පිළිබඳව අවධානය යොමු කර තිබේ.




එම ආයතනය විසින් මෑතකදී ප්‍රකාශයට පත් කරන ලද ‘ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යකරණයේ වත්මන් තත්ත්වය’ (State of Journalism in Sri Lanka 2026) වාර්තාවට අනුව, වසරකට පෙර පැවති තත්ත්වය හා හා සැසඳීමේදී වර්තමානය වනවිට ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යවේදීන් සතු සිය වෘත්තිය පිළිබඳ අභිමානය සහ ගෞරවය ඉහළ ගොස් තිබේ. පසුගිය වසරේ පැවැත්වූ සමීක්ෂණයේ දී, ජනමාධ්‍යකරණය මෙරට ගෞරවනීය වෘත්තියක් ලෙස පිළිගත් පිරිස ප්‍රතිශතයක් වශයෙන් 55%ක් ලෙස සටහන් ව තිබූ අතර, එය මෙවර 77%ක් දක්වා සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබේ. එමෙන්ම, ජනමාධ්‍ය වෘත්තියේ අනාගතය පිළිබඳ අසුබවාදී ආකල්ප දරන මාධ්‍යවේදීන්ගේ ප්‍රතිශතය ද පහළ ගොස් තිබීම මෙහිදී කැපී පෙනුනි. සාම්ප්‍රදායික ජනමාධ්‍යකරණය ක්‍රමක්‍රමයෙන් අභාවයට පත් වෙමින් යන බව විශ්වාස කරන පිරිස පසුගිය වසරේ දී 43%ක් ලෙස වාර්තා වූ අතර,  මෙවර එහි ප්‍රතිශතය 25%ක් දක්වා පහළ ගොස් තිබේ.

2026 නොවැම්බර් 18 වන දින, Mark and Comm ආයතනයේ කණ්ඩායමක් ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞශල්‍යා ආරියරත්න මහත්මිය හමුවී, මෙම පර්යේෂණ වාර්තාව ඇය වෙත පිළිගන්වන ලදී. එහිදී  එම වාර්තාව පිළිබඳ සාකච්ඡාවක් ද ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්විය. එම අවස්ථාවේ දී අදහස් දැක්වූ  ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න මහත්මිය ප්‍රකාශ කොට සිටියේ, මෙවැනි පර්යේෂණ සිදු කිරීම ප්‍රතිපත්ති සම්පාදකයන් වන අපට ඉතා වැදගත් වන බවයි. එමඟින් මාධ්‍යවේදීන් මුහුණ දෙන සැබෑ අභියෝග සහ ඔවුන්ට අවශ්‍ය සහයෝගය පිළිබඳව ඔවුන්ගෙන්ම සෘජුවම තොරතුරු දැනගැනීම තුළින් වඩාත් පැහැදිලි අවබෝධයක් ලබාගත හැකි බව පෙන්වා දුන් ඇය වැඩිදුරටත් සඳහන් කළේ, මාධ්‍ය ක්ෂේත්‍රය පිළිබඳ වඩාත් පුළුල් අවබෝධයක් ඇතිව නිවැරදි තීරණ ගැනීමට ද එය උපකාරී වන බවයි.

මෙම වාර්තාව Mark and Comm ආයතනය විසින් සේවයේ නියුතු ජනමාධ්‍යවේදීන් කේන්ද්‍ර කරගනිමින්  සිදු කරන වාර්ෂික සමීක්ෂණයේ දෙවන අදියරයයි. සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන්ම මුද්‍රිත, විද්‍යුත් සහ ඩිජිටල් මාධ්‍යයන්හි සේවය කරන වාර්තාකරුවන්, කර්තෘවරුන්, නිෂ්පාදකවරුන් සහ නිදහස් මාධ්‍යවේදීන් 44 දෙනෙකුගේ ප්‍රතිචාර මෙම වාර්තාව සඳහා පාදක කරගෙන ඇත. ඒ අනුව මෙම සමීක්ෂණය 2026 සැප්තැම්බර් මාසයේ දී සිදු කරන ලදී.

 

මෙම සමීක්ෂණයට අනුව බොහෝ ජනමාධ්‍යවේදීන්, සිය රැකියාව පිළිබඳව ධනාත්මක ආකල්ප වලින් පසුවන බව පෙන්නුම් කරන අතර ඊට ප්‍රතිචාර දැක්වූවන්ගෙන් 56% ක් සිය රැකියා සුරක්ෂිතභාවය පිළිබඳව සෑහීමකට පත් වී තිබේ. එමෙන්ම 48% ක් සිය භූමිකාවන් පිළිබඳව තෘප්තිමත් බව පෙන්නුම් කරයි. නමුත් තෘප්තිමත් නොවන පිරිස පිළිබඳ විමසා බැලීමේ දී, එහි අගය 18% ක් ලෙස සටහන් වේ. තරුණ පරපුරට වෘත්තියක් ලෙස ජනමාධ්‍යවේදය තවමත් නිර්දේශ කරන බව තිදෙනෙකුගෙන් දෙදෙනෙකු පැවසුවත්, ඔවුන්ගෙන් බහුතරයක් පෙන්වා දෙන්නේ මෙම වෘත්තිය තෝරා ගැනීමට පෙර ඒ පිළිබඳව මනා අවබෝධයකින් පසුවිය යුතු බවයි.

 

මෙරට ජනමාධ්‍යවේදීන්ගෙන් 80%ක් පමණ මේ වනවිටත් සිය වෘත්තීය කටයුතු සඳහා කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය යොදාගනිමින් සිටියි. ඉන් තුනෙන් එකක් පමණ පර්යේෂණ, ලිපි සැකසීම සහ සංස්කරණය වැනි කාර්යයන් සඳහා AI තාක්ෂණය නිරන්තරයෙන් භාවිත කරන අතර, තවත් 45%ක පිරිසක් නිශ්චිත කාර්යයන් සඳහා පමණක් එම තාක්ෂණය උපයෝගී කරගන්නා බවට අනාවරණය වී තිබේ. ඒ අනුව AI මෙවලම් සමඟ වැඩ කිරීමට තමන් හොඳින් සූදානම් බව පවසන්නේ 43% ක් පමණි. තවත් 43% ක් ඒ සම්බන්ධව වැඩිදුර පුහුණුවක් ලබා ගැනීමට කැමැත්ත පළ කර තිබුණ ද කෘත්‍රිම බුද්ධි තාක්ෂණය භාවිත කිරීම සඳහා තමන් සූදානම් නොමැති බව 7%ක් පමණ ප්‍රකාශ කර තිබේ. සිය වෘත්තීය හැකියාවන් වර්ධනය කරගැනීම සඳහා වඩාත් වැදගත් ක්ෂේත්‍රයක් ලෙස ඩිජිටල් හා බහුමාධ්‍ය ජනමාධ්‍යකරණය ප්‍රතිචාර දැක්වූවන්ගෙන් අඩකට ආසන්න පිරිසක් විසින් හඳුනාගෙන තිබෙන අතර විධිමත් පුහුණුවක් ලබාගැනීමට අවශ්‍යතාව සහ උනන්දුව පැවතිය ද, ඒ සඳහා මෙතෙක් අවස්ථාවක් නොලැබුණු බව ප්‍රතිචාර දැක්වූවන්ගෙන් 36%ක් සඳහන් කර තිබේ.

 

ඉහත සඳහන් කළ කරුණු කාරණාවලට අමතරව  ස්වාධීන ස්වයං-නියාමන ආයතනයක් ස්ථාපිත කිරීම හරහා විශ්වසනීයත්වය සහ නිරවද්‍යතාව පිළිබඳ ප්‍රමිතීන් තවදුරටත් ශක්තිමත් කළ යුතු බවට 70%ක පිරිසක් අපේක්ෂා කරයි. දැනටමත් ස්වයං-නියාමන ක්‍රමවේදයක් ක්‍රියාත්මක වුව ද, එය තවදුරටත් වැඩිදියුණු කිරීමේ අවශ්‍යතාව පවතින බව 58%ක් පෙන්වා දෙයි. මෙහිදී, කරුණු සත්‍යාපනයේ දුර්වලතා (fact-checking) සහ සාවද්‍ය තොරතුරු ප්‍රචාරය වීම ප්‍රධානතම ආචාරධාර්මික ගැටලුව ලෙස 61%ක් විසින් හඳුනාගෙන තිබේ. ඊට අමතරව, සංවේදීකරණය (sensationalism) සහ පක්ෂග්‍රාහී වාර්තාකරණය ද සැලකිය යුතු ආචාරධාර්මික ගැටලු ලෙස 57%ක් විසින් පෙන්වා දී තිබේ. මෙරට ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ නියැලෙන වෘත්තිකයන් සිය වෘත්තියට සමාජයේ ගෞරවයක් හිමිවන බව පිළිගත්ත ද, මහජනතාවගේ පූර්ණ විශ්වාසය සහ ඇගයීම තමන්ට ලැබෙන බව විශ්වාස කරනුයේ ඔවුන්ගෙන් හතරෙන් එකක් පමණි. මේ අනුව, මහජන විශ්වාසය ගොඩනැගීම සඳහා තොරතුරුවල නිවැරදිභාවය තහවුරු කිරීම (verification) තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරන බව මින් මනාව පැහැදිලි වේ.

 

මීට අමතරව, ප්‍රතිචාර දැක්වූවන්ගෙන් 73%ක් මාධ්‍ය ආයතනවල පැවැත්මට හා ක්‍රියාකාරීත්වයට බලපාන ප්‍රධාන ගැටලුවක් ලෙස මූල්‍ය ස්ථාවරත්වයක් නොමැතිකම හඳුනාගෙන තිබේ. මෙහිදී හතරෙන් තුනකට ආසන්න පිරිසක් සිය සේවය වෙනුවෙන් වැටුප් ලබාගැනීමේ ප්‍රමාදයන්ට මුහුණ දී ඇති බව  සඳහන් කර තිබුණ අතර සාධාරණ හා කාලෝචිත වැටුප් ගෙවීම මාධ්‍ය ක්ෂේත්‍රය තුළ සිදුවිය යුතු අත්‍යවශ්‍ය වෙනසක් ලෙස පසුගිය වසරේදී ප්‍රතිචාර දැක්වූවන්ගෙන් 24%ක් හඳුනාගෙන තිබුණි. එය මෙම වසරේ දී 48%ක් දක්වා ඉහළ ගොස් තිබීම විශේෂත්වයකි.  වාර්තාකරණය හේතුවෙන් කිසියම් අවස්ථාවක තර්ජන, බිය ගැන්වීම් හෝ නීතිමය බලපෑම්වලට මුහුණ දී ඇති බව අඩකට ආසන්න පිරිසක් පවසා ඇති අතර, කාන්තා ජනමාධ්‍යවේදීන්ට ආරක්ෂක හෝ සේවා ස්ථාන අවදානම්වලට මුහුණ දීමට සිදුවන බව 73% ක් විශ්වාස කරයි. සිය සේවා ස්ථානය මගින් කිසියම් ආකාරයක මානසික සෞඛ්‍ය උපදේශන සේවා ලබා දෙන බව 63% ක් පැවසුව ද, එය ඵලදායී බව පැවසුවේ 21% ක් පමණි. ඒ අනුව, පවතින වැඩපිළිවෙළ වඩාත් ඵලදායී හා ශක්තිමත් අයුරින් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව මෙයින් අවධාරණය වේ.

 

මෙම සමීක්ෂණය පිළිබඳ අදහස් දක්වමින් Mark and Comm’ ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ තන්සිල් තාජුඩීන් මහතා පවසා සිටියේ, වසර දෙකක් පුරා ජනමාධ්‍යවේදීන්ගේ අදහස්වලට සවන් දීමේ දී අපට එක් සාධනීය කරුණක් නිරීක්ෂණය වූ බවයි. මෙම වෘත්තියේ නියැළී සිටින පුද්ගලයන් ඒ පිළිබඳව තබා ඇති විශ්වාසය මනාව ප්‍රදර්ශනය කරමින්, ඉදිරියේදී ඕනෑම අභියෝගයකට සාර්ථකව මුහුණ දීමට ඔවුන් සූදානම් බවත් වඩාත්ම උපකාරී වන්නේ කුමක්ද යන්න පිළිබඳව ඔවුන් පැහැදිලිව ප්‍රකාශ කර තිබෙන බවත් සාධාරණ සහ නියමිත වේලාවට වැටුප් ගෙවීම, සේවා ස්ථානයේ ආරක්ෂාව සහ නව තාක්ෂණික මෙවලම් හොඳින් භාවිතා කිරීමේ කුසලතා ඒ අතර වන බවත් ඔහු පෙන්වා දුනි. එමෙන්ම ශක්තිමත්, විශ්වසනීය මාධ්‍ය කලාවක් සමාජයේ සෑම කොටසකටම ප්‍රතිලාභ ලබා දෙන අතර මෙම වාර්තාවේ අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහා මාධ්‍ය ආයතන, ප්‍රතිපත්ති සම්පාදකයින්, අධ්‍යාපනඥයින් සහ ජනමාධ්‍යවේදීන් ඇතුළු සියලු පාර්ශ්වයන්ගේ සාමූහික දායකත්වය අපේක්ෂා කරන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

ඒ අනුව මෙම වාර්තාව මඟින් මාධ්‍ය ආයතන, ප්‍රතිපත්ති සම්පාදකයින් සහ වෘත්තියට සම්බන්ධ පාර්ශ්වයන්ට එක්ව කටයුතු කළ හැකි ක්ෂේත්‍ර හයක් හඳුනාගෙන තිබේ. ස්ථිර සහ නිදහස් ජනමාධ්‍යවේදීන් සඳහා සාධාරණ හා නියමිත වේලාවට වැටුප් ගෙවීමේ පිළිවෙත් සහ වෘත්තියේ නියැලෙන කාන්තාවන් ඇතුළු සියලුම ජනමාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව සඳහා ශක්තිමත් ආරක්ෂණ විධිවිධාන සැලසීම ඒ අතර වේ. එමෙන්ම, සේවයේ නියුතු ජනමාධ්‍යවේදීන්ගේ සක්‍රීය සහභාගීත්වයෙන් සකස් කරන ලද වෘත්තීය ප්‍රමිතීන් හඳුන්වාදීම, ඩිජිටල් මාධ්‍ය, බහුමාධ්‍ය සහ කෘත්‍රිම බුද්ධිය (AI) පිළිබඳ ප්‍රායෝගික පුහුණුව ලබාදීම, කරුණු පරීක්ෂා කිරීම හා තොරතුරු තහවුරු කිරීමේ ක්‍රියාවලීන් සඳහා වැඩි ආයෝජනයක් සිදුකිරීම මෙන්ම සේවා ස්ථානය තුළ කාර්යක්ෂමතාව, යහපැවැත්ම වර්ධනය කිරීම මෙන්ම මානසික සෞඛ්‍ය යහපත්ව පවත්වා ගෙන යාම ද ඊට ඇතුළත් වේ.

 



ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව