
පික්මී (PickMe) සන්නාමයේ හිමිකාරීත්වය දරණ ඩිජිටල් මොබිලිටි සොලියුෂන්ස් ලංකා පීඑල්සී (DMSL) සමාගම 2025/26 මූල්‍ය වර්ෂය තුළ, මෙතෙක් ලබා ඇති ඉහළම මූල්‍ය ප්‍රතිඵල වාර්තා කර තිබේ. මාර්තු 31 න් අවසන් වූ මූල්‍ය වර්ෂය තුළ සමාගමේ සමස්ත ආදායම රුපියල් බිලියන 8.7ක් දක්වා ඉහළ ගොස් ඇති අතර එය පෙර වසරේ රුපියල් බිලියන 5.8 සමඟ සැසඳීමේදී සියයට 49ක වර්ධනයකි.
වඩාත්ම වැදගත් කරුණ වන්නේ, මෙම වේදිකාව (Platform) පුළුල් වීම දේශීය ආර්ථිකයට සෘජුවම විශාල දායකත්වයක් සපයා තිබීමයි. සිය පරිශීලකයන්ගේ වාර්තාගත වර්ධනය, සේවාව භාවිතය ඉහළ යාම සහ සියලුම ව්‍යාපාර අංශවල ක්‍රියාකාරකම් පුළුල් වීම මෙම වර්ධනයට ප්‍රධාන හේතුව බව සමාගම පවසයි.
එහි ප්‍රතිඵලයක් ලෙස පික්මී හරහා සිදු වූ සමස්ත ගනුදෙනු වටිනාකම (Gross Transaction Value – GTV), පෙර වසරේ රුපියල් බිලියන 56.9 සිට රුපියල් බිලියන 84.5 දක්වා සියයට 49කින් ඉහළ ගොස් ඇත. මෙම ගනුදෙනු වටිනාකමින් රුපියල් බිලියන 73කට අධික මුදලක් රියදුරන්, බෙදාහැරීමේ හවුල්කරුවන්, සහ වෙළෙඳ ජාලය වෙත සෘජුවම ලබා දීම විශේෂත්වයකි. ශ්‍රී ලංකාවේ ව්‍යවසායකත්ව ජීවනෝපායන් සඳහා තම ඩිජිටල් යෙදුම ප්‍රධාන ආදායම් මාර්ගයක් බවට පත්ව ඇති බව සමාගම පෙන්වා දෙයි.
මෙවසර වාර්තාවේ ඇති සුවිශේෂීම අංගයක් වන්නේ, ශ්‍රී ලංකා ආර්ථිකයට පික්මී සපයන සක්‍රීය දායකත්වය මැනවින් පිළිබිඹු කරමින් වැට් (VAT), සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද (SSCL) සහ ආයතනික බදු (Corporate Tax) වශයෙන් රුපියල් බිලියන 2.7 ක් ජාතික බදු ලෙස ගෙවා තිබීමයි.
සමාගම සිය ලාභදායීත්වයේ ද කැපී පෙනෙන වර්ධනයක් වාර්තා කර ඇති අතර, එහිදී මෙහෙයුම් ලාභය පෙර වසරට සාපේක්ෂව 90% කින්, එනම් රුපියල් බිලියන 1.6 සිට රුපියල් බිලියන 3.1 දක්වා ඉහළ ගොස් ඇත. එමෙන්ම, පෙර මූල්‍ය වර්ෂයේ පැවති රුපියල් බිලියන 1.2 ක ශුද්ධ ලාභය, මෙම වසරේදී 88% කින් රුපියල් බිලියන 2.2 දක්වා ඉහළ ගොස් තිබේ.
මේ වනවිට පික්මී හරහා ස්වාධීන රියදුරන් සහ බෙදාහැරීම් හවුල්කරුවන් 167,000කට අධික පිරිසක් සම්බන්ධ වී සිටින අතර, වසර තුළ ඔවුන්ගේ ශුද්ධ ආදායම සියයට 14 ඉක්මවා තිබේ. එමෙන්ම Browns EV සහ LOLC Holdings සමාගම් සමඟ එක්ව ක්‍රියාත්මක කළ Rent-to-Own විදුලි වාහන වැඩසටහන මඟින් කුඩා ව්‍යවසායකයන්ට කෙටි කාලීන ආදායම් මාර්ග තුළින් දිගුකාලීන වත්කම් හිමිකරුවන් බවට පත්වීමේ අවස්ථාවද උදා කර ඇත.
එමෙන්ම කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර පද්ධතිය ශක්තිමත් කිරීමේ අරමුණින්, කුඩා ව්‍යාපාර, ආපනශාලා සහ නිවසේ සිට ක්‍රියාත්මක වන ව්‍යාපාර ඇතුළු වෙළෙඳ හවුල්කරුවන් 5,000කට අධික සංඛ්‍යාවක් වෙත ඩිජිටල් වෙළෙඳ පහසුකම්, ඒකාබද්ධ භාණ්ඩ ප්‍රවාහන සේවා සහ පුළුල් පාරිභෝගික ජාලයක් වෙත ප්‍රවේශය ලබා දී තිබේ.
අභියෝගාත්මක බාහිර පරිසරයක් මධ්‍යයේ වුවද සමාගමේ සිව්වන කාර්තුවේ ප්‍රතිඵල ද ශක්තිමත්ව පැවති බව සමාගම පවසයි. එම කාර්තුවේ ආදායම රුපියල් බිලියන 2.5ක් වූ අතර එය පෙර වසරේ අදාළ කාලයට සාපේක්ෂව සියයට 46ක වර්ධනයකි.
මැද පෙරදිග අර්බුදය හේතුවෙන් ඉන්ධන මිල ඉහළ යාම සහ QR ක්‍රමය යටතේ ඉන්ධන නිකුත් කිරීමේ සීමා ඇතිවීම වැනි තත්ත්වයන් හමුවේ වුවද සමාගම සිය ක්‍රියාකාරීත්වය පවත්වාගෙන යාමට සමත් වී ඇත. එම කාලය තුළ සමස්ත වේදිකා ක්‍රියාකාරකම් සියයට 49කින් ඉහළ ගොස් ඇති අතර තුන්වන කාර්තුවට සාපේක්ෂව ද සියයට 15ක වර්ධනයක් වාර්තා කර තිබේ.
සිව්වන කාර්තුවේ මෙහෙයුම් ලාභය රුපියල් මිලියන 534 සිට රුපියල් මිලියන 985 දක්වා සියයට 84කින් වර්ධනය වී ඇති අතර ශුද්ධ ලාභය ද රුපියල් මිලියන 375 සිට රුපියල් මිලියන 698 දක්වා සියයට 86කින් ඉහළ ගොස් ඇත.
DMSL හි නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී ජිෆ්රි සුල්ෆර් සඳහන් කළේ පාරිභෝගික ඉල්ලුම අඛණ්ඩව ඉහළ යාමත් සමඟ සමාගමේ ඩිජිටල් ප්‍රවාහන පද්ධතිය සඳහා ලැබෙන ප්‍රතිචාර තවදුරටත් ශක්තිමත් වී ඇති බවයි.
මේ අතර සමාගමේ සභාපති අජිත් ගුණවර්ධන ප්‍රකාශ කළේ, අභියෝගාත්මක ආර්ථික පසුබිමක් තුළ වුවද දිගුකාලීන සැලසුම් ක්‍රියාත්මක කිරීම සහ පිරිවැය පාලනය හේතුවෙන් ශක්තිමත් වර්ධනයක් පවත්වා ගැනීමට හැකි වූ බවයි.


