ජාතික පොහොර ලේකම් කාර්යාලයෙන් ආදර්ශමත් ඩිජිටල්කරණ සේවාවක්

Mobitel - National Fertilizer - Sinhala - Final (1)

– රාජ්‍ය සේවයට නව පූර්වාදර්ශයක් –

– සේවා ලබා ගැනීමට පැමිණිය යුතු නැහැ –

SLT-MOBITEL හි ජංගම දුරකථන සේවා අංශය වන Mobitel සහ Celata සමාගම එක්ව, කෘෂිකර්ම අමාත්‍යාංශයේ මඟපෙන්වීම සහ දායකත්වය යටතේ 2022/23 වර්ෂයේ සිට ජාතික පොහොර ලේකම් කාර්යාලයේ මෙහෙයුම් ක්‍රියාවලිය පූර්ණ ඩිජිටල් පරිවර්තනයකට ලක්කර තිබේ.  මෙම හවුල්කාරීත්වය තුළ Mobitel ප්‍රධාන ව්‍යාපාරික විසඳුම් සැපයුම්කරු ලෙස කටයුතු කළ අතර, Celata  එහි තාක්ෂණික හවුල්කරු ලෙස කටයුතු කරයි.

මේ යටතේ ජාතික පොහොර ලේකම් කාර්යාලයේ මෙහෙයුම් ක්‍රියාවලිය සහ එමඟින් ලබාදෙන සේවාවන් ආරම්භයේ සිට අවසානය දක්වා ඩිජිටල් ක්‍රමවේදයක් ඔස්සේ සැපයීම සඳහා විශේෂ වේදිකාවක් හඳුන්වා දී ඇත. මෙය ශ්‍රී ලංකාවේ රාජ්‍ය අංශයේ කාර්යක්ෂමතාව සඳහා සුවිශේෂී ආදර්ශයක් වනු නිසැකය.




“පොහොර” යනු මෙරට කෘෂිකර්මාන්තය හා බැඳී පවතින ගොවිජනතාවට අත්‍යවශ්‍ය අමුද්‍රව්‍යයක් සේම වඩාත් සංවේදී විෂයකි. පොහොර නියාමනය කිරීමේ පුළුල් වගකීම පැවරී ඇත්තේ ජාතික පොහොර ලේකම් කාර්යාලයටයි. 1978 ආරම්භ කරන ලද ජාතික පොහොර ලේකම් කාර්යාලය වඩා සංවිධානාත්මකව ක්‍රියාත්මක කිරීම සඳහා 1988 අංක 68 දරණ පොහොර විධිමත් කිරීමේ පනත ස්ථාපිත කරමින් එහි අධ්‍යක්ෂවරයාට පොහොර නියාමනයේ පුළුල් වගකීමක් පවරා ඇත. මෙම පනතට අනුව ලබාගත් අනුමැතියකින් තොරව පොහොර නිෂ්පාදනය, සැකසීම හෝ ආනයනය කිරීම සිදු කළ නොහැකිය. එමෙන්ම, වගා කටයුතු සඳහා අවශ්‍ය වාර්ෂික පොහොර අවශ්‍යතාව මෙන්ම එක් එක් වගා කන්නය සඳහා අවශ්‍ය පොහොර ප්‍රමාණය ද තක්සේරු කරමින්, ඒවා බෙදාහැරීම සැලසුම් කිරීම සහ ක්‍රියාත්මක කිරීම ද මෙම කාර්යාලය මඟින් සිදු කෙරේ.

මීට පෙර, අවශ්‍ය අවසර ලබාගැනීම සඳහා සේවාලාභීන්ට වැඩි කාලයක් බලාසිටීමටත්, අවස්ථා කිහිපයකදී කාර්යාලයට පෞද්ගලිකව පැමිණීමටත්, විශාල ලේඛන ප්‍රමාණයක් ඉදිරිපත් කිරීමටත් සිදු විය. එහෙත් නව විසඳුම හඳුන්වාදීමත් සමඟ පොහොර ආනයනකරුවන්ට, නිෂ්පාදකයන්ට සහ සැකසුම්කරුවන්ට තවදුරටත් ලේකම් කාර්යාලය වෙත පැමිණීමට අවශ්‍ය නොවේ.

ඒ වෙනුවට අයදුම්කරුවන්ට දැන් ජාතික පොහොර ලේකම් කාර්යාලයේ වෙබ් ද්වාරය (National Fertilizer Secretariat Portal) ඔස්සේ අයදුම්පත් ඉදිරිපත් කිරීම සහ ඊට අදාළ ලිපිලේඛන ඉදිරිපත් කිරීම ඇතුළු සියලු කටයුතු මාර්ගගතව සිදු කිරීමට අවස්ථාව සැලසී තිබේ. මේ සම්බන්ධ වැඩිදුර තොරතුරු  https://sites.google.com/view/nationalfertilizersecretariat/home ඔස්සේ ලබාගත හැක.

නිලධාරීන්ගේ නිර්දේශ සහ අනුමැතිය ලබාදිමද මාර්ගගත පද්ධතිය තුළදීම සිදු කෙරෙන අතර බලපත්‍රය ස්වයංක්‍රීයව සකස් වේ. මෙහිදී අධ්‍යක්ෂවරයාගේ ඩිජිටල් අත්සන ලබා දීම මඟින් සහතිකය නිකුත් කිරීම විශේෂයෙන් සඳහන් කළ යුතුය.

බලපත්‍ර ලබාගත් පසු පොහොර ආනයනය සඳහා අනුමැතිය ලබා දීම, රේගුවෙන් නිදහස් කරගැනීම සඳහා නිෂ්කාශන අවසරය ලබාදීම මෙන්ම ප්‍රමිතිය සඳහා Sample පරීක්ෂා කර අලෙවි අනුමැතිය ලබා දිම යන සියලු සේවා මාර්ගගත ක්‍රමවේදය හරහා සිදු කරනු ලබයි. මේ සැම අවස්ථාවකදීම ඩිජිටල් අත්සන මඟින් අධ්‍යක්ෂවරයාගේ අනුමැතිය ලබා දීම සිදු කෙරෙන බැවින් ප්‍රමාදයකින් තොරව සේවා සැපයීමට හැකි වේ.

මෙහි තවත් විශේෂත්වයක් වන්නේ ජාතික පොහොර පොහොර ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂවරයාට, සිය ජංගම දුරකථනයෙන් තොරතුරු පරීක්ෂා කර ඩිජිටල් අත්සන (e signature) මඟින් සිය අනුමැතිය ලබාදිමට හැකි වීමය. මේ නිසා අධ්‍යක්ෂවරයා සිය කාර්යාලයේ නොසිටියද ජංගම දුරකථනය හරහා කඩිනමින් අනුමැතිය ලබාදිය හැක. මෙය ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවාවන් කාර්යක්ෂම කිරීම සඳහා තොරතුරු තාක්ෂණය භාවිතා කිරීම සම්බන්ධ සුවිශේෂී සන්ධිස්ථානයකි.

තවද ජාතික පොහොර ලේකම් කාර්යාලය විසින් මෙම ක්‍රමවේදය නිසා අතින් සකස් කරන (Manual ) ලිපිගොනු 2000 ක් පමණ වාර්ෂිකව අඩුකර ගැනීමට සමත්ව ඇති අතරම මෙම ක්‍රියාවලියේදී එක ගොනුවක ගොනු වී ඇති ලේඛන සංඛ්‍යාව කඩදාසි (A4) 40 සිට 3 ක් දක්වා කඩදාසි 37 කින් අඩු කරගෙන තිබේ. ඒ අනුව වාර්ෂිකව A4 කඩදාසි 50,000 කට වැඩි ප්‍රමාණයක් ඉතිරි කිරීමට හැකි වී ඇත. එබැවින් මෙය කඩදාසි අවම (Paper Less) කාර්යාල ක්‍රමයකට කදිම නිදසුනකි.

මෙහි ඇති විශේෂම වාසිය වන්නේ,  සේවා ලබන්නන්ට පොහොර ලේකම් කාර්යාලයට පැමිණීමෙන් තොරව සේවා ලබාගැනීමට හැකියාව ලැබීමයි. වර්තමානයේ රාජ්‍ය සේවයේ සේවාවන් ලබාගැනීමේදී වැඩි කාලයක් බලා සිටීම, රැදී සිටීම මෙන්ම කිහිප වාරයක් ආයතනයට යාමට සිදුවීම, විවිධ ආයතනවලට යාමට සිදුවීම, සේවා ලබා ගැනීමට ඇතැම්විට පෝලිම්වල සිටීම, ලේඛන රැසක් සම්පූර්ණ කළ යුතු වීම ආදී තත්ත්වයන් සේවාලාභීන්ගේ අතෘප්තියට හේතු වී ඇත. ජාතික පොහොර ලේකම් කාර්යාලය හඳුන්වා දී ඇති ක්‍රමවේදය මෙම ගැටලු සියල්ලටම මනා විසඳුමකි.

ගෝලීයව සිදු වන තාක්ෂණික වෙනස්කම්වලට අනුගත වෙමින්, වැඩි ඵලදාවක් ලබාදෙන නවතම පොහොර වර්ග මෙරට තුළ ප්‍රවර්ධනය කිරීමට කටයුතු කරන ජාතික පොහොර ලේකම් කාර්යාලය, දේශීය පොහොර නිෂ්පාදන කර්මාන්තය නැංවීම සඳහාද සුවිශේෂී මෙහෙවරක් ඉටු කරයි. විශේෂයෙන්ම මඩ පොහොර සඳහා යොදාගන්නා TSP පොහොර වෙනුවට මෙරට එප්පාවල රොක් පොස්පේට් (ERP) යොදාගෙන SSP පොහොර නිෂ්පාදනය සහ ක්ෂුද්‍රජීවී ක්‍රියාකාරීත්වය සහිත ජෛව පොස්ෆේට් පොහොර නිෂ්පාදනය සඳහා කටයුතු කිරීම මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතුය. මේ තුළින් වාර්ෂිකව TSP ආනයනය සඳහා වැය වන විදේශ විනිමය විශාල ප්‍රමාණයක් ඉතිරි කරගැනීමට හැකි වී ඇත.

තවද පොහොර නිෂ්පාදන සමාගම් කොම්පෝස්ට් කැට (Pallet/Granular) පොහොර නිෂ්පාදනයට හුරු කරවීම, පරිසර හිතකාමී පොහොරවල ගුණත්වය ඉහළ නැංවීමට කටයුතු කිරීම සහ කාබනික හා රසායනික පොහොර සම්මිශ්‍රණයක් ලෙස ඒකාබද්ධ/දෙමුහුම් (Combined/Hybrid) පොහොර දේශීයව ප්‍රවර්ධනය කිරීමද පොහොර එකම කාර්යාලය මඟින් සිදුකරනු ලබයි. මීට අමතරව UREA පොහොර වල නයිට්‍රජන් විමෝචනය අඩු කිරීම සඳහා ආවරණය සහිත යූරියා පොහොර (Coated Urea) ඇතුළු වැඩිදියුණු කළ වැඩි කාර්යක්ෂමතාවයක් සංයුක්ත පොහොර (Combined Fertilizer) ප්‍රවර්ධනය කිරීමටද ජාතික පොහොර ලේකම් කාර්යාලය කටයුතු කර ඇත.

ඉදිරියටත් මෙවැනි ජාතික මට්ටමේ ප්‍රයත්නයන් සඳහා තාක්ෂණික හා සේවා සම්පාදන මට්ටමෙන් අත්වැලක් වෙමින්, ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක ලෙස තමන් වෙත පැවරී ඇති යුතුකම් හා වගකීම් අකුරට ඉටුකිරීම සඳහා SLT-MOBITEL කැප වී සිටී.

මෙම වේදිකාවේ අවසාන අදියර නිල වශයෙන් දියත් කිරීමේ අවස්ථාවට SLT-MOBITEL නියෝජනය කරමින් සුදර්ශන ගීගනගේ (ප්‍රධාන මෙහෙයුම් නිලධාරී), ලක්මාල් ජයසිංහ (ප්‍රධාන ව්‍යාපාරික නිලධාරී – ව්‍යවසාය ව්‍යාපාර) සහ තිලක් තිලකරත්න (ප්‍රධාන කළමනාකරු – රාජ්‍ය ව්‍යාපාර) යන මහත්වරු සහභාගී වූහ. ජාතික පොහොර ලේකම් කාර්යාලය නියෝජනය කරමින් එහි අධ්‍යක්ෂ චන්දන ලොකුහේවගේ මහතා සහ නියෝජ්‍ය අධ්‍යක්ෂවරුන් වන ධම්මික එදිරිසූරිය, මහේෂ් කරුණාරත්න සහ බී. ජී. සී. අරුණශාන්ත යන මහත්වරු මෙම අවස්ථාවට එක් වූ අතර, තාක්ෂණික හවුල්කරු වන Celata Tech වෙනුවෙන් එහි අධ්‍යක්ෂ ආචාර්ය තිරාන් ද සිල්වා මහතා මෙම අවස්ථාවට එක් විය.



ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

7 + 3 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව