කොළඹ වරාය නගරයේ ඉන්දීය ආයෝජක සමුළුවේදී ඉන්දියා – ශ්‍රී ලංකා ආර්ථික සබඳතාවලට ප්‍රමුඛස්ථානයක්

6

ප්‍රධාන ක්ෂේත්‍රයන්හි ආයෝජන සහයෝගීතාව වර්ධනය කරගැනීම උදෙසා නියෝජිතයින් 200කට අධික පිරිසක් එක්වෙති.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින දිගුකාලීන ආර්ථික සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින්, 2026 නොවැම්බර් 4 වන දින චෙන්නායිහි Hyatt Regency හෝටලයේ දී පවත්වන ලද කොළඹ වරාය නගර ආයෝජක සමුළුව මඟින් නව ආයෝජන, ව්‍යාපාර සහ දේශසීමා අතර ව්‍යාපාරික හවුල්කාරිත්වය සඳහා වන නව මංපෙත් ගවේෂණය කරන ලදී.

චෙන්නායිහි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලය විසින් Port City Colombo (PCC) සමඟ එක්ව සංවිධානය කරන ලද මෙම සමුළුව සඳහා දේපළ වෙළඳාම්, මූල්‍ය සේවා, සැපයුම් දාම, තොරතුරු තාක්ෂණ සහ තාක්ෂණික අංශවල ව්‍යාපාරික නායකයන්, ප්‍රමුඛ පෙළේ ඉන්දියානු කර්මාන්ත මණ්ඩලවල නියෝජිතයන්, ආයෝජකයන් සහ ප්‍රතිපත්ති සම්පාදකයන් ඇතුළු 200කට අධික පිරිසක් සහභාගී වූහ. ආරාධිතයන්ට පමණක් සීමා වූ මෙම සමුළුව, ඉන්දියානු ව්‍යාපාරික සහ ආයෝජන ප්‍රජාව සමඟ සබඳතා ගැඹුරු තවදුරටත් සවිමත් කිරීමට කොළඹ වරාය නගරය සතු කැපවීම මනාව පෙන්නුම් කළ සුවිශේෂී අවස්ථාවක් විය.




දකුණු ඉන්දියාවේ ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් අතිගරු ආචාර්ය ගනේෂනාදන් ගේතිස්වරන් මහතාගේ දේශනයකින් වැඩසටහන ආරම්භ විය. “ඉන්දියාව සහ ශ්‍රී ලංකාව භූගෝලීය, ඓතිහාසික සහ වාණිජමය වශයෙන් එකිනෙකට බැඳී පවතින අතර, එම සබඳතාව අද වන විට වෙන කවරදාටත් වඩා ශක්තිමත්ය. සවිමත් කාර්මික පදනමක් සහ ව්‍යවසායක පරිසරයක් ඇති චෙන්නායි, මෙම සාකච්ඡාව සඳහා ඉතා වැදගත් වෙළඳපලකි. අප දෙරටේ ව්‍යාපාර අතර කල්පවත්නා හවුල්කාරිත්වයන් ගොඩනඟා ගැනීමට මෙම සමුළුව උපකාරී වනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු” ලෙසින් ඔහු මෙහිදී පැවසුවේය.

“India’s Growth Story, Strengthened: Why Sri Lanka, Why Now” යන්න සමුළුවේ ප්‍රධාන තේමාව වූ අතර, ඉන්දියානු ව්‍යාපාරවලට තම දේශීය පදනමෙන් ඉවත් නොවී තවදුරටත් හැකියාවන් සහ වෙළඳපල ප්‍රවේශය පුළුල් කර ගැනීමට එමඟින් අවස්ථාව සැලසිණි. ශ්‍රී ලංකාව ඉන්දියාවට සමීප වීම, කාල කලාපය සමාන වීම, සංස්කෘතික සමානකම් සහ ස්ථාපිත වාණිජ හා නීතිමය ආයතන තිබීම ආදී කාරණා මෙහිදී ප්‍රධාන ප්‍රතිලාභ ලෙස පෙන්වා දෙන ලදී. දේපළ වෙළඳාම්, දත්ත විශ්ලේෂණ, සයිබර් ආරක්ෂණය, කෘත්‍රිම බුද්ධිය (AI) සහ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රවල අවස්ථා පිළිබඳව ද මෙහි දී සාකච්ඡා විය.

කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා සභාපති ජනාධිපති නීතිඥ හර්ෂ අමරසේකර මහතා පැවසුවේ, වරාය නගරය  ස්ථාවර නීතිමය පදනමක් සහ ආයෝජකයන්ට ලැබෙන ආරක්ෂාව හරහා විශ්වාසයක් ලබා දෙන පරිදි සැලසුම් කර ඇති බවයි. මෙම ව්‍යාපෘතිය ජනාධිපති අතිගරු අනුර කුමාර දිසානායක මැතිතුමාගේ සෘජු අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන ජාතික වැදගත්කමකින් යුත් ව්‍යාපෘතියක් බව ද ඔහු අවධාරණය කළේය.

CHEC Port City Colombo (Pvt) Ltd හි නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ තුල්සි අලුවිහාරේ මහතා, ශ්‍රී ලංකාවේ එකම විදේශ මුදල් නම් කරන ලද විශේෂ ආර්ථික කලාපය ලෙස එහි පිහිටීම ඉස්මතු කළේය. එක් ස්ථානයකින් අනුමත කිරීමේ ක්‍රියාවලිය, 100%ක විදේශීය හිමිකාරිත්වය සහ ඉන්දියානු රුපියල ඇතුළුව විදේශ මුදල් 16කින් ගනුදෙනු කිරීමට ඇති හැකියාව එහි පවතින සුවිශේෂීතා ලෙස ඔහු පැහැදිලි කළේය.

සමුළුව අතරතුර TVS Vehicle Mobility Solutions හි CEO මධු රඝුනාත්, JLL හි ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ රොබින් එස්., හර්ෂ අමරසේකර සහ තුල්සි අලුවිහාරේ යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් මණ්ඩල සාකච්ඡාවක් පැවැත්වුණි. එහිදී JLLහි රොබින් එස්. මහතා සඳහන් කළේ, පැහැදිලි නියාමන රාමුවක් සහ විනිවිද පෙනෙන දිරිගැන්වීම් හේතුවෙන් ඉන්දියාවෙන් වරාය නගරය කෙරෙහි දැඩි උනන්දුවක් ගොඩනැගෙමින් පවතින බවයි.

චෙන්නායි හි පැවති මෙම ආයෝජක සමුළුව ඉන්දියානු ව්‍යාපාරික සහ ආයෝජන ප්‍රජාව සමඟ සබඳතා ගැඹුරු කිරීමේ වැදගත් පියවරක් වන අතර, ඉදිරියටත් නව ආයෝජන සහ සහයෝගීතාවයන් සඳහා වන සංවාද අඛණ්ඩව පවත්වනු ඇත.

කොළඹ වරාය නගරය පිළිබඳව

කොළඹ වරාය නගරය යනු දකුණු ආසියාවේ ගෝලීය මට්ටමේ ව්‍යාපාරික සහ නවීන ජීවන රටා කේන්ද්‍රස්ථානයක් ලෙස සැලසුම් කර ඇති නවීන, ක්‍රමවත් නගර සංවර්ධන ව්‍යාපෘතියකි. ප්‍රධාන නැඟෙනහිර-බටහිර මුහුදු මාර්ගය ඔස්සේ හෙක්ටයාර 269ක් පුරා විහිදෙන මෙය, ශ්‍රී ලංකාවේ ප්‍රථම විදේශ ව්‍යවහාර මුදල් සඳහා වෙන්වූ බහුවිධ සේවා විශේෂ ආර්ථික කලාපය (SEZ) වන අතර රටේ විශාලතම රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්ව සංවර්ධන ව්‍යාපෘතිය ද වේ.

කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව මඟින් පාලනය වන මෙම ව්‍යාපෘතිය, සුවිශේෂී නියාමන රාමුවක් යටතේ ක්‍රියාත්මක වේ. එමඟින් ජාත්‍යන්තර මට්ටමේ ප්‍රමිතීන්, ශක්තිමත් ආයෝජක ආරක්ෂාවක්, ව්‍යාපාර කිරීමේ පහසුව මෙන්ම තරගකාරී මූල්‍ය සහ මූල්‍ය නොවන දිරිගැන්වීම් රැසක් ආයෝජකයන්ට පිරිනමයි.

ඉහළ වටිනාකමකින් යුතු සෘජු විදේශ ආයෝජන (FDI) ආකර්ෂණය කර ගැනීම සඳහා සැලසුම් කර ඇති කොළඹ වරාය නගරය මඟින් මූල්‍ය සේවා, තොරතුරු තාක්ෂණ හා ඩිජිටල් සේවා, ගෝලීය වෙළඳාම, සමුද්‍රීය හා සැපයුම් දාම, වෘත්තීය සේවා මෙන්ම කලාපීය මූලස්ථාන මෙහෙයුම් ඇතුළු ක්ෂේත්‍ර රැසකට පහසුකම් සලසයි. මෙම ව්‍යාපෘතිය සම්පූර්ණ වූ පසු, ඇස්තමේන්තුගත ඇමෙරිකානු ඩොලර් බිලියන 15ක සමස්ත සංවර්ධනයත් සමඟින් ශ්‍රී ලංකාව තුළ විශාල රැකියා ප්‍රමාණයක් උත්පාදනයටත්, දැනුම හුවමාරු කර ගැනීමටත්, දිගුකාලීන ආර්ථික වර්ධනයක් ළඟා කර ගැනීමටත් මඟ පාදනු ඇතැයි අපේක්ෂා කෙරේ.

වැඩි විස්තර සඳහා www.portcitycolombo.lk වෙත පිවිසෙන්න.

ඉන්දියාවේ මාධ්‍ය සම්බන්ධතා සඳහා: pcc@adfactorspr.com

 



ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව