
ලොව ප්‍රමුඛතම නව බලශක්ති වාහන (NEV) නිෂ්පාදකයා වන BYD, ශ්‍රී ලංකාවේ එකම බලයලත් බෙදාහරින්නා වන John Keells CG Auto (JKCG Auto), සමඟ එක්ව නැගෙනහිර වෙරළ තීරයේ සිය ව්‍යාපාරික කටයුතු තවදුරටත් පුළුල් කර තිබේ. ඒ අනුව ඔවුන්ගේ නවතම සහ නවවන ප්‍රදර්ශනාගාරය මඩකලපුව නගරයේදී උත්කර්ෂවත් ලෙස විවෘත කෙරිණි.
මඩකලපුව, ත්‍රිකුණාමල පාර, අංක 556 D ලිපිනයෙහි පිහිටි මෙම නව ප්‍රදර්ශනාගාරය හැරී ටේ්‍රඩර්ස් සමාගම සමඟ සහයෝගීතාවයක් පවත්වාගෙන යනු ලබයි. කොළඹ, ගාල්ල, කුරුණෑගල, මහනුවර, අම්පාර සහ රත්නපුර යන නගරවල දැනටමත් ක්‍රියාත්මක වන BYD ප්‍රදර්ශනාගාර ජාලයට මෙම නවතම ශාඛාවද එක්වේ. මෙමඟින් නැගෙනහිර පළාත තුළ BYD සන්නාමයේ පැවැත්ම තවදුරටත් ශක්තිමත් වන අතර, එම කලාපයේ පාරිභෝගිකයින්ට අතිනවීන විදුලි සහ ප්ලග්-ඉන් හයිබ්‍රිඩ් (plug-in hybrid) වාහන ඉතා පහසුවෙන් මිලදී ගැනීමට අවස්ථාව සැලසේ. එමෙන්ම, මෙය BYD සන්නාමය දිවයින පුරා ව්‍යාප්ත කිරීමේ තවත් එක් වැදගත් පියවරකි.
ශ්‍රී ලංකාව පුරා ඊශෘ සතු අනෙකුත් ප්‍රදර්ශනාගාර මෙන්ම විශ්වසනීය සේවාවක්, පාරිභෝගික සහායක් සහ අතිනවීන වාහන පෙළක් මෙහිදී ද පාරිභෝගිකයින්ට ඒ අයුරින්ම අත්විඳිය හැකිය. හැරී ටේ්‍රඩර්ස් සමඟ එක්ව ආරම්භ කළ මෙම නව ප්‍රදර්ශනාගාරය මුල් අදියරේදී ප්‍රදර්ශනාගාරයක් ලෙස පමණක් ක්‍රියාත්මක වන අතර, නුදුරු අනාගතයේදීම වාහන අලුත්වැඩියා සහ අමතර කොටස් සේවාවන් හඳුන්වා දීමට කටයුතු කරමින් සිටී. මෙම ප්‍රදර්ශනාගාරය තුළ BYD SEALION 5, BYD SEALION 6, BYD SEALION 8, BYD ATTO 1, BYD ATTO 2 සහ BYD DOLPHIN ඇතුළු BYD වාහන මාදිලි රැසක් ඇත.
මේ පිළිබඳව අදහස් දක්වමින් JKCG Auto ප්‍රධාන විධායක නිලධාරී චරිත් පණ්ඩිතරත්න මහතා සඳහන් කර සිටියේ “අපගේ සෑම නව ප්‍රදර්ශනාගාරයකින්ම පැහැදිලි වන්නේ දිවයිනේ සෑම ප්‍රදේශයකම වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට නව බලශක්ති වාහන භාවිත කිරීමේ අවස්ථාව උදාකර දීමට අප තුළ ඇති දැඩි උනන්දුවයි. මඩකලපුව යනු දියුණුව අපේක්ෂා කරන ජනතාවක් වෙසෙන, සීඝ්‍රයෙන් වර්ධනය වන නගරයක්. හැරී ටේ්‍රඩර්ස් සමඟ එක්ව BYD හි උසස් තත්ත්වයේ වාහන පෙළ ජනතාව වෙතටම රැගෙන ඒමට ලැබීම ගැන අප නිහතමානීව ආඩම්බර වනවා.” යනුවෙනි.
හැරී ටේ්‍රඩර්ස් ප්‍රධාන විධායක නිලධාරී තවබාලන් හැරී ප්‍රතාබ් මහතා ද අදහස් දක්වමින් පැවසුවේ “මඩකලපුව ප්‍රදේශයේ BYD සන්නාමය නියෝජනය කිරීමට ලැබීම සහ ශ්‍රී ලාංකිකයින් වාහන පැදවීම දෙස බලන ආකාරය සම්පූර්ණයෙන්ම වෙනස් කරන මේ සුවිශේෂී ගමනේ කොටස්කරුවෙකු වීමට ලැබීම අපට ගෞරවයක්. උසස් තත්ත්වයේ සහ නවීන තාක්ෂණයෙන් යුත් නිෂ්පාදන සඳහා නැගෙනහිර පළාතේ විශාල උනන්දුවක් පවතින අතර BYD ඒ සඳහා කදිම විසඳුමක්. වාහනයක් හිමිකර ගැනීමේ නවතම සහ උසස්ම අත්දැකීම අපගේ ජනතාවට හඳුන්වා දීමට අප සූදානම්.” යනුවෙනි.
නව බලශක්ති වාහන සඳහා ශක්තිමත් පරිසර පද්ධතියක් නිර්මාණය කිරීමේ අරමුණින්, JKCG Auto සමාගම දැනටමත් දිවයින පුරා Keells සුපිරි වෙළෙඳසැල් හි fast chargers 46ක් ස්ථාපිත කර ඇත. මීට අමතරව, GreenEV සමාගම සමඟ ඇති කරගත් සහයෝගීතාවය හරහා තවත් charge කිරීමේ මධ්‍යස්ථාන 83ක පහසුකම් එක් කර තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාවේ පළාත් නවයම ආවරණය වන පරිදි charge කිරීමේ මධ්‍යස්ථාන 129ක පුළුල් ජාලයක් පාරිභෝගිකයින්ට භාවිත කිරීමේ අවස්ථාව උදාවේ. එමෙන්ම, සෑම BYD සහ Denza වාහන හිමිකරුවෙකුටම නිවසේදී භාවිත කළ හැකි charge කිරීමේ උපකරණ කට්ටලයක් නොමිලේ හිමිවන බැවින්, වාහනය මිලදී ගත් පළමු දිනයේ සිටම කිසිදු බාධාවකින් තොරව එය charge කරගත හැකිය. දැනටමත් නැගෙනහිර පළාත දක්වා ව්‍යාප්තව පවතින මෙම යටිතල පහසුකම්, BYD හි දිගුකාලීන තිරසාර පාරිසරික ඉලක්ක සපුරාලීමට දායක වන අතර ශ්‍රී ලංකාවේ ඕනෑම ප්‍රදේශයක සිටින නව බලශක්ති වාහන හිමිකරුවන්ට උපරිම පහසුවක් සලසා දෙයි.
මඩකලපුවේ විවෘත කළ මෙම නවතම ප්‍රදර්ශනාගාරය සමඟින්, නව බලශක්ති වාහන මිලදී ගැනීමේ අවස්ථාව තවදුරටත් පුළුල් කිරීමටත්, දිවයින පුරා සිටින පාරිභෝගිකයින්ට වඩාත් පුළුල් සේවාවක් සැපයීමටත් BYD සමාගම සමත්ව සිටී. බස්නාහිර, දකුණ, මධ්‍යම, වයඹ සහ නැගෙනහිර යන පළාත් රැසක් ආවරණය වන පරිදි සිය ප්‍රදර්ශනාගාර සහ සේවා මධ්‍යස්ථාන ජාලය ව්‍යාප්ත කර ඇති BYD සහ JKCG Auto, නව බලශක්ති වාහන වෙත යොමුවීමේ ක්‍රියාවලිය සෑම ශ්‍රී ලාංකිකයෙකුටම සැබෑ සහ ඉතා පහසු අත්දැකීමක් බවට පත්කිරීමට අඛණ්ඩව කැපවී සිටී.


