
කොළඹ, මාර්තු 27 සිකුරාදා: ගම්පොළ අම්බුළුවාව ආගමික හා ජෛව විවිධත්ව මධ්‍යස්ථානය සිය 30 වැනි සංවත්සරය නිමිත්තෙන් 2026 මාර්තු 29 සහ 30 යන දිනවලදී සැමරුම් වැඩසටහන් මාලාවක් පැවැත්වීමට කටයුතු යොදා ඇත. මෙහිදී සර්වරාත්‍රික පිරිත් දේශනයක් පැවැත්වෙන අතර ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානයක් මෙන්ම, දුර්ලභ හා වටිනා පොත් එකතුවකින් සමන්විත ‘නියංගොඩ විජිතසිරි ජාත්‍යන්තර පුස්තකාලය’ ඉදි කිරීමට මුල්ගල් තැබීමට නියමිතය.
මේ සඳහා අස්ගිරි පාර්ශ්වයේ මහානායක වරකාගොඩ ඤාණරතන හිමි, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක මකුලැවේ විමල හිමි සහ ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ උත්තරීතර මහානායක කරගොඩ උයන්ගොඩ මෛත්‍රිමූර්ති හිමි ඇතුළු ත්‍රෛනිකායික මහා සංඝරත්නය වැඩම කිරීම සහ ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා ඇතුළු සම්භාවනීය පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගී වීමට නියමිතය. සංවත්සරයට සමගාමීව පිරිවෙන් ආචාර්යයන් වහන්සේලා පුහුණු කිරීමේ වැඩසටහනක්, රාමසාන් උපවාස අත්හැරීමේ උත්සවයක් සහ විශේෂ බෝධි පූජාමය පිංකම් මාලාවක් ද පවත්වත්වන ලදී.
1996 මාර්තු 27 වන දින ස්ථාපිත කරන ලද අම්බුළුවාව, අද වන විට සංචාරක ව්‍යාපාරය, ජෛව විවිධත්ව සංරක්ෂණය සහ සර්ව ආගමික සංහිඳියාව සඳහා ජාත්‍යන්තරව පිළිගත් ගමනාන්තයක් බවට පත්ව ඇත. බෞද්ධ, හින්දු, ඉස්ලාම් සහ ක්‍රිස්තියානි ආගමික ස්ථාන එකම පරිශ්‍රයක ස්ථාපිත කර ඇති මෙම ස්ථානය, ශ්‍රී ලංකාවේ සාමකාමී සහජීවනයේ ජීවමාන සංකේතයක් ලෙස කැපී පෙනේ.
පසුගිය දශක තුනක කාලය තුළ මෙරට සංචාරක කර්මාන්තයේ දියුණුවට මෙන්ම, ගම්පොළ සහ ඒ අවට ප්‍රදේශයන්හි ජනතාවගේ ආර්ථික මට්ටම ඉහළ නැංවීමට අම්බුළුවාව ආගමික හා ජෛව විවිධත්ව මධ්‍යස්ථානයට හැකියාව ලැබී ඇත. මෙරටට පැමිණෙන ජාත්‍යන්තර සංචාරකයින්ගෙන් ආසන්න වශයෙන් 8%ක් පමණ සිය සංචාරක සැලසුම්වලට අම්බුළුවාව ඇතුළත් කර ගෙන තිබේ.


