ශ්‍රී ලාංකේය කුකුළු මස් නිෂ්පාදකයින්ගේ තිරසාර මෙහෙවර වෙනුවෙන් Soy Connext 2026 හිදී ජාත්‍යන්තරයෙන් ඇගයීමක්

1- Sri Lankan Poultry Producers at US Connext 2026 (LBN)

පසුගිය දා එක්සත් ජනපද සොයාබෝංචි අපනයන කවුන්සිලය (USSEC) විසින් සංවිධානය කරන ලද Soy Connext 2026 සමුළුව චිකාගෝහි දී අති සාර්ථක අන්දමින් පැවැත්විය. එහිදී 2025 වසරෙහි එක්සත් ජනපදයේ සෝයා බෝංචි ආහාර සඳහා විශාලතම වෙළඳපොළ ලෙස සැලකෙන ශ්‍රී ලංකාවේ, කුකුළු නිෂ්පාදන කර්මාන්තයේ ප්‍රමුඛ පෙළේ කුකුළු මස් නිෂ්පාදකයින් සහ සත්ව ආහාර නිෂ්පාදකයින් කිහිප දෙනෙකු Sustainable U.S. Soy සහ Fed with Sustainable U.S. Soy යන ලේබල භාවිත කිරීම වෙනුවෙන් ගෝලීය තිරසාර නායකයින් ලෙස සම්මානයට පාත්‍ර විය.




මෙතෙක් වැඩිම පිරිසක් සම්බන්ධ වූ සම්මේලනයක් ලෙස ඉතිහාසයට එක් වන මෙම සුවිශේෂී අවස්ථාව සඳහා, ලොව පුරා නියෝජිතයින් 800 කට වැඩි පිරිසක් සහභාගි විය.  මෙහිදී ඇමරිකාව, චීනය සහ අග්නිදිග ආසියාව යන කලාපවල සම්මානලාභීන් සමඟ ශ්‍රී ලාංකේය කුකුළු මස් කර්මාන්තයේ ප්‍රමුඛයින් ද මේ සඳහා එක්ව සිටියහ. එක්සත් ජනපද සෝයා බෝංචි අපනයන කවුන්සිලය (USSEC) සමඟ සමීපව කටයුතු කරන කොළඹ පිහිටි මහජන සම්බන්ධතා සහ සන්නිවේදන ආයතනයක් වන Mark and Com හි මාධ්‍ය නියෝජිතයෙකු ද මෙම සම්මේලනයට එක්ව සිටියේය.

අගෝස්තු 5 සිට 7 දක්වා තෙදිනක් පුරාවට චිකාගෝ හි Hyatt Regency හෝටල් පරිශ්‍රයේදී පැවැති මෙම  සම්මේලනය ආරම්භ වූයේ ජාත්‍යන්තර ගැණුම්කරුවන් සහ එක්සත් ජනපද අපනයනකරුවන් අතර පැවැත්වුණු ‘Trade Team Invitational’ ද්විපාර්ශ්වික ව්‍යාපාර හමුවීම් මාලාවෙනි. ඉන් අනතුරුව, ගෝලීය වෙළෙඳපොළ ප්‍රවණතා, තිරසාරභාවය සහ සැපයුම් දාමයේ ඔරොත්තු දීමේ හැකියාව පිළිබඳ දේශන සහ විශේෂ සාකච්ඡාමය  සුවිශේෂී වැඩසටහනක් මෙහිදී පැවැත්විය.

USSEC හි ප්‍රධාන විධායක නිලධාරී ජිම් සුටර් සම්මේලනය ආරම්භ කරමින් ප්‍රකාශ කොට සිටියේ, මෙම අවස්ථාව දීර්ඝ කාලීන ගමනක වැදගත් පියවරක් බවයි. මෙය කුඩා වෙළඳපොළක් නොව විශාල වෙළඳපොළක් බවත් අවධාරණයක් කළ ඔහු  පෙන්වා දුන්නේ ජනගහනය සහ දේශීය නිෂ්පාදිතය (GDP) වර්ධනය වීමත් සමඟ  විශේෂයෙන්ම දකුණු ආසියාව වැනි පෝෂණ අවශ්‍යතා ඉහළ යමින් පවතින කලාපවල සොයාබෝංචි සඳහා වන වර්තමානයේ ගෝලීය ආනයන ඉල්ලුම මෙට්‍රික් ටොන් මිලියන 247 සිට 2034 වසර වනවිට මෙට්‍රික් ටොන් මිලියන 319 දක්වා ඉහළ යනු ඇති බවයි.

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ගත් කල, මෙම ඉල්ලුමේ ප්‍රවණතාවයට සුවිශේෂී දේශීය වැදගත්කමක් හිමි වී තිබේ. එක්සත් ජනපද සෝයා තිරසාරභාව සහතික කිරීමේ වැඩසටහන (SSAP) යටතේ සහතික කරනු ලබන “Sustainable U.S. Soy” සහ “Fed with Sustainable U.S. Soy” ලේබල භාවිත කිරීමේ බලපත්‍ර දැනට ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ කුකුළු නිෂ්පාදකයින් සහ සත්ත්ව ආහාර නිෂ්පාදකයින් 16 දෙනෙකු සතුව පවතියි. එමගින් ආසියානු කලාපයේ මෙම ලේබල බහුලව භාවිත කරන රටවල් අතර ශ්‍රී ලංකාව ඉදිරියෙන්ම සිටියි. නිව් ඇන්තනීස් ෆාම්ස් ආයතනය 2023 වසරේදී දකුණු ආසියානු කලාපයෙන් මෙම බලපත්‍රය හිමි කරගත් පළමු සමාගම බවට පත්වූ අතර, එතැන් පටන් එම සමාගම තිරසාර ලෙස අමුද්‍රව්‍ය සපයා ගැනීම ප්‍රායෝගික ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව එක්සත් ජනපද සෝයා අපනයන කවුන්සිලය විසින් ඉදිරිපත් කරන ප්‍රමුඛතම උදාහරණයක් බවට පත්ව තිබේ.

එමෙන්ම මෙම සමුළුව සඳහා ශ්‍රී ලංකාවේ නියෝජිතයන් ද එක් ව සිටි අතර තිරසාරභාවය පිළිබඳ පැවති සාකච්ඡා පැනලයේදී ඔවුන් විසින් අවධාරණය කර සිටියේ, තිරසාරභාවය සහ ව්‍යාපාරික ලාභය යනු එකිනෙකට වෙනස් ඉලක්ක නොවන බවයි. තවද තිරසාර ලෙස අමුද්‍රව්‍ය සපයා ගැනීමේ දී හිමිවන ප්‍රතිලාභ මෙන්ම, දේශගුණික ක්‍රියාකාරිත්වය, උසස් පෝෂණය සහ ප්‍රෝටීන් බහුල ආහාර සැපයීම සඳහා තමන් සතු  කැපවීම පාරිභෝගිකයන් හට සෘජුවම පෙන්නුම් කරන සලකුණක් ලෙස ‘Sustainable U.S. Soy’ යන ලාංඡනය ද භාවිත කිරීමේ වැදගත්කම නිෂ්පාදකයින් විසින් මෙහිදී පෙන්වා දුනි.

මෙම ඇගයීම, ශ්‍රී ලංකාව සහ එක්සත් ජනපද සෝයා අපනයන කවුන්සිල අතර වසරක් පුරා වේගයෙන් වර්ධනය වූ ආයතනික සබඳතාවල තවත් එක් ප්‍රතිඵලයකි. මැයි මාසයේදී, එක්සත් ජනපද සෝයා අපනයන කවුන්සිලයෙහි හවුල්කාරිත්වය ඇතිව  මහනුවරදී ශ්‍රී ලංකා සත්ව පෝෂණ සංගමය (SLAAN) නිල වශයෙන් ආරම්භ කරන ලද අතර, එමගින් දිවයිනේ පෝෂණවේදීන්ට සහ සත්ව ආහාර විද්‍යාඥයින්ට වෙන්වූ පළමු වෘත්තීය ආයතනය ස්ථාපිත විය.

ශ්‍රී ලංකාව ඉදිරියටත් එක්සත් ජනපද සොයාබෝංචි ආහාර මිලදී ගන්නා ලොව විශාලතම රටක් ලෙස පවතින අතර 2025 වසර වනවිට නිව් මෙට්‍රික් ටොන් 255,000 ක් පමණ ආනයනය කර ඇත. එමගින් වසරකට මෙට්‍රික් ටොන් මිලියන 1.3 කට ආසන්න ප්‍රමාණයක් දේශීය සත්ව ආහාර කර්මාන්තයට වෙනුවෙන් යොදා ගැනේ. ඒ අනුව එහි ප්‍රධානතම පාරිභෝගිකයා වන්නේ කුකුළු මස් ක්ෂේත්‍රයයි.

Soy Connext 2026 සමුළුව අවසන් වූ පසු ශ්‍රී ලාංකේය නියෝජිත පිරිස යළි මෙරටට පැමිණෙන්නේ හුදෙක් වෙළඳ සබඳතාවයකට එහා ගිය ගෝලීය අවධානයට ලක්ව ඇති තිරසාරත්වය පදනම් කරගත් හවුල්කාරීත්වයක් ද සමඟින් බව USSEC නිලධාරීන් වැඩිදුරටත් සඳහන් කරයි.


ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

14 − six =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව