ISF සමාගම ලොව ප්‍රථම පූර්ණ ස්වයංක්‍රීය පොල් වතුර ඉවත් කිරීමේ (Coconut Dewatering) පද්ධතිය හඳුන්වා දෙයි.

ISF IMG 1 (LBN)

ISF යනු නිෂ්පාදන කර්මාන්තය සඳහා කෘත්‍රිම බුද්ධිය (AI) යොදාගැනීමේ පූර්ණ දැක්මක් සහිත ශ්‍රී ලාංකේය ඉංජිනේරු සහ තාක්ෂණික සමාගමකි. එම සමාගම විසින් ලොව ප්‍රථම පූර්ණ ස්වයංක්‍රීය පොල් වතුර ඉවත් කිරීමේ (Coconut Dewatering) පද්ධතිය නිල වශයෙන් හඳුන්වා දී ඇත. මෙමගින් පොල් සැකසුම් කර්මාන්තයේ නිෂ්පාදන කාර්යක්ෂමතාව ඉහළ යන අතර, ශ්‍රමිකයන් මත යැපීම සහ මෙහෙයුම් අකාර්යක්ෂමතාවන් අවම කරමින් ආයෝජන ප්‍රතිලාභය (ROI) වේගවත් කරයි.

දේශීය ඉංජිනේරුවන් විසින් මෙරටදීම සැලසුම් කර නිපදවන ලද මෙම පද්ධතිය හරහා, මෙතෙක් අතින් සිදු කෙරුණු පොල් වතුර ඉවත් කිරීමේ ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම ස්වයංක්‍රීයකරණයට ලක් කෙරේ.




මෙම පද්ධතිය හඳුන්වා දීම සඳහා පැවති සජීවී ප්‍රදර්ශනයට විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය ගරු මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතා ඇතුළු ISF සමාගමේ ප්‍රධාන ජාත්‍යන්තර වෙළඳපොළවල් නියෝජනය කරන රාජ්‍ය තාන්ත්‍රිකයන්, කර්මාන්ත ක්ෂේත්‍රයේ ප්‍රමුඛයන් සහ මාධ්‍යවේදීහු සහභාගී වූහ. එහිදී මෙම තාක්ෂණය සජීවීව ක්‍රියාත්මක වන ආකාරය සහ එය පොල් සැකසුම් කර්මාන්තයට ලබා දෙන ප්‍රතිලාභ නිරීක්ෂණය කිරීමේ අවස්ථාව හිමි විය.

මෙම අවස්ථාව පිළිබඳ අදහස් දැක්වූ ISF සමාගමේ අධ්‍යක්ෂ අංජුලා සිවකුමාරන් මහත්මිය මෙසේ පැවසීය: “මෙම ස්වයංක්‍රීය පොල් වතුර ඉවත් කිරීමේ පද්ධතිය සැලසුම් කිරීමට සහ වෙළඳපොළට හඳුන්වා දීමට ලැබීම පිළිබඳව මම ආඩම්බර වෙනවා. ඉන්දුනීසියාවේ සිටින අපගේ පාරිභෝගිකයන් මෙම නවෝත්පාදනය පිළිබඳව ඉතා සතුටට පත්ව සිටින අතර, මෙම යන්ත්‍රය ඉදිරි සති කිහිපය තුළ පිලිපීනය වෙත යැවීමට නියමිතයි. එහි සවිකිරීමේ කටයුතු අධීක්ෂණය කිරීමට සහ අලෙවියෙන් පසු සේවාවන් ලබා දීමට අපගේ ඉංජිනේරු කණ්ඩායමද එරට බලා පිටත්ව යාමට නියමිතයි.”

මෙය කලාපීය සහ දේශීය සමාගම්වලට ඔවුන්ගේ මෙහෙයුම් ස්වයංක්‍රීය කරමින් ගෝලීය තරගකාරීත්වයට ළඟා වීමට සහාය වීම මගේ දැක්මේ තවත් එක් පියවරක්. එමෙන්ම ශ්‍රී ලංකාවේ විශිෂ්ට ඉංජිනේරු දක්ෂතා උපයෝගී කරගනිමින් මෙම දැක්ම සැබෑ කර ගැනීමට මට අවශ්‍යයි. එමඟින් ඉතා කෙටි කාලයක් තුළ ආයෝජන ප්‍රතිලාභ ලබාගැනීමටත් අපගේ පාරිභෝගිකයන්ට උපකාර කිරීමටත් අපට හැකිවේවි.

තවදුරටත් අදහස් දැක්වූ එම මහත්මිය, “ISF හි කාර්යභාරය පොල් වතුර ඉවත් කිරීමේ තාක්ෂණයට පමණක් සීමා වන්නේ නැහැ. පොල් ලෙලි ඉවත් කිරීම, පොල් කටු ගැලවීම සහ පොල් කුරුට්ට ඉවත් කිරීම ඇතුළු සමස්ත පොල් සැකසුම් වටිනාකම් දාමය පුරාම නව තාක්ෂණික විසඳුම් සංවර්ධනය කිරීමට අපි කටයුතු කරමින් සිටිනවා. ඉංජිනේරු දැනුම, ස්වයංක්‍රීයකරණය සහ කෘත්‍රිම බුද්ධිය එකට ඒකාබද්ධ කරමින් ව්‍යාපාර මුහුණදෙන සංකීර්ණ ගැටලුවලට ප්‍රායෝගික විසඳුම් ඉදිරිපත් කිරීමට මම බලාපොරොත්තු වෙනවා. පර්යේෂණ හා සංවර්ධනය සඳහා අඛණ්ඩව ආයෝජනය කරමින්, ජාත්‍යන්තර හවුල්කරුවන් සමඟ

සමීපව කටයුතු කරමින් නව්‍ය තාක්ෂණයන් බිහිකිරීමට හැකි වීම පිළිබඳව මම ආඩම්බර වෙනවා.” යනුවෙන් සඳහන් කළේය.

1977 දී ආරම්භ කරන ලද ISF සමාගම, නිෂ්පාදන සමාගමක සිට කිරි, පොල්, ඖෂධ, රසායනික වැනි සැකසුම් කර්මාන්ත සඳහා සම්පූර්ණ තාක්ෂණික, ඉංජිනේරු, ස්වයංක්‍රීයකරණ සහ ක්‍රියාවලි විසඳුම් සපයන ආයතනයක් බවට පත්ව තිබේ.

“මෙය අලුත් ලෝකයක්. බටහිර තාක්ෂණික සමාගම් අය කරන පිරිවැයෙන් ඉතා සුළු ප්‍රමාණයකින්, ශ්‍රී ලංකාවේ සහ කලාපයේ ඇති සමාගම් ගෝලීය මට්ටමට පරිවර්තනය කිරීමට උපකාර කිරීම මගේ ඉලක්කයයි,” යනුවෙන් අංජුලා සිවකුමාරන් මහත්මිය වැඩිදුරටත් පැවසීය.




 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව