
- 2026 පළමු අර්ධයේදී 54.4% ක වර්ධනයක් සමඟින් සමූහය රුපියල් බිලියන 6.6 ක බදු පසු ලාභයක් වාර්තා කරයි.
- SLT PLC හි අර්ධ වාර්ෂික බදු පසු ලාභය 74.9% කින් ඉහළට
- බ්‍රෝඩ්බෑන්ඩ් සේවාවල ශක්තිමත් කාර්යසාධනය හේතුවෙන් Mobitel හි ආදායම 12.9% කින් ඉහළ ගොස් බදු පසු ලාභය 62 % කින් වර්ධනය වෙයි.
- 2025 දෙවන කාර්තුවට සාපේක්ෂව 2026 දෙවන කාර්තුවේදී බදු පසු ලාභයන් සමූහයේ 55.3% කින් ද, Mobitel හි 60.6% කින් ද, SLT PLC හි 97.2% කින් ද වශයෙන් ඉහළට
SLT සමූහය නැවතත් ශක්තිමත් කාර්යසාධනයක් වාර්තා කරමින්, 2025 පළමු අර්ධයේදී වාර්තා කළ රුපියල් බිලියන 4.3 බදු පසු ලාභයට සාපේක්ෂව 2026 පළමු අර්ධයේදී රු. බිලියන 6.6 ක ඒකාබද්ධ බදු පසු ලාභයක් වාර්තා කර තිබේ. මෙය ප්‍රතිශතයක් ලෙස 54.4% ක වර්ධනයකි. බ්‍රෝඩ්බෑන්ඩ් සහ ආයතනික සේවා සඳහා පැවති ඉහළ ඉල්ලුම හේතුවෙන්, රුපියලේ අගය අවප්‍රමාණය වීම සහ ඉන්ධන හා උපයෝගිතා සේවා මිලගණන් ඉහළ යාම නිසා ඇති වූ පිරිවැය පීඩනයේ බලපෑම අවම වී ඇත. ආදායමේ ද්වි-අංක (Double-digit) වර්ධනය මෙන්ම SLT PLC සහ Mobitel යන සමාගම්වල ලාභදායීත්වය කැපීපෙනෙන ලෙස ඉහළ යාම, 2026 පළමු කාර්තුවේදී නිරීක්ෂණය වූ වර්ධනීය ප්‍රවණතාව තවදුරටත් ශක්තිමත් කළේය.
ආදායමේ වර්ධනය හේතුවෙන් සමූහයේ ලාභදායීත්වය කැපීපෙනෙන ලෙස ඉහළට
2026 වසරේ පළමු අර්ධය තුළ සමූහයේ ආදායම රුපියල් මිලියන 61,314 ක් දක්වා ඉහළ ගිය අතර, එය 2025 පළමු අර්ධයේ වාර්තා වූ රුපියල් මිලියන 55,167 ට සාපේක්ෂව 11.1% ක වර්ධනයකි. SLT PLC සහ Mobitel හි බ්‍රෝඩ්බෑන්ඩ් පාරිභෝගික පදනම කැපීපෙනෙන වර්ධනය වීම මීට ප්‍රධාන වශයෙන් හේතු වූ අතර, එමඟින් සමූහයේ මෙහෙයුම් ඉපැයුම් ලාභය (EBITDA) 13.7% කින් ඉහළ ගොස් රුපියල් මිලියන 24,126 ක් ලෙස වාර්තා විය.
මෙහෙයුම් ලාභය රු. මිලියන 10,165 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, එය පෙර වසරේ වාර්තා වූ රු. මිලියන 7,551 ට සාපේක්ෂව 34.6% ක වර්ධනයකි. වසරේ පළමු අර්ධය තුළ බදු පෙර ලාභය 51.4% කින් ඉහළ ගොස් රු. මිලියන 8,555 ක් බවට පත් විය. සමූහයේ බදු පසු ලාභය රු. මිලියන 6,601 ක් වූ අතර, එය 2025 පළමු අර්ධයේදී වාර්තා වූ රු. මිලියන 4,276 ට සාපේක්ෂව 54.4% ක වර්ධනයකි. 2026 පළමු අර්ධය තුළ සමූහය විසින් ශ්‍රී ලංකා රජයට ලබාදෙන ලද දායකත්වය රු. මිලියන 18,559 ක් විය.
මෙම කාලසීමාව තුළ සමූහයේ මෙහෙයුම් පිරිවැය (ක්ෂයවීම සහ ක්‍රමක්ෂය හැර) 9.6% කින් ඉහළ ගොස් රුපියල් මිලියන 37,188 ක් ලෙස වාර්තා වී තිබේ. මෙම වියදම්වලින් බහුතරයක් බාහිර පිරිවැය පීඩනයන් හේතුවෙන් ඇති වූ අතර, ශ්‍රී ලංකා රුපියල 10% කින් පමණ අවප්‍රමාණය වීම, උද්ධමනය 6% ඉක්මවා යාම සහ විදුලි ගාස්තු හා ගෝලීය ඉන්ධන මිල ගණන්වල ඉහළ යාම වැනි සාධක හේතුවෙන් පිරිවැය ඉහළ ගියේය. විශේෂයෙන්ම ඩොලර් මත පදනම් වූ ආනයනිත උපකරණ සහ අලුත්වැඩියා කටයුතුවලට අවශ්‍ය ද්‍රව්‍ය සඳහා මෙම පිරිවැය ඉහළ යාම බලපා තිබේ.
මෙම මූල්‍ය ප්‍රතිඵල පිළිබඳව අදහස් දක්වමින් SLT සමූහයේ සභාපති ආචාර්ය මොතිලාල් ද සිල්වා මහතා මෙසේ පැවසීය: “2026 වසරේ පළමු අර්ධය SLT-MOBITEL හි ගමන්මඟේ තීරණාත්මක සන්ධිස්ථානයක් සනිටුහන් කරනවා. මෙම සාර්ථකත්වයට උරදුන් අපගේ කාර්ය මණ්ඩලයේ විශිෂ්ට කාර්යසාධනය වෙනුවෙන් මම ඔවුන්ට මගේ හෘදයාංගම ස්තුතිය පිරිනැමීමට කැමතියි. කාර්ය මණ්ඩලයේ සෑම සාමාජිකයෙකුම/සාමාජිකාවකම විශිෂ්ටත්වය උදෙසා ඉහළම කැපවීමක් පෙන්නුම් කර ඇති අතර, එමඟින් අපගේ ඉලක්ක අභිභවා යාමටත්, ක්ෂේත්‍රයට නව ආදර්ශ ලබාදීමටත් අපට හැකි වුණා. මෙම සාමූහික ජයග්‍රහණ පිළිබඳව අප සැබැවින්ම ආඩම්බර වනවා.”
ප්‍රධාන සේවාවන් SLT PLC හි වර්ධනයට දායක වෙයි
SLT PLC හි ආදායම 2025 පළමු අර්ධයේ වාර්තා කළ රුපියල් මිලියන 35,513 ට සාපේක්ෂව 2026 පළමු අර්ධයේදී 10.7% කින් ඉහළ ගොස් රුපියල් මිලියන 39,309 ක් ලෙස වාර්තා විය. මෙහිදී බ්‍රෝඩ්බෑන්ඩ් සේවාවන් නැවත වරක් කැපීපෙනෙන කාර්යසාධනයක් පෙන්නුම් කර තිබේ. ඊට සමගාමීව මෙහෙයුම් ඉපැයුම් ලාභය (EBITDA) ද 11.3% කින් ඉහළ ගොස් රුපියල් මිලියන 14,854 ක් ලෙස වාර්තා විය.
ලාභදායීත්වයේ වර්ධනයද කැපීපෙනෙන මට්ටමක පැවති අතර, මෙහෙයුම් ලාභය 39.8% කින් වර්ධනය වී රුපියල් මිලියන 6,663 ක් ලෙස වාර්තා විය. බදු පෙර ලාභය 66.5% කින් ඉහළ ගොස් රුපියල් මිලියන 6,127 ක් වූ අතර, බදු පසු ලාභය 2025 පළමු අර්ධයේ වාර්තා කළ රුපියල් මිලියන 2,647 ට සාපේක්ෂව 74.9% කින් ඉහළ ගොස් රුපියල් මිලියන 4,630 ක් විය. මෙහෙයුම් පිරිවැය (ක්ෂයවීම සහ ක්‍රමක්ෂය හැර) 10.3% කින් ඉහළ ගිය නමුත් සමාගමේ ආදායම් සහ ලාභ වර්ධනය ඊට වඩා ඉහළ මට්ටමක පැවතිණි. උද්ධමන පීඩනයන් මධ්‍යයේ වුවද පිරිවැය සාර්ථක ලෙස කළමනාකරණය කරගනිමින් ආදායම වර්ධනය කරගැනීමට සමාගම සමත් වී ඇති බව මෙම ප්‍රතිඵල මඟින් පැහැදිලි වේ.
SLT-MOBITEL හි ප්‍රධාන විධායක නිලධාරී රියාස් රෂීඩ් මහතා මෙසේ අදහස් දැක්වීය: “2026 වසරේ පළමු අර්ධයේ අපගේ කාර්යසාධනයට බ්‍රෝඩ්බෑන්ඩ් සේවා සඳහා පැවති ඉහළ ඉල්ලුම, Enterprise සහ Carrier කාණ්ඩවල ව්‍යාපාරවලින් ලැබුණු ශක්තිමත් දායකත්වය සහ Mobitel සමාගමේ අඛණ්ඩ වර්ධනය ප්‍රධාන වශයෙන් බලපා තිබෙනවා. 5G සහ FTTH සේවා ව්‍යාප්ත කිරීමේ කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මක කරන අතරම අප නිරන්තරයෙන් ආවධනය යොමුකරන්නේ, ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකයේ වර්ධනය සම්බන්ධයෙන් රජයේ ඉලක්කවලට සමගාමීව, රටේ ගනුදෙනුකරුවන්ටත් ව්‍යාපාරවලටත් දියුණුව සඳහා අවශ්‍ය සම්බන්ධතා සහ ඩිජිටල් පහසුකම් නොඅඩුව ලබාදීමටයි.”
Mobitel බ්‍රෝඩ්බෑන්ඩ් සේවාවන් සහ පාරිභෝගික පදනම තවදුරටත් පුළුල් වෙයි
2026 පළමු අර්ධයේදී Mobitel හි ආදායම 12.9% කින් ඉහළ ගොස් රුපියල් මිලියන 26,340 ක් ලෙස වාර්තා වූ අතර, එය පෙර වසරට සාපේක්ෂව රුපියල් මිලියන 3,007 ක වර්ධනයකි. බ්‍රෝඩ්බෑන්ඩ් සේවාවන්හි වර්ධනය මීට ප්‍රධාන වශයෙන් හේතු වී තිබේ.
මෙහෙයුම් ඉපැයුම් ලාභය (EBITDA) 16.9% කින් ඉහළ ගොස් රුපියල් මිලියන 8,739 ක් වූ අතර, මෙහෙයුම් ලාභය 30.3% කින් ඉහළ ගොස් රුපියල් මිලියන 2,595 ක් ලෙස වාර්තා විය. බදු පෙර ලාභය 60.5% කින් වර්ධනය වී රුපියල් මිලියන 2,086 ක් ලෙස වාර්තා වී ඇති අතර, බදු පසු ලාභය 62% කින් වර්ධනය වී රුපියල් මිලියන 1,724 ක් ලෙස වාර්තා වී තිබේ. 2025 දෙසැම්බර් මාසයේදී ලබාගත් 5G බලපත්‍ර ගාස්තු ඇතුළු ජාල පිරිවැය මෙන්ම ව්‍යාපාරයේ අනෙකුත් අංශ සම්බන්ධයෙන් වැය වූ වියදම් හේතුවෙන් මෙහෙයුම් පිරිවැය 11.0% කින් ඉහළ ගියේය.
රට පුරා ජනතාවට 5G සහ AI තාක්ෂණයන් හඳුන්වා දීම සඳහා පෙරමුණ ගනියි
5G තාක්ෂණය සහ කෘත්‍රිම බුද්ධිය (AI) අතර පවතින ප්‍රබල සමීපතාවන් හඳුනා ගනිමින්, SLT-MOBITEL Mobile සිය 5G ජාලය පුළුල් කිරීමේ කටයුතු තවදුරටත් වේගවත් කරමින් සිටී. ඒ හරහා පාරිභෝගිකයින්ට සහ ව්‍යාපාර සඳහා වඩාත් වේගවත් සේවාවක්, ඉහළ විශ්වාසනීයත්වයක් සහ ප්‍රශස්ත සම්බන්ධතා අත්දැකීමක් ලබා දෙන අතරම, කෘත්‍රිම බුද්ධිය මත පදනම් වූ ඩිජිටල් අනාගතයක් සඳහා අවශ්‍ය පදනමද සකස් කෙරේ. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම කෘත්‍රිම බුද්ධි වැඩසටහන වන ‘Sri Lanka AI Week 2026’ පැවැත්වීම සඳහා ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සමඟ එක්ව කටයුතු කිරීම මඟින්, එම තාක්ෂණය සම්බන්ධයෙන් සමූහය දක්වන උනන්දුව හා කැපවීම මැනැවින් පිළිබිඹු වේ. ඩිජිටල් තාක්ෂණික දියුණුව සම්බන්ධ ගෝලීය තරගයේදී ශ්‍රී ලාංකිකයින් තාක්ෂණික ප්‍රගතියේ ප්‍රතිඵල අහිමි වීමට ඉඩ නොදී, ඔවුන්ට අතිනවීන තාක්ෂණයන් මෙන්ම කෘත්‍රිම බුද්ධිය සතු පරිවර්තනීය හැකියාවන් අත්විඳීමට අවස්ථාව උදාකර දීම සමූහයේ අරමුණයි.
පළමු කාර්තුවේ ශක්තිමත් වර්ධන වේගය දෙවැනි කාර්තුවේදීත් අඛණ්ඩව එලෙසින්ම
පළමු කාර්තුවේ පැවති ශක්තිමත් වර්ධනයට සමාන ධනාත්මක ප්‍රවණතාවක් දෙවැනි කාර්තුවේදීද වාර්තා විය. සමූහයේ ආදායම 2025 දෙවැනි කාර්තුවට සාපේක්ෂව 11.7% කින් ඉහළ ගොස් රුපියල් මිලියන 30,517 ක් ලෙස වාර්තා වූ අතර, බ්‍රෝඩ්බෑන්ඩ් සේවාවන්හි අඛණ්ඩ වර්ධනය හේතුවෙන් Mobitel හි දෙවැනි කාර්තුවේ ආදායම 16.0% කින් වර්ධනය වී තිබේ. කාර්තුව සඳහා සමූහයේ මෙහෙයුම් ඉපැයුම් ලාභය (EBITDA) 10.9% කින් ඉහළ ගොස් රුපියල් මිලියන 11,960 ක් වූ අතර, මෙහෙයුම් ලාභය 30.4% කින් ඉහළ ගොස් රුපියල් මිලියන 5,033 ක් ලෙස වාර්තා විය.
සමාගම් මට්ටමින් ගත් විට විශේෂයෙන්ම SLT PLC හි දෙවැනි කාර්තුවේ කාර්යසාධනය බෙහෙවින් ශක්තිමත් වූ අතර, මෙහෙයුම් ඉපැයුම් ලාභය (EBITDA) 9.4% කින් ඉහළ ගොස් රුපියල් මිලියන 7,219 ක් ලෙස වාර්තා විය. මෙහෙයුම් ලාභය 44.1% කින් ඉහළ ගොස් රුපියල් මිලියන 3,212 ක් වූ අතර, බදු පෙර ලාභය 83.5% කින් ඉහළ ගොස් රුපියල් මිලියන 3,228 ක් ලෙස වාර්තා වී තිබේ. බදු පසු ලාභය 97.2% කින් ඉහළ ගොස් රුපියල් මිලියන 2,570 ක් වූ අතර, මෙහෙයුම් පිරිවැය (ක්ෂයවීම සහ ක්‍රමක්ෂය හැර) 11.6% කින් ඉහළ ගොස් ඇත. Mobitel හි දෙවැනි කාර්තුවේ මෙහෙයුම් ඉපැයුම් ලාභය (EBITDA) 11.8% කින් ඉහළ ගොස් රුපියල් මිලියන 4,369 ක් වූ අතර, මෙහෙයුම් ලාභය 11.7% කින් ඉහළ ගොස් රුපියල් මිලියන 1,266 ක් ලෙස වාර්තා විය. සමාගමේ බදු පෙර ලාභය 44.3% කින් ඉහළ ගොස් රුපියල් මිලියන 1,104 ක් වූ අතර, බදු පසු ලාභය 60.6% කින් වර්ධනය වී රුපියල් මිලියන 943 ක් ලෙස වාර්තා වී තිබේ. සමාගමේ මෙහෙයුම් පිරිවැය 18.0% කින් වර්ධනය වී ඇත.
දෙවැනි කාර්තුව සඳහා සමූහයේ බදු පසු ලාභය 55.3% කින් ඉහළ ගොස් රුපියල් මිලියන 3,533 ක් ලෙස වාර්තා වූ අතර, වසරේ පළමු මාස හය තුළ දක්නට ලැබුණු පිරිවැය පීඩනයන් හේතුවෙන් කාර්තුවේ මෙහෙයුම් වියදම් (ක්ෂයවීම සහ ක්‍රමක්ෂය හැර) 12.2% කින් ඉහළ ගොස් රුපියල් මිලියන 18,557 ක් ලෙස වාර්තා විය.


