
සෙලාන් බැංකුවේ බොරලැස්ගමුව ශාඛාව නව ස්ථානයක විවෘත කිරීම පසුගියදා සිදුකෙරිණි. ඒ අනුව දැන් එම ශාඛාව අංක 49/1, කොළඹ පාර, බොරලැස්ගමුව යන ස්ථානයේ පිහිටා තිබේ. ශාඛාව විවෘත කිරීමේ අවස්ථාවට සෙලාන් බැංකුවේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී රනිල් දිසානායක මහතා, ගනුදෙනුකරුවන්, ප්‍රදේශවාසීන් සහ බොරලැස්ගමුව ශාඛාවේ කාර්ය මණ්ඩලය ඇතුළු පිරිසක් සහභාගී වූහ. සෙලාන් බැංකුවේ 34 වැනි ශාඛාව ලෙස 1993 වසරේදී මුලින්ම ආරම්භ වූ මෙම ශාඛාව, එදා මෙදා තුර බොරලැස්ගමුව ප්‍රදේශයේ ජනතාවගේ දියුණුව වෙනුවෙන් කැපීපෙනෙන කාර්යභාරයක් ඉටු කර තිබේ.
බොරලැස්ගමුව ප්‍රදේශයේ ජනතාවගේ අවශ්‍යතා නිවැරදිව හඳුනාගනිමින්, ඔවුන්ට වැඩි පහසුවක් සමඟ වඩාත් උසස් සේවාවක් ලබාදීමේ අරමුණින් මෙම ශාඛාව මෙලෙස නව ස්ථානයක විවෘත කිරීමට පියවර ගන්නා ලදී. නව ශාඛා පරිශ්‍රය වඩාත් පහසුවෙන් ළඟා විය හැකි ස්ථානයක පිහිටා ඇති අතර, ගනුදෙනුකරුවන්ට වඩාත් කාර්යක්ෂම සේවාවක් ලබාදිය හැකි පරිදි අවශ්‍ය සියලු පහසුකම් එක්කර එය වැඩිදියුණු කර තිබේ.


