
සෙලාන් බැංකුව සහ John Keells CG Auto (පුද්.) සමාගම එක් වී ශ්‍රී ලංකාවේ නව බලශක්ති වාහන (New Energy Vehicles – NEVs) මිලදීගැනීමට බලාපොරොත්තු වන පාරිභෝගිකයන් වෙනුවෙන් විශේෂ ලීසිං පහසුකම් හඳුන්වා දී තිබේ. මෙය තිරසාර සහ පරිසර හිතකාමී ප්‍රවාහන විසඳුම් ප්‍රවර්ධනය කිරීම සඳහා සෙලාන් බැංකුව දරන උත්සාහයේ තවත් වැදගත් සන්ධිස්ථානයක් ලෙස හැඳින්විය හැක.
මෙම හවුල්කාරීත්වය යටතේ BYD සහ DENZA යන ප්‍රමුඛ පෙළේ NEV සන්නාමවලට අයත් රථවාහන සඳහා විශේෂ ලීසිං පහසුකම් පිරිනැමේ. එහිදී ගනුදෙනුකරුවන්ට තරගකාරී පොලී අනුපාත, කඩිනම් අනුමත කිරීමේ ක්‍රියාවලිය සහ දීපව්‍යාප්ත පාරිභෝගික සේවාවක් ඇතුළු ප්‍රතිලාභ රැසක් හිමි වනු ඇත. මෙය විදුලි වාහන මිලදීගැනීමට බලාපොරොත්තු වන ජනතාවට ඉමහත් සහනයක් වනු නිසැකය.
මෙම ලීසිං පහසුකම සඳහා වසර 7 ක් දක්වා ආපසු ගෙවීමේ කාලයක් හිමි වේ. නිසි සුදුසුකම් සපුරාලන පාරිභෝගිකයන්ට පැය 24 ක් ඇතුළත ලීසිං අනුමැතිය ලබාදීමට නියමිත අතර, මේ නිසා පාරිභෝගිකයන්ට වාහන මිලදී ගැනීමේ ක්‍රියාවලිය වඩාත් පහසු, කඩිනම් සහ ප්‍රසන්න අත්දැකීමක් බවට පත් වනු ඇත.
“ශ්‍රී ලංකාවට පාරිසරික වශයෙන් යහපත් හෙට දවසක් උරුම කර දීමට කැප වී සිටින බැංකුවක් වශයෙන්, පාරිභෝගිකයන්ට වඩාත් පහසුවෙන් විදුලි වාහන මිලදී ගැනීමට අවස්ථාව ලබාදීම සඳහා John Keells CG Auto සමඟ එක්ව කටයුතු කිරීමට හැකි වීම අපට මහත් සතුටක්. මෙම හවුල්කාරීත්වය හරහා පාරිභෝගිකයන්ට වඩාත් නම්‍යශීලී සහ පහසු ලීසිං විසඳුම් ලබාදීම අපගේ අරමුණයි. ඒ ඔස්සේ නව බලශක්ති රථවාහන හිමිකාරීත්වය පහසු කරන අතරම, පරිසර හිතකාමී ප්‍රවාහන ක්‍රමවේද ප්‍රවර්ධනය කිරීමටද අපට හැකියාව ලැබේවි.” සෙලාන් බැංකුවේ සහකාර සාමාන්‍යාධිකාරී (අලෙවි හා විකුණුම්) ආසිරි අභයරත්න මහතා පැවසීය.
“ශ්‍රී ලංකාවේ නව බලශක්ති රථවාහන භාවිතය තවදුරටත් පුළුල් කිරීම සඳහා සෙලාන් බැංකුව සමඟ එක්ව කටයුතු කිරීමට හැකි වීම පිළිබඳව අප බෙහෙවින් සතුටු වනවා. මෙම හවුල්කාරීත්වය ඔස්සේ ආකර්ෂණීය ලීසිං විසඳුම් සහ විශිෂ්ට පාරිභෝගික සේවාවක් ලබාදෙන අතරම, වාහන මිලදී ගැනීමේ සමස්ත ක්‍රියාවලිය වඩාත් පහසු හා කාර්යක්ෂම අත්දැකීමක් බවට පත්කිරීමට අපට හැකි වේවි.” John Keells CG Auto හි ප්‍රධාන විධායක නිලධාරී චරිත් පණ්ඩිතරත්න මහතා එසේ අදහස් දැක්වීය.
මෙම ලීසිං පහසුකම යටතේ තරගකාරී ලීසිං පොලී අනුපාතවලට අමතරව ලිපිලේඛන සේවා ගාස්තු සඳහා 50% ක වට්ටමක්ද හිමි වේ. මීට අමතරව සෙලාන් බැංකුවේ විශේෂඥ ලීසිං නිලධාරීන් මෙම ක්‍රියාවලිය පුරාම පාරිභෝගිකයන් වෙතටම පැමිණ, ලිපිලේඛන කටයුතු සඳහා මෙන්ම ලීසිං අනුමැතිය හිමිවීමෙන් පසු ක්‍රියාවලිය සඳහා අවශ්‍ය උපදෙස් හා සහය ලබාදීමට සූදානමින් සිටිති.
දිවයින පුරා විහිදුණු පුළුල් ශාඛා ජාලය සහ පාරිභෝගික කේන්ද්‍රීය ප්‍රවේශය සමඟින් සෙලාන් බැංකුව ජනතාවට වඩාත් පහසුවෙන් මූල්‍ය පහසුකම් ලබාගැනීමට අවස්ථාව උදා කර දෙන අතරම, පරිසර හිතකාමී අනාගතයක් වෙනුවෙන් ක්‍රියාවට නංවනු ලබන වැඩසටහන් සඳහා දිගින් දිගටම සිය උපරිම සහයෝගය ලබාදෙමින් සිටී.
වැඩිදුර තොරතුරු සඳහා 011 200 88 88 ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ සෙලාන් බැංකුව අමතන්න.


