කාර්යක්ෂමතාව, විනිවිදභාවය සහ වගවීම ඉහළ නැංවීම සඳහා අධිකරණ අමාත්‍යාංශය කළමනාකරණ තොරතුරු පද්ධතියක් (MIS) හඳුන්වා දෙයි

MOJ MIS launch 1 (LBN)

යුරෝපා සංගමයේ මූල්‍ය ආධාර ලබන JURE ව්‍යාපෘතියේ සහය ඇතිව අධිකරණ ක්ෂේත්‍රයේ ප්‍රධාන තනතුරු පත් කිරීමේ ක්‍රියාවලියට විනිවිදභාවය එක් වෙයි

2026 මාර්තු 31, කොළඹ, ශ්‍රී ලංකාව: ශ්‍රී ලංකාවේ අධිකරණ ක්ෂේත්‍රය නවීකරණය කිරීමටත්, ආයතනික කාර්යක්ෂමතාව, විනිවිදභාවය සහ වගවීම ශක්තිමත් කිරීමටත් ගනු ලබන අඛණ්ඩ උත්සාහයේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය සිය නව කළමනාකරණ තොරතුරු පද්ධතිය (MIS) සහ නවීකරණය කරන ලද වෙබ් අඩවිය අද නිල වශයෙන් දියත් කළේය.




මෙම කළමනාකරණ තොරතුරු පද්ධතිය (MIS), යුරෝපා සංගමයේ මූල්‍ය ආධාර ඇතිව, අධිකරණ අමාත්‍යාංශය සමඟ අත්වැල් බැඳගනිමින්, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) සහ යුනිසෙෆ් (UNICEF) ශ්‍රී ලංකා ආයතනය මගින් ක්‍රියාත්මක කරනු ලබන ‘යුක්තිය සඳහා සහාය ව්‍යාපෘතියේ’ (JURE) මූලිකත්වයෙන් සංවර්ධනය කරන ලද්දකි. අධිකරණ ක්ෂේත්‍රය තුළ ඩිජිටල් පරිවර්තනයක් ඇති කිරීම සඳහා JURE ව්‍යාපෘතිය ලබා දෙන පුළුල් සහයෝගයේ කොටසක් ලෙස, අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය යාවත්කාලීන කිරීමට ලබා දුන් සහාය ද මෙයට ඇතුළත් වේ.

අලුතින් හඳුන්වා දෙන ලද මෙම පද්ධතිය සැලසුම් කර ඇත්තේ දිවුරුම් කොමසාරිස්වරුන්, හදිසි මරණ පරීක්ෂකවරුන්, සාම විනිසුරුවරුන්, නිල නොවන මහේස්ත්‍රාත්වරුන් සහ දිවුරුම් දුන් පරිවර්තකයන් වැනි අධිකරණ ක්ෂේත්‍රයේ ප්‍රධාන තනතුරු සඳහා පුද්ගලයන් පත් කිරීමේ ක්‍රියාවලිය වඩාත් විධිමත් හා වෘත්තීය මට්ටමකට පත් කිරීම සඳහා ය. ව්‍යුහාත්මක ක්‍රමවේද සහ දියුණු තේරීම් නිර්ණායක හඳුන්වා දීම හරහා, මෙම පද්ධතිය මගින් පත් කිරීම්වල විනිවිදභාවය සහ විශ්වසනීයත්වය ඉහළ නංවන අතරම, පරිපාලනමය ප්‍රමාදයන් සහ අක්‍රමිකතා ද අවම කරනු ලබයි.

එමෙන්ම මෙම පද්ධතිය මගින් අධිකරණ අමාත්‍යාංශය තුළ දත්ත කළමනාකරණය ශක්තිමත් කරන අතර, වඩාත් කාර්යක්ෂම ලෙස වාර්තා තබා ගැනීමටත්, තොරතුරු හුවමාරුව සහ ආයතන අතර සම්බන්ධීකරණය වැඩිදියුණු කිරීමටත් ඉඩ සලසයි. මෙම දත්ත මත පදනම් වූ ප්‍රවේශය වඩාත් නිවැරදි තීරණ ගැනීමට මෙන්ම වඩාත් කඩිනම් සහ ඵලදායී සේවාවක් ජනතාවට ලබා දීමට ද උපකාරී වේ.

නවීකරණය කරන ලද වෙබ් අඩවිය මගින් ‘පුරවැසි සේවා තොරතුරු ද්වාරයක්’ හඳුන්වා දී ඇති අතර, එමගින් පහසුවෙන් ලබාගත හැකි අත්‍යවශ්‍ය අධිකරණ සේවාවන් රැසක් පිළිබඳව පැහැදිලි සහ පරිශීලක-හිතකාමී තොරතුරු මහජනතාවට ලබා දීමට සැලසුම් කර ඇත. මෙම ද්වාරය හරහා පරිශීලකයින්ට නීති ආධාර, සමථකරණය, බේරුම්කරණය, ණය සමථකරණය මෙන්ම වින්දිතයන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ සේවාවන්ට අදාළ තොරතුරු පහසුවෙන් සොයාගත හැකිය. එමගින් සහන ලබා ගැනීමේ ක්‍රමවේද පිළිබඳව දැනුවත්භාවය ඉහළ නැංවෙන අතර එම සේවාවන් ලබා ගැනීම ද වඩාත් පහසු කෙරේ.

මීට අමතරව, වෙබ් අඩවියේ JURE ව්‍යාපෘතියේ ප්‍රධාන සන්නිවේදන ප්‍රචාරක වැඩසටහනක් වන “Know Your Neethi” නීති අධ්‍යාපනික වීඩියෝ මාලාව සඳහා වෙන් වූ පිටුවක් ද ඇතුළත් වන අතර, එය මහජනතාවගේ නීතිමය සාක්ෂරතාව ඉහළ නැංවීම අරමුණු කරගත් අතිශය වැදගත් පියවරකි. සංකීර්ණ නීතිමය සංකල්ප සරල කර ජනතාව අතරට ගෙන යාම ඉලක්ක කරගත් මෙම සුවිශේෂී පියවර මගින්, පුරවැසියන්ට නීතිය යටතේ පවතින තමන්ගේ අයිතිවාසිකම් සහ වගකීම් වඩාත් හොඳින් අවබෝධ කර ගැනීමට අවශ්‍ය දැනුමෙන් ඔවුන් සන්නද්ධ කරනු ලබයි.

මෙම සමාරම්භක අවස්ථාවට එක්වූ අධිකරණ අමාත්‍යාංශයේ, යුරෝපා සංගමයේ සහ UNDP හි නියෝජිතයන් පාලනය ශක්තිමත් කිරීමට සහ යුක්තිය ඉටු කිරීමේ ක්‍රියාවලියට ජනතාවට ඇති ප්‍රවේශය වැඩිදියුණු කිරීමට ඩිජිටල් පරිවර්තනයේ ඇති වැදගත්කම අවධාරණය කළහ. ශ්‍රී ලංකාව තුළ වඩාත් විනිවිදභාවයෙන් යුතු, වගවීමක් සහිත සහ ජනතාව කේන්ද්‍ර කරගත් අධිකරණ පද්ධතියක් ගොඩනැගීම සඳහා මෙම කළමනාකරණ තොරතුරු පද්ධතිය සහ යාවත්කාලීන කළ වෙබ් අඩවිය තීරණාත්මක පියවරක් බව ඔවුන් පෙන්වා දුන්හ.



ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

twelve + 16 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව