CIC Holdings 2026/27 පළමු අර්ධයේදී බදු පසු ලාභය 16.7%කින් රු. බිලියන 3.79 දක්වා වර්ධනය කරගනිමින් ශක්තිමත් මූල්‍ය කාර්යසාධනයක් වාර්තා කරයි

CIC Holdings (LBN)

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමාගම් සමූහයක් වන CIC Holdings, 2026/27 මූල්‍ය වර්ෂයේ පළමු අර්ධය සඳහා රු- බිලියන 42.91ක ඒකාබද්ධ ආදායමක් වාර්තා කර ඇත. අදාල මූල්‍ය වර්ෂයේ දෙවන කාර්තුවේ සිට තෙවන කාර්තුව දක්වා කෘෂි අංශයේ ව්‍යාපාරික කටයුතු වෙනස් වීමේ පසුබිමක් තුළ වුවද, සමූහය 3.06%ක ස්ථාවර ආදායම් වර්ධනයක් පවත්වා ගැනීමට සමත්ව තිබේ. ඒ අනුව, පසුගිය වසරේ එම කාල සීමාවේ වාර්තා කළ රු. බිලියන 3.25ට සාපේක්ෂව සමූහයේ බදු පසු ලාභය (PAT) 16.72%කින් ඉහළ ගොස් රු. බිලියන 3.79ක් දක්වා ශක්තිමත් ලෙස වර්ධනය වී ඇත. සාර්ථක මෙහෙයුම් ක්‍රියාකාරිත්වය, ලාභ ආන්තිකයන් වර්ධනය වීම මෙන්ම කොටස් ගිණුම්ගත ආයෝජන ආයතනවලින් (equity-accounted investees) ලැබුණු ඉහළ ඉපැයීම් සමූහයේ මෙම සාර්ථකත්වයට හේතු වී තිබේ.




CIC සමූහයේ මෙහෙයුම් ලාභය (EBIT) පසුගිය වසරට සාපේක්ෂව 2.65%කින් වර්ධනය වී රු. බිලියන 5.86ක් වූ අතර, බදු පෙර ලාභය (PBT) පසුගිය වසරට සාපේක්ෂව 8.26%කින් ඉහළ ගොස් රු. බිලියන 5.35ක් විය. සමාලෝචනයට ලක් කරන ලද අදාල කාල සීමාව තුළ සමූහයේ ප්‍රධානතම ආදායම් අංශය ලෙස කෘෂි විසඳුම් අංශය (Agri Solutions) තවදුරටත් සිය ස්ථානය තහවුරු කර ගත් අතර එය එම අංශයේ සමස්ත දළ ආදායමෙන් 40.18%ක පමණ ප්‍රමාණයක් නියෝජනය කරයි. එමෙන්ම, සත්ව නිෂ්පාදන විසඳුම් (Livestock Solutions) සහ සුව සේවා හා පුද්ගලික සත්කාර යන අංශ පිළිවෙලින් 24.29%ක සහ 23.08%ක පමණ දායකත්වයක් ලබා දුන් අතර, කාර්මික විසඳුම් අංශය (Industrial Solutions) සමස්ත දළ ආදායමෙන් 12.45%ක් නියෝජනය කළේය.

විධිමත් මිලකරණ උපායමාර්ග සහ මෙහෙයුම් කාර්යක්ෂමතාවයේ සහාය ඇතිව දළ ලාභය රු. බිලියන 11.69ක් දක්වා ඉහළ ගියේය. එය පසුගිය වසරට සාපේක්ෂව 4.36%ක වර්ධනයකි. දළ ලාභාන්තිකය ද 27.25%ක් දක්වා වර්ධනය වී ඇති අතර, එමඟින් සමූහයේ ලාභදායීත්වය ශක්තිමත්ව පවත්වා ගැනීමේ හැකියාව මනාව පෙන්නුම් කරයි. වර්ෂාපතනය ප්‍රමාද වීම හේතුවෙන් වගා කන්නය ප්‍රමාද වුවද, සාමාන්‍යයෙන් අඩු ක්‍රියාකාරීත්වයක් පවතින සමූහයේ දෙවන කාර්තුවේදී මෙවැනි ශක්තිමත් කාර්යසාධනයක් වාර්තා කිරීමට හැකි වීම විශේෂත්වයකි. මෙය CIC සමූහයේ ස්ථාවර මෙහෙයුම් ක්‍රියාවලිය සහ විවිධාංගීකරණය වූ ආදායම් ශක්තිය මනාව පෙන්නුම් කරයි.

සමාලෝචනයට ලක් කරන ලද කාල සීමාවේ සමූහයේ සියලුම ප්‍රධාන මෙහෙයුම් අංශ ශක්තිමත් මූල්‍ය ප්‍රතිඵල වාර්තා කිරීමට සමත්ව ඇත. ඒ අනුව ඉහළ ආදායම් වර්ධනයක් වාර්තා කළ කාර්මික විසඳුම් අංශයේ ආදායම 34.91%කින් ඉහළ ගොස් රු. බිලියන 5.43ක් විය. සත්ව නිෂ්පාදන විසඳුම් අංශය 11.87%ක ආදායම් වර්ධනයක් සමඟින් රු. බිලියන 10.59ක ආදායමක් වාර්තා කර ඇති අතර සුව සේවා හා පුද්ගලික සත්කාර අංශයේ ආදායම 6.40%කින් ඉහළ ගොස් රු. බිලියන 10.05ක් වී ඇත. මේ අතර කෘෂි විසඳුම් අංශය සමූහයේ සමස්ත අංශවල ආදායමට රු. බිලියන 17.51කින් දායක විය.

ලාභදායීත්වය සැලකීමේදී, සත්ව නිෂ්පාදන විසඳුම් අංශය පසුගිය වසරට සාපේක්ෂව 30.86%ක ශක්තිමත් ලාභ වර්ධනයක් වාර්තා කරමින් රු. බිලියන 1.52ක් වාර්තා කර ඇති අතර, කාර්මික විසඳුම් අංශය පසුගිය වසරට සාපේක්ෂව ලාභය 47.37%කින් රුපියල් බිලියන 1.02ක් දක්වා වර්ධනය කරගෙන ඇත. සුව සේවා හා පුද්ගලික සත්කාර අංශය පසුගිය වසරට සාපේක්ෂව සිය ලාභය 10.02%කින් වර්ධනය කරගනිමින් රු. බිලියන 1.43ක් වාර්තා කළ අතර, කෘෂි විසඳුම් අංශය පසුගිය වසරට සාපේක්ෂව රු. බිලියන 1.63ක ලාභයක් වාර්තා කර ඇත. සමස්තයක් ලෙස, සමූහයේ ප්‍රධාන ව්‍යාපාරික අංශ මඟින් රු. බිලියන 5.60 ක සමස්ත ලාභයක් වාර්තා කර ඇති අතර, එය පසුගිය වසරට සාපේක්ෂව 3.85% ක වර්ධනයකි. ක්‍ෂක්‍ සමූහයේ සියලුම ප්‍රධාන මෙහෙයුම් අංශ හරහා ශක්තිමත් සහ ස්ථාවර ආදායම් වර්ධනයක් පවත්වා ගැනීමට සමත්ව ඇති බව මෙමඟින් තවදුරටත් තහවුරු වේ.

කොටස් බෙදීමෙන් පසු, සමූහයේ මූලික කොටසකට ලැබෙන ඉපැයීම් (EPS) රු. 1.37 සිට රු. 1.67 දක්වා ඉහළ ගොස් තිබේ. කොටස් හිමියන්ට හිමි වන ශුද්ධ ලාභය ඉහළ යාමට සාපේක්ෂව වාර්තා වූ මෙම අගය, පසුගිය වසරට සාපේක්ෂව 21.90%ක කැපී පෙනෙන වර්ධනයකි. සමූහයේ ශේෂ පත්‍රය සැලකිය යුතු ලෙස වර්ධනය වීමත් සමඟ 2025/26 මූල්‍ය වර්ෂයේ පළමු අර්ධයේදී රු. බිලියන 98.63ක්ව පැවති සමූහයේ සමස්ත වත්කම් ප්‍රමාණය රු. බිලියන 108.58ක් දක්වා වර්ධනය වීම විශේෂයෙන් කැපී පෙනේ. එමෙන්ම සමූහයේ මුළු හිමිකම් ප්‍රමාණය ද රු. බිලියන 56.46ක් දක්වා ශක්තිමත් වී ඇත.

මෙම මූල්‍ය ප්‍රතිඵල පිළිබඳව අදහස් දක්වමින් CIC Holdings සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී අරෝෂන් සේරසිංහ මහතා පැවසුවේ “මෙම මූල්‍ය ප්‍රතිඵල තුළින් අපගේ ව්‍යාපාරික ආකෘතිය සතු ශක්තිය මෙන්ම ප්‍රධාන අංශ පුරා විහිදුණු අපගේ කණ්ඩායම්වල ඉලක්කගත කැපවීම මැනවින් පෙන්නුම් කරනවාග කෘෂි, සුව සේවා, සත්ව නිෂ්පාදන සහ කාර්මික විසඳුම් යන අපගේ ප්‍රධාන මෙහෙයුම් අංශ තවදුරටත් ශක්තිමත් කිරීම තුළින්, අභියෝගාත්මක ආර්ථික තත්ත්වයන් හමුවේ වුවද ශක්තිමත් ලාභදායීත්වයක් සහ ලාභාන්තිකයේ විධිමත් පාලනයක් පවත්වා ගැනීමට අපට හැකි වී තිබෙනවා. අත්‍යවශ්‍ය සැපයුම් දාමයන් අඛණ්ඩව පවත්වාගෙන යාම, ඉහළ වටිනාකමක් සහිත නිෂ්පාදන පරාසය පුළුල් කිරීම සහ ජනතාවගේ ජීවනෝපායන් නඟා සිටුවීම සඳහා අපි ස්ථිරවම කැපවී සිටිනවා. මෙම මූල්‍ය වර්ෂයේ දෙවන අර්ධයේදී ද විශිෂ්ට මෙහෙයුම් ක්‍රියාකාරීත්වයක් තුළින් තිරසාර වර්ධනයක් අත්කර ගැනීමටත්, සියලු පාර්ශ්වකරුවන් වෙත දිගුකාලීන ප්‍රතිලාභ ලබා දීමටත් කටයුතු කිරීම අපගේ අරමුණයි.” යනුවෙනි.



ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව