ප්‍රථම ශ්‍රී ලාංකික මහජන සබඳතා සමුළුව සඳහා ‘Mark and Comm’ වෙතින් ප්ලැටිනම් අනුග්‍රාහකත්වය ලබාදෙයි

Capture

​Campaign Asia-Pacific’s Agency of the Year සම්මාන උළෙලේදී, Rest of South Asia PR Agency of the Year සම්මානයෙන් පිදුම් ලැබූ  ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මහජන සබඳතා සහ සන්නිවේදන ආයතනයක් වන Mark and Comm සමාගම, පසුගිය දා කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යයන අංශය මගින් සංවිධානය කරනු ලැබූ ජාතික මහජන සබඳතා හා මාධ්‍ය කළමනාකරණ  සමුළුවේ  ප්ලැටිනම් අනුග්‍රාහකයා ලෙස කටයුතු කළේය.




මෙම සමුළුව සඳහා විද්වතුන්, වෘත්තිකයන්, මාධ්‍යවේදීන් ඇතුළු රාජ්‍ය හා පෞද්ගලික සන්නිවේදන ක්ෂේත්‍රයේ නියෝජිතයින් රැසක් සහභාගී විය. සමුළුවේදී මහජන සම්බන්ධතා ක්ෂේත්‍රයේ න්‍යායාත්මක පැතිකඩ සහ වෘත්තීමය පැතිකඩහි වත්මන් තත්ත්වය පිළිබඳව විමසුමට ලක් කෙරුණි. ශ්‍රී ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය තුළ ප්‍රථම වරට කැලණිය විශ්වවිද්‍යාලය විසින් මහජන සබඳතා සහ මාධ්‍ය කළමනාකරණය අධ්‍යයන විෂයක් ලෙස හඳුන්වා දී වසර දහයක් සපිරීම නිමිත්තෙන් මෙය සංවිධානය කොට තිබුණි.

Mark and Comm ආයතනය පසුගිය වසර කිහිපය පුරාම අවධාරණය කළේ,පටු අදහස්වලට සීමා වීමෙන් පමණක් මෙරට මහජන සම්බන්ධතා ක්ෂේත්‍රය ශක්තිමත් කිරීමට නොහැකි බවයි. ලොව විශාලතම මහජන සම්බන්ධතා සංගමය වන PRCA නියෝජනය කරමින් ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මහජන සම්බන්ධතා ක්ෂේත්‍රය සමඟ සම්බන්ධ කිරීමට පුරෝගාමී වූ එම ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ තන්සිල් තාජුඩීන් මහතා විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යයන අංශ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය මනෝජ් ජිනදාස මහතාගේ ආරාධනයකට අනුව මෙම අවස්ථාවට එක්ව අදහස් පල කළේය.

​CIPR හි සාමාජිකයෙකු සහ වරලත් මහජන සම්බන්ධතා වෘත්තිකයෙකු වන තාජුඩීන් මහතා, PRCA APAC අධ්‍යක්ෂ මණ්ඩලයේ සහ CIPR ජාත්‍යන්තර කමිටුවේ මෙන්ම PRCA කවුන්සිලයේ සහ CIPR වෘත්තීය ප්‍රමිති කමිටුවේ ද සාමාජිකත්වය දරන අතර ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ මහජන සම්බන්ධතා ආයතන ප්‍රධානියෙකු වේ.

මහජන සම්බන්ධතා ක්ෂේත්‍රයේ අනාගතය පිළිබඳව අභියෝගාත්මක ප්‍රශ්නයක් මතු කරමින්, එම ක්ෂේත්‍රයේ  සැබෑ අර්ථ නිරූපණය සහ එහි වලංගුභාවය පිළිබඳව ඔහු සිය දේශනය තුළින් විග්‍රහ කළේය.  Muck Rack හි ‘Generative Pulse’ වාර්තාවට අනුව, වර්තමාන AI විශ්ලේෂණයන් පෙන්වා දෙන පරිදි, පුවත්වලින් 80%කට වැඩි ප්‍රමාණයක් මාධ්‍ය වාර්තා හරහා උපුටා දක්වන අතර, මුදල් ගෙවා පළකරන දැන්වීම්වලට හිමිවන්නේ 0.3%ක වැනි ඉතා අඩු ප්‍රතිශතයකි. මෙමගින් මාධ්‍යවේදීන්ගේ අවධානය දිනාගන්නා උසස් තත්ත්වයේ ප්‍රවෘත්තිවලට ඇති වටිනාකම කෙතරම් දැයි පැහැදිලි වේ. එමනිසා, මහජන සම්බන්ධතා ක්ෂේත්‍රය අද වන විට හුදෙක් මුදල් මත පදනම් වූ ප්‍රචාරණයන්ට වඩා, දත්ත මත පදනම් වූ උපායමාර්ගික සන්නිවේදන කලාවක් බවට පරිවර්තනය වී තිබෙන බව ඔහු පෙන්වා දෙයි.

​මේ වසරේ මුලදී ප්‍රකාශයට පත් කරන ලද Burson හි ‘Global Reputation Economy’ වාර්තාව  උපුටා දක්වමින් ඔහු කියා සිටියේ, ලැයිස්තුගත සමාගම්වල ආයතනික ප්‍රතිරූපය සතු මූල්‍ය වටිනාකම ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 7.07ක් ලෙස තක්සේරු කර ඇති බවයි.  ශක්තිමත් කීර්ති නාමයක් පවත්වා ගන්නා සමාගම්වලට 5%කට ආසන්න අතිරේක වාර්ෂික කොටස් හිමියන්ගේ ප්‍රතිලාභ හිමිවන බව කියා සිටි ඔහු කීර්ති නාමය යනු මෘදු මිණුම් දණ්ඩක් නොවන බවත් එය මිලක් සහිත දෘශ්‍යමාන වත්කමක් බවත් පෙන්වා දුනි.එමෙන්ම මහජන සම්බන්ධතා ක්ෂේත්‍රය අවසන් වී ඇතැයි යමෙකු සිතන්නේ නම්, එහි වටිනාකම තවමත් ශේෂ පත්‍රවල ජීවමානව පවතින බව ද තාජුඩීන් මහතා පැවසීය.

​PRCA APAC සමඟ සම්බන්ධ වෙමින් වාර්ෂික ආයතනික සමීක්ෂණ සහ දේශීය මෙන්ම ආසියානු කලාපීය මහජන සම්බන්ධතා ප්‍රවීණයින් සමඟ එක්ව වෙබිනාර් පැවැත් වූ ශ්‍රී ලංකාවේ පළමු මහජන සම්බන්ධතා ආයතනය ‘Mark and Comm’ වේ. පසුගිය වසරේ ජනමාධ්‍ය අමාත්‍යාංශය වෙත නිල වශයෙන් පිළිගන්වන ලද ‘State of Journalism Report’  වාර්තාව හරහා මාධ්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් පෙනී සිටි පළමු ආයතනය ද ඔවුන් වීම විශේෂත්වයකි. මෙවැනි පසුබිමක සමුළුව අමතමින් තාජුඩීන් මහතා අවධාරණය කළේ, මාධ්‍යවේදීන්ට කිසිදු සහයෝගයක් නොදී, අප මාධ්‍ය ක්ෂේත්‍රයේ සම්පත් පමණක් පරිභෝජනය කරන බවයි. ස්වාධීන මාධ්‍ය කලාවක් නොමැති සමාජයක වටපිටාවක මහජන සම්බන්ධතා ක්ෂේත්‍රයේ පැවැත්ම ද අභියෝගයට ලක්වන බව ඔහු මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

මෙලෙස ​දේශීය මහජන සම්බන්ධතා ක්ෂේත්‍රයේ වත්මන් තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින් ඔහු කියා සිටියේ සේවාදායකයින් තවමත් බොහෝ අවස්ථාවල උපායමාර්ගික සන්නිවේදන උපදෙස් ලබාගැනීමට වඩා  ප්‍රවෘත්ති ආවරණයට වැඩි අවධානයක් යොමු කරන බවයි. අර්බුද කළමනාකරණයේදී සැලසුම් සකස් කර තිබුණද, ඒවා බොහෝවිට ලේඛනවලට පමණක් සීමා වූ අතර සැබෑ අවස්ථාවන්වල ඒවා ක්‍රියාත්මක වන විට දි එහි අඩුපාඩු පවතින බව ද ඔහු පෙන්වා දුනි. එමෙන්ම විශ්වවිද්‍යාල උපාධිධාරීන් පුහුණු කරනු ලබන්නේ මාධ්‍ය නිවේදන ලිවීමට මිස, ප්‍රධාන විධායක නිලධාරියෙකු හට උපදෙස් ලබා දීමට නොවන බව ඔහු සඳහන් කළේය . තවද ජාත්‍යන්තර දත්ත අනුව ආයතනික කීර්ති නාමය සහ උපායමාර්ගික උපදේශනය ලොව වේගයෙන්ම වර්ධනය වන ක්ෂේත්‍රයන් වුවද, ලංකාවේ මහජන සම්බන්ධතා ආයතන තරඟ කරනුයේ මිල ගණන් මත මිස උපායමාර්ගික තීන්දු තීරණ මත නොවන බවත් ඔහු කියා සිටියි.

ඒ අනුව, සමුළුවට සහභාගී වූ පිරිස වෙත ඔහු සිය පණිවිඩය පැහැදිලිව ඉදිරිපත් කළේය. මහජන සම්බන්ධතා ක්ෂේත්‍රයේ සාමාන්‍ය හා මූලික කාර්යයන් රැසක් මේ වන විටත් ස්වයංක්‍රීයකරණය වෙමින් පවතින නමුත්, මාධ්‍යවේදීන් සමඟ දිගුකාලීන විශ්වාසදායක සබඳතා ගොඩනැගීම, සේවාදායකයන් මුහුණ දෙන අභියෝග සහ අවස්ථා නිවැරදිව හඳුනා ගනිමින් තීරණ ගැනීමට පෙර නායකත්වයට නිවැරදි මඟපෙන්වීමක් ලබාදීම වැනි කුසලතා තවමත් මිනිස් බුද්ධිය සහ අත්දැකීම් මත රඳා පවතින බව ඔහු පෙන්වා දුනි .එබැවින් මහජන සම්බන්ධතා අධ්‍යාපනය මඟින් සිසුන් හට වඩාත් අවධාරණයෙන් ඉගැන්විය යුත්තේ මෙම මානව කුසලතා පිළිබඳව බව ඔහු වැඩිදුරටත් කියා සිටියි.



ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව