
ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තශාලාවකට විදේශීය ගැනුම්කරුවකුගෙන් ලැබෙන ඇණවුමක් නියමිත දිනට සම්පූර්ණ කිරීම සඳහා කර්මාන්තශාලාව තුළ ඇති කාර්යක්ෂමතාව පමණක් ප්‍රමාණවත් නොවේ. රෙදි, ඇඟලුම් ආශ්‍රිත මෙවලම්, ලාංඡන, ලේබල් සහ අනෙකුත් අමුද්‍රව්‍ය නිසි වේලාවට කර්මාන්තශාලාවට ලැබිය යුතුය. නිෂ්පාදනය අවසන් වූ පසු නිමි ඇඳුම්ද ගැනුම්කරු නියම කළ කාලයට වරායෙන් හෝ ගුවන් මගින් පිට කළ යුතුය.
ජාත්‍යන්තර ගැනුම්කරුවකුට වැදගත් වන්නේ ඇණවුම පොරොන්දු වූ දිනට ලැබීමය. ශ්‍රී ලංකාව තුළ අනුමැතියකට, ලේඛනයකට හෝ භාණ්ඩ නිෂ්කාශනයකට අමතර දින කිහිපයක් වැයවීම ගැනුම්කරුගේ බෙදාහැරීමේ කාලසටහන වෙනස් කිරීමට හේතුවක් නොවේ. ඒ නිසා අද ඇඟලුම් අපනයන තරගකාරීත්වය තීරණය වන්නේ වැටුප්, විදුලි ගාස්තු, නිෂ්පාදන ඵලදායීතාව සහ විදේශීය තීරුබදු මත පමණක් නොවේ. වරාය සහ රාජ්‍ය නියාමන පද්ධතිය තුළ ගතවන කාලයද අවසානයේ අපනයන පිරිවැයේ කොටසක් බවට පත්වේ.
අභ්‍යන්තර බාධක
ශ්‍රී ලංකාවේ අපනයන ප්‍රතිපත්ති සාකච්ඡාව බොහෝවිට නව නිදහස් වෙළෙඳ ගිවිසුම්, GSP+, විදේශීය තීරුබදු සහ නව වෙළෙඳපොළ ප්‍රවේශය වටා ගොඩනැගේ. ඒ සියල්ල වැදගත්ය. එහෙත් ඒ සමඟම තවත් මූලික ප්‍රශ්නයක් ඇසිය යුතුය.
අපේම රට තුළ පවතින දේශසීමා ක්‍රියාපටිපාටි ( Border Procedures ) අපනයනකරුවාට කොපමණ අමතර කාලයක්, වියදමක් සහ අවිනිශ්චිතතාවක් ඇති කරනවාද?
මෙය ඇඟලුම් කර්මාන්තයට පමණක් සීමා වූ ප්‍රශ්නයක් නොවේ. ශ්‍රී ලංකාවේ සමස්ත අපනයන ආර්ථිකය තුළ සැඟවී තිබෙන දේශීය බදු නොවන බාධක පිළිබඳ ප්‍රශ්නයකි.
පරතරය තවමත්

ශ්‍රී ලංකාව වෙළෙඳ පහසුකම් සැපයීම සම්බන්ධයෙන් ප්‍රගතියක් ලබාගෙන නැතැයි පැවසීම නිවැරදි නොවේ. එක්සත් ජාතීන්ගේ Digital and Sustainable Trade Facilitation Survey අනුව ශ්‍රී ලංකාවේ වෙළෙඳ පහසුකරණ දර්ශකය 2015දී 43.01% සිට 2025දී 63.44 %දක්වා ඉහළ ගොස් තිබේ.
නමුත් එම වසරේදී ඉන්දියාව 93.55%ක්, මැලේසියාව 90.32%ක්, තායිලන්තය 88.17%ක් සහ වියට්නාමය 77.42%ක් වාර්තා කර තිබේ. එයින් පැහැදිලි වන්නේ ශ්‍රී ලංකාව ඉදිරියට පැමිණ ඇති නමුත් අප සමඟ තරග කරන රටවල් තවත් වේගයෙන් ඉදිරියට ගොස් ඇති බවය.
WTO වෙළෙඳ පහසුකම් සැපයීමේ ගිවිසුම යටතේ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කිරීමේ බැඳීම් ඉහළ මට්ටමකට පැමිණ තිබීමද වැදගත්ය. එහෙත් ගිවිසුමක් යටතේ බැඳීමක් පිළිගැනීම සහ අපනයනකරුවකුට දෛනික ක්‍රියාකාරකමේදී වේගවත් සේවාවක් ලැබීම එකම දෙයක් නොවේ.
ඒ නිසා දැන් ඇසිය යුතු ප්‍රශ්නය වන්නේ ප්‍රතිසංස්කරණ ප්‍රකාශයට පත් කර තිබේද යන්න නොව, එම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයක කාලය සහ පිරිවැය සැබෑ ලෙස අඩු කර තිබේද යන්නයි.
තනි කවුළුව

මෙම ප්‍රතිසංස්කරණ අතර ප්‍රධානතම එකක් වන්නේ ජාතික තනි කවුළු පද්ධතිය හෙවත් National Single Window ය.
එහි මූලික අදහස සරලය. අපනයනකරුවකු හෝ ආනයනකරුවකු එකම තොරතුරු සහ ලේඛන රාජ්‍ය ආයතන කිහිපයකට නැවත නැවත ලබාදීම වෙනුවට එක් ඩිජිටල් ප්‍රවේශයකින් ඒවා ඉදිරිපත් කළ යුතුය. අනතුරුව අදාළ තොරතුරු රජයේ ආයතන අතර හුවමාරු විය යුතුය.
2025 එක්සත් ජාතීන්ගේ සමීක්ෂණයේදී ශ්‍රී ලංකාවේ විද්‍යුත් තනි කවුළු පද්ධතිය තවම සැලසුම් අදියරේ ලෙස සඳහන් විය. 2026 වන විට OneTRADE/TNSW වැඩසටහන යටතේ රාජ්‍ය ආයතන 18ක ක්‍රියාපටිපාටි නැවත සැකසීම සහ ඒවා එකිනෙකට සම්බන්ධ කිරීම සඳහා වැඩ කටයුතු ඉදිරියට ගෙන යමින් තිබේ.
එය වැදගත් පියවරකි. නමුත් මෙහි සාර්ථකත්වය මැනිය යුත්තේ ව්‍යාපෘතිය ආරම්භ කළ දිනයෙන් නොවේ. අපනයනකරුවකුට ලේඛන වාර ගණන අඩු වූවාද, අනුමැති කාලය කෙටි වූවාද, භාණ්ඩ නිෂ්කාශනය වේගවත් වූවාද යන්නෙන්ය.
කඩදාසි නැති වෙළෙඳාම
රාජ්‍ය ආයතනයක සේවාවක් ඩිජිටල් කිරීම සහ සම්පූර්ණයෙන් කඩදාසි රහිත ක්‍රියාපටිපාටියක් ඇති කිරීම අතරද වෙනසක් තිබේ.
ශ්‍රී ලංකා රේගුව ASYCUDA World හරහා කඩදාසි රහිත CusDec නියමු වැඩසටහනක් ආරම්භ කිරීම මේ දිශාවේ වැදගත් පියවරකි. විද්‍යුත් අත්සන් භාවිතයෙන් ප්‍රකාශන සහ අදාළ ලේඛන කඩදාසි පිටපත් ඉදිරිපත් නොකර ලබාදීමට එය ඉඩ ලබාදුන්නේය.
නමුත් එක් ආයතනයකට ලේඛනය අන්තර්ජාලයෙන් ලබාදී, තවත් ආයතනයකට එය මුද්‍රණය කර භාරදීමට සිදුවේ නම් ඩිජිටල්කරණයෙන් අපේක්ෂිත ප්‍රතිලාභය අහිමි වේ. එසේම එකම තොරතුරු විවිධ පද්ධති තුළ නැවත නැවත ඇතුළත් කිරීමට සිදුවීමද ව්‍යාපාරයට අමතර බරකි.
එබැවින් ඉලක්කය විය යුත්තේ එක්වරක් ලබාදුන් තොරතුර නැවත ඉල්ලා නොසිටින රාජ්‍ය පද්ධතියක් ගොඩනැගීමය.
එක් රජයක්
මෙම ගැටලුව ශ්‍රී ලංකා රේගුව පිළිබඳ විවේචනයකට සීමා කිරීම සාධාරණ නොවේ. දේශසීමා වෙළෙඳ ක්‍රියාවලියට රේගුව සමඟ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය, ආනයන අපනයන පාලන දේපාර්තමේන්තුව, ප්‍රමිති සම්බන්ධ ආයතන සහ වෙනත් නියාමන ආයතන සම්බන්ධ විය හැකිය.
ගැටලුව බොහෝවිට එක් ආයතනයක් තුළ නොව, එක් ආයතනයකින් තවත් ආයතනයකට ක්‍රියාවලිය ගමන් කරන අවස්ථාවේ ඇතිවන සම්බන්ධීකරණ හිඟයයි.
ව්‍යාපාරිකයාගේ දෘෂ්ටියෙන් ආයතන පහක් තිබුණත් පවතින්නේ එක් රජයකි. ඒ නිසා රාජ්‍ය ආයතනද ව්‍යාපාරිකයා සමඟ කටයුතු කළ යුත්තේ වෙන්වූ දොරවල් පහක් ලෙස නොව, සම්බන්ධ වූ එක් සේවා පද්ධතියක් ලෙසය.
කලින්ම සැකසීම
නවීන වෙළෙඳ පහසුකම් සැපයීමේ ක්‍රියාවලියේ වැදගත් ක්‍රමයක් වන්නේ භාණ්ඩ රටට පැමිණීමට පෙර ලේඛන පරීක්ෂා කිරීමයි. නැව්ගත තර ඇති භාණ්ඩ පිළිබඳ අවශ්‍ය තොරතුරු කලින් ලබාගත හැකි නම්, නැව වරායට පැමිණෙන තෙක් මුළු ක්‍රියාවලියම නතර කර තැබීම අවශ්‍ය නොවේ.
ශ්‍රී ලංකාවේ නැව්භාණ්ඩ පැමිණීමට පෙර ලේඛන සකස්කිරීම ( pre-arrival processing) සහ අවදානම් කළමනාකරණය තවමත් සම්පූර්ණයෙන් ක්‍රියාත්මක නොවීම මෙහි ප්‍රධාන අභියෝගයකි.
ඇඟලුම් ක්ෂේත්‍රය සඳහා මෙය විශේෂයෙන් වැදගත් වේ. ආනයනික රෙදිපිලි අමුද්‍රව්‍ය තොගයක් ප්‍රමාද වීමෙන් නිෂ්පාදන කාලසටහන වෙනස් විය හැකිය. එමගින් අවසන් නිෂ්පාදන නියමිත නැව්ගත කිරීමට ඇතුළත් කරගැනීමට නොහැකි විය හැකි අතර, අවසානයේ මුහුදු ප්‍රවාහනය වෙනුවට වැඩි මිලක් ගෙවා ගුවන් ප්‍රවාහනය භාවිත කිරීමට සිදුවිය හැකිය.
එබැවින් වරායේ අමතර දිනක් යනු පරිපාලන ප්‍රමාදයක් පමණක් නොවේ. එය නිෂ්පාදන පිරිවැයක්ද වේ.
අවදානමට අනුව

සියලුම නැව් බහාලුම් එකම ආකාරයෙන් පරීක්ෂා කිරීම කාර්යක්ෂම ක්‍රමයක් නොවේ. වසර ගණනාවක් හොඳ නීති අනුකූලතා වාර්තාවක් ඇති අපනයනකරුවකු සහ ඉහළ අවදානමක් ඇති වෙළෙඳකරුවකු අතර වෙනස හඳුනාගත යුතුය.
ඒ සඳහා AEO ( Authorized Economic Operator ) ක්‍රමය වැදගත්ය. සරලව කියනවා නම්, රේගුව විසින් විශ්වාසදායක ලෙස පිළිගත් වෙළෙඳ ක්‍රියාකරුවන්ට වඩාත් පහසු සහ වේගවත් නිෂ්කාශන ක්‍රමයක් ලබාදීම මෙහි අරුතයි.
හොඳ වාර්තාවක් ඇති ඇඟලුම් අපනයනකරුවන් වැඩි සංඛ්‍යාවක් මේ යටතට ගෙන ඒමෙන් කර්මාන්තයට පමණක් නොව රේගුවටද ප්‍රතිලාභ ලැබේ. එවිට සීමිත පරීක්ෂණ සම්පත් සැබෑ අවදානමක් ඇති නැව් භාණ්ඩ වෙත යොමු කළ හැකිය.
පරීක්ෂණ ප්‍රමාදය
ඩිජිටල් පද්ධතියක් කාර්යක්ෂම වුවත් බහලුම් භෞතික පරීක්ෂණ වේදිකාවක (examination yard ) එකක දිගු වේලාවක් නතර වුවහොත් අවසාන ප්‍රතිඵලය තවමත් ප්‍රමාදයකි.
පරීක්ෂණ ඉඩකඩ සීමිත වීම, ප්‍රමාණවත් ප්‍රවේශ යටිතල පහසුකම් නොමැති වීම, නවීන scanning උපකරණ හිඟය සහ අතින් සිදුකරන පරීක්ෂණ ක්‍රම නිසා නැව් භාණ්ඩ නිශ්කාශනය ප්‍රමාද විය හැකිය.
මෙවැනි ප්‍රමාදවලින් භාණ්ඩවලට සිදු විය හැකි හානි, ගබඩාකරණය, ප්‍රවාහන සහ නිෂ්පාදන වියදම් වැඩිවේ.
මේවා රජයට ගෙවන බදු නොවේ. නමුත් අපනයනකරුවන්ගේ වියදමට ඒවා එකතු වන නිසා තරගකාරීත්වයට ඇති බලපෑම තීරුබද්දකින් ඇතිවන බලපෑමට සමාන විය හැකිය.
නීතිවල ස්ථාවරත්වය
ඇඟලුම් කර්මාන්තශාලාවක් ඇනවුම්, අමුද්‍රව්‍ය ගෙන්වන මුලාශ්‍ර, නිෂ්පාදන ධාරිතාව සහ නැව්ගත කිරීමේ සැලසුම මාස ගණනකට පෙර සැලසුම් කරයි. එවැනි ව්‍යාපාරයකට දේශසීමා ක්‍රියාපටිපාටියක් හෝ නියාමන නීතියක් හදිසියේ වෙනස් වීමෙන් විශාල අවිනිශ්චිතතාවක් ඇතිවේ.
මෙහි විසඳුම නීති කිසිදා වෙනස් නොකිරීම නොවේ. අවශ්‍ය ප්‍රතිසංස්කරණ කළ යුතුය. එහෙත් ඒවා කර්මාන්ත සමඟ සාකච්ඡා කර, ප්‍රමාණවත් පෙර දැනුම්දීමක් ලබාදී, සංක්‍රාන්ති කාලයක් සහ පැහැදිලි මාර්ගෝපදේශ සමඟ ක්‍රියාත්මක කළ යුතුය.
අපනයනකරුවකුට වැදගත් වන්නේ නීති සරල වීම පමණක් නොව, ඒවා කල්තියා දැනගත හැකි වීමය.
කාලය මනිමු
වෙළෙඳ පහසුකරණයේ ප්‍රගතිය මැනීමට දත්ත අවශ්‍යය.
සාමාන්‍ය නැව් භාණ්ඩ නිශ්කාශන කාලය කොපමණද? ආනයන අවසර පත්‍ර සඳහා ගතවන කාලය කොපමණද? භෞතික පරීක්ෂන සඳහා යොමු වන consignments ප්‍රතිශතය කීයද? පැමිණීමට පෙර ලේඛන සැකසීමෙන් නිදහස් කරන භාණ්ඩ ප්‍රමාණය කීයද?
මෙවැනි දත්ත මාසික හෝ කාර්තුමය වශයෙන් ප්‍රසිද්ධ කළහොත් ප්‍රමාදය සිදුවන්නේ කොතැනද යන්න පහසුවෙන් හඳුනාගත හැකිය. එවිට වෙළෙඳ පහසුකරණය පොරොන්දුවක් නොව, මැනිය හැකි රාජ්‍ය සේවාවක් බවට පත්වේ.
වරප්‍රසාදයක් නොවේ
මෙවැනි ප්‍රතිසංස්කරණ ඉල්ලීම ඇඟලුම් ක්ෂේත්‍රය විසින් විශේෂ වරප්‍රසාදයක් ඉල්ලීමක් ලෙස සැලකිය නොහැක.
තනි කවුළුවක්, කඩදාසි රහිත ලේඛන ක්‍රමයක්, අවදානම මත පදනම් වූ පරීක්ෂණ, ස්ථාවර නියාමන පද්ධතියක් සහ වේගවත් නිෂ්කාශනයක් තේ,, රබර්, විදුලි භාණ්ඩ, ආහාර සැකසුම්, ඇතුලුව අපනයන ක්ෂේත්‍රයේ සිටින සුලු මධ්‍ය සහ මහ පරිමාණයේ සියලු අපනයනකරුවන්ට මෙමගින් විශාල ප්‍රතිලාභයක් අත්කර දෙයි.
වෙළෙඳ පහසුකරණය සහනාධාරයක් නොවේ. එය ආර්ථික යටිතල පහසුකමකි.
අපි මාර්ග, වරාය සහ විදුලිබලය ආර්ථික යටිතල පහසුකම් ලෙස සලකනවා නම්, ව්‍යාපාරයක තොරතුරු රාජ්‍ය ආයතන අතර වේගයෙන් ගමන් කරන පද්ධතියද ඒ ආකාරයෙන්ම සැලකිය යුතුය.
කෙටි කාලීන පිලියම්
ඉදිරි මාස හයත් දොළහත් අතර කළ හැකි දේ රැසක් තිබේ.
භාණ්ඩ නිශ්කාශනය සහ අනුමැතිය සඳහා ගත වන කාලය පෙන්වන පොදු දත්ත පුවරුවක් හඳුන්වාදීම, හොඳ ව්‍යාපාර අනුකූලතා වාර්තාවක් ඇති අපනයනකරුවන් සඳහා අමුද්‍රව්‍ය වරායට පැමිණීමට පෙර අවශ්‍ය තොරතුරු සකස් කිරීම, AEO ක්‍රමයට සුදුසුකම් ලැබූ අපනයනකරුවන් ඇතුළත් කිරීම සරල කිරීම සහ එකම ලේඛනය ආයතන කිහිපයකට නැවත ලබාදීම නතර කිරීම ඒ අතර ප්‍රධාන වේ.
නව නියාමන ක්‍රියාමාර්ග සඳහා අවම පෙර දැනුම්දීමේ කාලයක් සහ අනිවාර්ය කර්මාන්ත සාකච්ඡාවක්ද හඳුන්වාදිය හැකිය.
මැදි කාලීන පිලියම්
2027 දක්වා ප්‍රධාන ඉලක්කය විය යුත්තේ OneTRADE/TNSW වැඩසටහනේ ප්‍රතිඵල ව්‍යාපාරිකයාට දැනෙන මට්ටමට ගෙන ඒමය.
රාජ්‍ය ආයතන 18ක ක්‍රියාපටිපාටි නැවත සකස් කිරීම, අනවශ්‍ය ලේඛන ඉවත් කිරීම, පද්ධති එකිනෙකට සම්බන්ධ කිරීම, එකම ගෙවීම් ක්‍රමයක්, අයදුම්පත් තත්ත්වය එකම ස්ථානයකින් බැලීම සහ කඩදාසි රහිත අනුමැති ක්‍රම හඳුන්වාදීම එහි ප්‍රමුඛතා විය යුතුය.
පැරණී සහ අතින් සිදුකළ ක්‍රියාවලිය පරිගණක තිරයකට මාරු කිරීමෙන් පමණක් ප්‍රතිසංස්කරණයක් සිදු නොවේ. මුලින් ක්‍රියාවලිය සරල කළ යුතුය. ඉන්පසු එය ඩිජිටල් කළ යුතුය.
දිගු කාලීන ප්‍රවේශය
2030 දෙස බලන විට තනි කවුළුව අවසාන ඉලක්කය නොව, ඊළඟ අදියරට අවශ්‍ය පදනමක් විය යුතුය.
ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආයතන අතර පමණක් නොව වෙළෙඳ හවුල්කාර රටවල් සමඟද certificates of origin, රේගු තොරතුරු සහ වෙනත් වෙළෙඳ ලේඛන විද්‍යුත් ලෙස හුවමාරු කිරීමේ හැකියාව ගොඩනැගිය යුතුය.
ඒ සමඟ උසස් අවදානම් විශ්ලේෂණ ක්‍රම, AEO අන්‍යෝන්‍ය පිළිගැනීම් සහ ස්ථාවර පාලන ව්‍යුහයක්ද අවශ්‍ය වේ.
ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තය ඉදිරියේ විදේශීය තීරුබදු, තිරිසාර අවශ්‍යතාවන්, ගැණුම්කරුවන්ගේ අවශ්‍යතා සහ කලාපීය තරගය වැනි අභියෝග තිබේ. ඒවා සියල්ල අපට තනිව පාලනය කළ නොහැක.
නමුත් අපනයනකරුවකු එකම තොරතුරු තුන්වරක් ලබාදිය යුතුද, අවම අවදානමක් සහිත අපනයන භාණ්ඩ තොගයක් අනවශ්‍ය පරීක්ෂණයකට යා යුතුද, අවසර පත්‍ර ලබා ගැනීමේ ක්‍රියාවලිය ආයතන දෙකක් අතර දින ගණනක් නතර විය යුතුද, නැව්භාණ්ඩ මුදා ගැනීමේ කාලය ප්‍රසිද්ධියේ මැනිය යුතුද යන්න අපටම තීරණය කළ හැකිය.
අපි විදේශ වෙළෙඳපොළවලින් වැඩි ප්‍රවේශයක් ඉල්ලනවා නම්, අපේම රට තුළින් භාණ්ඩයක් පිට කිරීම පහසු කිරීමටත් ඒ තරම්ම කැපවීමක් තිබිය යුතුය.
විදේශීය රටක් අපේ භාණ්ඩයට පනවන තීරුබද්ද වෙනස් කිරීම අපේ පාලනයෙන් තොරව පවතින සාධකයකි. එහෙත් අපේම දේශසීමාව තුළ අපනයනකරුවාට පනවා ඇති කාලයේ බද්ද, ප්‍රමාදයේ බද්ද සහ ක්‍රියාපටිපාටිවල බද්ද ඉවත් කිරීමේ වගකීම සම්පූර්ණයෙන්ම පවතින්නේ අප සතුවය.
ශ්‍රී ලංකාවට තවත් වෙළෙඳපොළක් ලබාගැනීම වැදගත්ය. නමුත් ඒ වෙළෙඳපොළ ජයගැනීමට පෙර, අපේම දේශසීමාවේ ඇති බාධක අප විසින්ම ඉවත් කළ යුතුය. එය කළ නොහැකි නම්, නිදහස් වෙළෙඳ ගිවිසුමක් හරහා විවෘත වන දොරටුවෙන් අපේ අපනයනය වේගයෙන් ගමන් කරන්නේ නැත; එය කළ හැකි නම්, ජාත්‍යන්තර වෙළෙඳාම සඳහා පහසුකම් සැපයීම ශ්‍රී ලංකාවේ ඊළඟ අපනයන තරගකාරීත්ව ප්‍රතිසංස්කරණය බවට පත්විය හැකිය.


