Hemas Holdings සමාගමේ ප්‍රවාහන අංශයේ අධ්‍යක්ෂ මණ්ඩලයට හරික්‍රිෂ්ණන් සුන්දරම් මහතා පත් කෙරේ

Capture

මීට ඉහතදී CWIT හි ප්‍රධාන විධායක නිලධාරී තනතුර සහ Adani Ports හි විධායක නිලධාරී තනතුර ඇතුළුව ප්‍රධාන  තනතුරු රැසක් දැරූ, වරාය, නාවික හා කාර්ය සම්පාදන ක්ෂේත්‍රයන්හි වසර 24 කට අධික නායකත්ව පළපුරුද්දක් හිමි ප්‍රවීණ වෘත්තිකයෙකි

Hemas Holdings PLC සමාගමේ ප්‍රවාහන අංශයේ අධ්‍යක්ෂ මණ්ඩලයට හරික්‍රිෂ්ණන් සුන්දරම් මහතා පත් කළ බව එම සමාගම පසුගියදා නිවේදනය කළේය. මෙම පත්වීම 2026 නොවැම්බර් 01 දින සිට ක්‍රියාත්මක වේ.

නැව්ගත කිරීම්, කාර්ය සම්පාදන, සමුද්‍රීය සේවා සහ ගුවන් සේවා ඇතුළු ක්ෂේත්‍ර රැසක් ආවරණය කරන Hemas සමූහයේ ප්‍රවාහන අංශය තවදුරටත් ශක්තිමත් කිරීමේ සැලසුම්වල කොටසක් වශයෙන් මෙම පත්වීම සිදු කර ඇත. පැහැදිලි ක්‍රමෝපායික දිශානතියක් ඔස්සේ ව්‍යාපාර කටයුතු වැඩිදියුණු කිරීම සහ නව ව්‍යාපාර අවස්ථා නිර්මාණය කිරීම තුළින් එම අරමුණ සාක්ෂාත් කරගැනීමට Hemas සමූහය බලාපොරොත්තු වෙයි.




හරික්‍රිෂ්ණන් සුන්දරම් මහතා ශ්‍රී ලංකාව තුළ මෙන්ම ආසියානු කලාපය තුළ වරාය යටිතල පහසුකම් සංවර්ධනයට අදාළ නායකත්ව තනතුරු රැසක් දරා ඇති අතර, ගෝලීය නාවික ක්ෂේත්‍රය තුළ ශක්තිමත් සම්බන්ධතා ජාලයක් ගොඩනංවා ගැනීමටද සමත් වී තිබේ.ඒ මහතා අධ්‍යක්ෂ මණ්ඩලයට පත්කිරීම සම්බන්ධයෙන් Hemas Holdings PLC හි ප්‍රවාහන අංශයේ සභාපති ඉම්තියාස් එසුෆලි මහතා මෙසේ පැවසීය:

“හරික්‍රිෂ්ණන් මහතා කොළඹ ඇතුළු ස්ථාන කිහිපයක මහා පරිමාණ වරාය යටිතල පහසුකම් සංවර්ධන සහ මෙහෙයුම් කටයුතුවලට සාර්ථක ලෙස නායකත්වය දී තිබෙනවා. එමෙන්ම අපගේ ව්‍යාපාර කටයුතුවල ඉදිරි පියවරක් වශයෙන් අනාගතයේදී ගොඩනංවා ගැනීමට අපේක්ෂා කරන ආකාරයේ ජාත්‍යන්තර හවුල්කාරීත්වයන් පිළිබඳ අත්දැකීම් සම්භාරයක්ද ඔහු සතුයි. ආයතනික පාලන ක්‍රියාවලිය, ජාත්‍යන්තර වෙළෙඳාම සහ සැපයුම් දාම සම්බන්ධතා පිළිබඳ ඔහුගේ පළපුරුද්ද, අපගේ ක්‍රමෝපායික දැක්ම තවදුරටත් ශක්තිමත් කරගැනීම සඳහා බෙහෙවින් වැදගත් වනු ඇතැයි මා විශ්වාස කරනවා.”

හරික්‍රිෂ්ණන් සුන්දරම් මහතා නව පත්වීම සම්බන්ධයෙන් මෙසේ අදහස් පළකළේය:

“දකුණු ආසියාවේ ප්‍රමුඛතම ප්‍රතිනැව්ගත කිරීම් සහ කාර්ය සම්පාදන කේන්ද්‍රස්ථානයක් බවට පත්වීමට ශ්‍රී ලංකාවට ඉතා හොඳ හැකියාවක් තිබෙනවා. ඒ සඳහා අර්ථවත් දායකත්වයක් ලබා දීමට අවශ්‍ය දැනුම හා පළපුරුද්ද, සම්බන්ධතා සහ අභිලාෂය Hemas සමූහය සතුයි. එම අරමුණ යථාර්ථයක් බවට පත්කර ගැනීමේ ප්‍රයත්නයට දායක වීමට ලැබීම මට මහත් සතුටක්.”

වසර 24 කට අධික කාලයක් ගෝලීය වරාය, නාවික හා කාර්ය සම්පාදන ක්ෂේත්‍රයන්හි ජ්‍යෙෂ්ඨ නායකත්ව තනතුරු දරා ඇති හරික්‍රිෂ්ණන් සුන්දරම් මහතා ක්‍රමෝපායික ව්‍යාපාර සංවර්ධනය, වාණිජ ක්‍රමෝපායන්, යටිතල පහසුකම් ආයෝජන සහ ජාත්‍යන්තර මෙහෙයුම් වැනි ක්ෂේත්‍ර සම්බන්ධයෙන් විශේෂඥ දැනුමක් හිමි ප්‍රවීණ වෘත්තිකයෙකි. මෙම පත්වීමට පෙර ඔහු Adani Ports and Special Economic Zone Ltd. සමාගමේ Container Business අංශයේ ව්‍යාපාර ප්‍රධානියා ලෙස කටයුතු කළ අතර, ඊට පෙර ඔහු Colombo West International Terminal (CWIT) හි ප්‍රධාන විධායක නිලධාරී තනතුර දැරීය. දකුණු ආසියාව, මැදපෙරදිග සහ නැගෙනහිර අප්‍රිකාව පුරා මහා පරිමාණ යටිතල පහසුකම් ව්‍යාපෘති සහ ව්‍යාපාර පුළුල් කිරීමේ මෙහෙයුම් රැසකට ඔහු නායකත්වය ලබා දී තිබේ.

ඔහුගේ වෘත්තීය ජීවිතයේ සුවිශේෂී සන්ධිස්ථාන අතරට, ශ්‍රී ලංකාවේ ප්‍රථම අර්ධ ස්වයංක්‍රීය බහාලුම් පර්යන්තය වන කොළඹ බටහිර ජාත්‍යන්තර පර්යන්තය (Colombo West International Terminal – CWIT) සංවර්ධනය අධීක්ෂණය කිරීමද ඇතුළත් වේ. ඇමරිකානු ඩොලර් මිලියන 800 ක ආයෝජනයකින් ක්‍රියාත්මක වූ එම ව්‍යාපෘතිය මාස 36 ක් වැනි කෙටි කාලයකදී නිම කිරීමට හැකි විය. එමෙන්ම Mundra Port හි Terminal Investment Limited (TIL) සහ CMA Terminals සමඟ ඇති කරගත් හවුල් ව්‍යාපාර සඳහාද ඔහු සක්‍රීය දායකත්වයක් ලබා දී තිබේ.

හරික්‍රිෂ්ණන් සුන්දරම් මහතා Colombo West International Terminal, Adani Ennore Container Terminal, Adani International Container Terminal සහ Harbour Services Lanka යන සමාගම්වල අධ්‍යක්ෂ මණ්ඩලවලද සේවය කර ඇත. තවද Young Presidents’ Organization (YPO) Colombo Integrated Chapter, Indian CEO Forum Colombo සහ Global Shipping & Logistics Think Tank යන සංවිධානවලද සක්‍රීය සාමාජිකයෙකු ලෙසද ඔහු කටයුතු කරයි.



ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව