HNB FINANCE හි වත්කම් රුපියල් බිලියන 100 පසුකරමින් පළමු අර්ධ වර්ෂයේ බදු පසු ලාභය 50%කින් ඉහළ නංවයි

Capture

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ බලපත්‍රලාභී මූල්‍ය සමාගමක් වන HNB FINANCE PLC, 2026/27 මූල්‍ය වර්ෂයේ පළමු මාස හය තුළ ශක්තිමත් මූල්‍ය කාර්යසාධනයක් වාර්තා කරමින් සිය සමස්ත වත්කම් ප්‍රමාණය රුපියල් බිලියන 106.67ක් දක්වා ඉහළ නංවාගෙන තිබේ. 2026 සැප්තැම්බර් 30 වැනිදායින් අවසන් වූ මාස හයක කාලය තුළ සමාගමේ බදු පසු ලාභය පෙර වසරට සාපේක්ෂව 50%කින් වර්ධනය වී රුපියල් මිලියන 929ක් ලෙස වාර්තා වී ඇත.

සමාගමේ බදු පෙර ලාභය පෙර වසරට සාපේක්ෂව  රුපියල් බිලියන 1.65 සිට රුපියල් බිලියන 2.47ක් දක්වා 50%කින් ඉහළ ගොස් ඇති අතර, ශුද්ධ පොලී ආදායම රුපියල් බිලියන 3.76 සිට රුපියල් බිලියන 5.48ක් දක්වා 46% න් වර්ධනය වී තිබේ. මෙම වර්ධනය සමාගමේ ප්‍රධාන ව්‍යාපාරික මෙහෙයුම්වල ශක්තිමත් කාර්යසාධනය සහ ලාභදායීත්වයේ අඛණ්ඩ ප්‍රගතිය පෙන්නුම් කරයි.



2026 මාර්තු 31 වැනි දිනට සාපේක්ෂව සමාගමේ සමස්ත වත්කම් ප්‍රමාණය  2026/27 මූල්‍ය වර්ෂයේ පළමු මාස හය අවසානයේදී 13%කින් වර්ධනය වී ඇති අතර, ශුද්ධ වත්කම් ප්‍රමාණය 37%කින් ඉහළ ගොස් රුපියල් බිලියන 12.68ක් ලෙස වාර්තා වී ඇත. රුපියල් බිලියන 2.5ක හිමිකම් කොටස් නිකුතුව සහ ලාභදායීත්වයේ වර්ධනය මෙම ශුද්ධ වත්කම් ඉහළ යාමට දායක වී ඇති අතර, එමගින් සමාගමේ මූල්‍ය ස්ථාවරත්වය තවදුරටත් ශක්තිමත් වී තිබේ.

මේ අතර,  සැප්තැම්බර් 30 න් අවසන් වන මාස හය අවසානයේදී සමාගමේ ණය කළඹ 7%කින් වර්ධනය වී රුපියල් බිලියන 76.33 සිට රුපියල්  බිලියන 81.95 දක්වා ඉහළ ගොස් ඇත. ණය කළඹේ වර්ධනයට ප්‍රධාන දායකත්වයක් ලබාදුන් ලීසිං පහසුකම්වල වටිනාකම 17%කින් ඉහළ ගොස් රුපියල් බිලියන 59.92ක් ලෙස වාර්තා වී තිබේ. සමාගමේ ගනුදෙනුකරුවන්ගේ තැන්පතු ප්‍රමාණය ද රුපියල් බිලියන 71.43ක් දක්වා ඉහළ ගොස් ඇත.

මෙම මූල්‍ය කාර්යසාධනය පිළිබඳ අදහස් දක්වමින් HNB FINANCE PLC හි කළමනාකාර අධ්‍යක්ෂ / ප්‍රධාන විධායක නිලධාරී චමින්ද ප්‍රභාත් මහතා මෙසේ පැවසීය.

“මෙම මූල්‍ය වර්ෂයේ පළමු මාස හය තුළ අප අත්කරගත් ප්‍රතිඵල මගින් සමාගමේ ව්‍යාපාරික ආකෘතියේ ශක්තිමත්භාවය මෙන්ම මූල්‍ය ස්ථාවරත්වය තවදුරටත් තහවුරු කරගැනීම සඳහා අප ගෙන යන වැඩපිළිවෙළේ සාර්ථකත්වය ද පැහැදිලි වෙනවා. වත්කම් ප්‍රමාණය රුපියල් බිලියන 100 සීමාව ඉක්මවා යාම අපගේ ව්‍යාපාරික ගමන්මඟේ සුවිශේෂී සන්ධිස්ථානයක්. එමෙන්ම, ලාභදායීත්වය, ණය හා ලීසිං කළඹ අඛණ්ඩ වර්ධනය අපගේ ප්‍රධාන ව්‍යාපාරික මෙහෙයුම්වල ශක්තිමත්භාවය තහවුරු කරනවා.

මෙම ජයග්‍රහණ පිටුපස තිරසාර වර්ධනය, මෙහෙයුම් කාර්යක්ෂමතාව සහ මනා අවදානම් කළමනාකරණය සඳහා අප ලබාදී ඇති ප්‍රමුඛතාවය මැනවින් පිළිබිඹු වෙනවා. ඉදිරියේදීත් යහපත් ආයතනික පාලනයක් පවත්වාගෙන යමින්, පාරිභෝගික අවශ්‍යතා කේන්ද්‍ර කරගත් නවෝත්පාදන හඳුන්වා දීමටත්, පහසුවෙන් ප්‍රවේශ විය හැකි වගකීම්සහගත මූල්‍ය සේවාවන් ලබා දීමටත් අප කැපවී සිටිනවා. ඒ ඔස්සේ අපගේ කොටස් හිමියන්ට, ගනුදෙනුකරුවන්ට සහ අනෙකුත් පාර්ශ්වකරුවන්ට දිගුකාලීන වටිනාකමක් නිර්මාණය කරන අතරම ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනයට දායක වීම අපගේ අරමුණ වෙනවා.” යනුවෙන් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

මනා මූල්‍ය කළමනාකරණයක් පවත්වාගෙන යාම, ගනුදෙනුකාර පදනම ශක්තිමත් කිරීම සහ මූල්‍ය සේවාවන් සඳහා ජනතාවට ඇති ප්‍රවේශය පුළුල් කිරීම තුළින් සිය ව්‍යාපාරික පදනමේ වර්ධනය අඛණ්ඩව පවත්වාගෙන යාමට HNB FINANCE PLC අපේක්ෂා කරයි. ඒ සමඟම සැලසුම්සහගත මූල්‍ය සේවාවක් දිවයින පුරා පවත්වාගෙන යාම කෙරෙහි ද සමාගම අවධානය යොමු කර තිබේ.


ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව