
ශ්‍රී ලංකාවේ වැවිලි කර්මාන්තය ශක්තිමත් කිරීම සඳහා අත්‍යවශ්‍ය ප්‍රතිසංස්කරණ හයක්
ලංකා වැවිලිකරුවන්ගේ සංගමයේ සභාපති ශානක සමරදිවාකර මහතා විසිනි
අද සිටුවන තේ පැළයකින් අස්වැන්නක් ,nd ගැනීමට වසර පහක්ද, සැලකිය යුතු ලාභයක් ලැබීමට දශකයක්ද (වසර 10ක්), ඒ සඳහා කළ ආයෝජනය පියවා ගැනීමට වසර 20කට වැඩි කාලයක්ද ගත විය හැකිය. තේ වගාවේ ස්වභාවය එසේය. ශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය වැවිලි සමාගම්වලට තම බදු ගිවිසුම් අවසන් වීමට ඉතිරිව ඇත්තේ තවත් වසර 19ක් පමණි. එනම් ආයෝජන පියවා ගැනීමට හැකි වසර 20ට වඩා අඩු කාලයකි. දිගුකාලීන ආයෝජන මත අනාගතය රඳා පවතින කර්මාන්තයක් වන වැවිලි කර්මාන්තය රඳා පවතින්නේ ආයෝජනයක් සිදු කිරීම සාධාරණීකරණය කිරීම දිනෙන් දින දුෂ්කර කරන ප්‍රතිපත්ති රාමුවක් මතය.
මෙමගින් ඇති වන බලපෑම වතුකරයට පමණක් සීමා නොවේ. ලෝක බැංකු දත්තයන්ට අනුව, ශ්‍රී ලංකාවේ සමස්ත කෘෂි-ආහාර පද්ධතිය ජාතික නිෂ්පාදනයෙන් 1/6 ආසන්න ප්‍රමාණයකට දායක වන අතර, රැකියා නියුක්තියෙන් 40%කට වඩා වැඩි ප්‍රමාණයකට සහාය වේ. එමෙන්ම භාණ්ඩ අපනයනයෙන් 30%කට ආසන්න ප්‍රමාණයක් නියෝජනය කරන්නේද මෙම ක්ෂේත්රයයි. කෙසේ වෙතත්, වැවිලි ක්ෂේත්රය තුළ පවතින අභියෝගයන් මේ වන විට වඩාත් ඉහළ යමින් පවතී. 2026 වසරේ මුල් මාස හත තුළ තේ නිෂ්පාදනය 3%කින් පහත වැටී කිලෝග්‍රෑම් මිලියන 152.5ක් වී ඇත. ෂීට් රබර් නිෂ්පාදනය 18%කට ආසන්න ප්‍රමාණයකින් පහත වැටී ඇති අතර, තේ අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 743 සිට ඩොලර් මිලියන 701 දක්වා අඩු වී තිබේ.
එහෙත් නිෂ්පාදන පිරිවැය ඊට හාත්පසින්ම ප්‍රතිවිරුද්ධ අයුරින් සිදු වී ඇති අතර සමස්ත නිෂ්පාදන පිරිවැයෙන් 65%ක් පමණ වැය වන්නේ කම්කරු වැටුප් සඳහාය. එහි රුපියල් 200ක වැටුප් වැඩිවීම නිසා කර්මාන්තයේ වියදමට තවත් රුපියල් බිලියන 6ක පමණ අමතර බරක් එකතු වී තිබේ. හෝමුස් සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව ඇති වූ බාධාවන් හේතුවෙන් නැව් ගාස්තු සහ බලශක්ති පිරිවැය ඉහළ යාමත් සමඟ, පොහොර මෙට්‍රික් ටොන් එකක මිල රුපියල් 100,000 සිට 220,000 දක්වා ඉහළ ගොස් ඇති අතර ප්‍රවාහන හා බලශක්ති පිරිවැය ඉහළ යමින් පවතී. අක්‍රමවත් වර්ෂාපතනය, දීර්ඝ නියඟය සහ ශ්‍රම බලකාය අඩු වීම නිසා නිෂ්පාදන කටයුතු තවදුරටත් සංකීර්ණ වී තිබේ.
එහෙත් මෙම සංඛ්‍යාලේඛනවලින් පෙන්වන්නේ කතාවේ එක් කොටසක් පමණි. ශ්‍රී ලංකාවේ වැවිලි සමාගම් දැනටමත් ස්වයංක්‍රීයකරණය ඉහළ වටිනාකමක් ඇති නිෂ්පාදන සහ විකල්ප බෝග වගාවන් සඳහා ආයෝජනය කරමින් සිටී. අලුත් තත්ත්වයන්ට අනුව අනුවර්තනය වීමට මෙම කර්මාන්තයට ඇති හැකියාව ඉතා පැහැදිලිය. දැන් අවශ්‍ය වන්නේ, ඒ හා සමානවම වෙනස් වීමට සූදානම් ප්‍රතිපත්තිමය පරිසරයකි.
ස්ථාවරත්වයක් නොමැති ආයෝජන අසාර්ථක විය හැකිය
ශ්‍රී ලංකාවේ තේ අක්කර ප්‍රමාණයෙන් 1/4ක් පමණ කළමනාකරණය කරන ප්‍රාදේශීය වැවිලි සමාගම් ඵලදායීතාවය මත පදනම් වූ පරිවර්තනයකින් ලබාගත හැකි දේ දැනටමත් ඔප්පු කර පෙන්වා ඇත.
සැකසුම් මධ්‍යස්ථානවල ස්වයංක්‍රීයකරණය සහ කර්මාන්තශාලා ඒකාබද්ධ කිරීම මගින් නිෂ්පාදන ධාරිතාව උපරිම ලෙස භාවිත කිරීමට හැකි වී ඇති අතර එමගින් ඵලදායීතාවය ඉහළ ගොස් තිබේ. පිරිවැය ඉහළ යන පසුබිමක වුවද, නිවැරදි ආයෝජන මගින් තරඟකාරීත්වය ශක්තිමත් කළ හැකි ආකාරය මෙවැනි දියුණුවීම් මගින් මනාව පැහැදිලි වේ.
එසේ වුවද මෙහෙයුම් කාර්යක්ෂමතාවය මගින් පමණක් නවීකරණය අඛණ්ඩව ඉදිරියට පවත්වාගෙන යාමට නොහැකි වනු ඇත.
1992 වසරේදී මුලින් වසර 99ක කාලයක් සඳහා ලබා දුන් වතු බදු ගිවිසුම් පසුව වසර 53ක් දක්වා අඩු කරන ලදී. ඒ හේතුවෙන් දැන් ඉතිරිව ඇත්තේ තවත් වසර 19ක් පමණක් වන බැවින්, නැවත වගා කිරීම වාණිජමය වශයෙන් ලාභදායී කරගැනීම වඩ වඩාත් අපහසු වී තිබේ. බදු කාලය අවසන් වීමෙන් පසුවත් ආයෝජනය පියවා ගැනීමට කාලය ගතවන ව්‍යාපෘති සඳහා ණය මුදල් ලබා දෙනු ඇතැයි බැංකුවලින් සාධාරණව බලාපොරොත්තු විය නොහැකිය.
අහිමි වූ ඉතිරි වසර 46ක කාලය නැවත ලබා දීමෙන් (බදු කාලය දීර්ඝ කිරීමෙන්), නැවත වගා කිරීම්, වගා විවිධාංගීකරණය සහ වතු ආශ්රිත සංචාරක ව්‍යාපාර ඇතුළු නව ආයෝජන අවස්ථා රාශියක් විවෘත කිරීමට අවශ්‍ය ස්ථාවරත්වය ලැබෙනු ඇත. මේ සම්බන්ධයෙන් රජය මැදිහත් වීම සාධනීය කරුණක් වුවද, අඛණ්ඩ සාකච්ඡා පවත්වනවාට වඩා කඩිනම් විසඳුමක් ලබා දීම ආයෝජකයින්ට වඩාත් ශක්තිමත් පණිවිඩයක් ලබා දෙනු ඇත.
වගා විවිධාංගීකරණය සඳහාද මෙවැනිම දිගුකාලීන චින්තනයක් මගපෙන්විය යුතුය. ඌව පළාතේ ඇතැම් ප්‍රදේශවල වාර්ෂික වර්ෂාපතනය මිලිමීටර් 500ට වඩා අඩු වන බැවින්, සාම්ප්‍රදායික තේ වගාව වඩ වඩාත් අභියෝගාත්මක වෙමින් පවතී. සාර්ථක තේ නිෂ්පාදනයක් සඳහා දේශගුණික තත්ත්වයන් තවදුරටත් අනුකූල නොවන මෙවැනි ප්‍රදේශවල, පවතින ඉඩම්වලින් වැඩි වටිනාකමක් ලබා ගැනීම සඳහා විකල්ප බෝග වගාවන් මගින් හොඳ අවස්ථා උදාකර දෙයි.
කෝපි, අලිගැටපේර සහ කුරුඳු වගාවන් මගින් මෙම හැකියාවන් දැනටමත් ඔප්පු කර පෙන්වමින් තිබේ. නිදසුනක් ලෙස, මල්වත්ත වතුයායේ 2015 වසරේ සිට මේ දක්වා හෙක්ටයාරයකට වගා කරන අලිගැටපේර පැළ ප්‍රමාණය 150 සිට 800 දක්වා ඉහළ නංවා ඇති අතර, කුරුඳු සැකසීමේ කටයුතුවලින් 60%ක් පමණ දැනටමත් ස්වයංක්‍රීයකරණය කර ඇත. එසේ වුවද, කෝපි වගා කිරීම සඳහා සහනාධාර අහිමි වීමේ අවදානමක් පවතින අතර, කටුපොල් වගාවට පනවා ඇති සීමා කිරීම් හේතුවෙන් සැලසුම් කර තිබූ හෙක්ටයාර 20,000 වෙනුවට වගා කිරීමට හැකි වී ඇත්තේ හෙක්ටයාර 10,400ක පමණ ප්‍රමාණයක පමණි. කෘෂිකාර්මික ප්‍රතිපත්ති මගින් සිදුවිය යුත්තේ වාණිජමය වශයෙන් ලාභදායී සහ පාරිසරික වශයෙන් වගකීම් සහගත අනුවර්තනයන් දිරිමත් කිරීම මිස, ඒවා සීමා කිරීම නොවේ.
තරඟකාරීත්වය ගොඩනැඟිය යුත්තේ නිෂ්පාදන ධාරිතාව මත පමණක් නොව, එහි ගුණාත්මක වටිනාකම මතය
ශ්‍රී ලංකාවට අවස්ථාව පවතින්නේ වැඩිපුර නිෂ්පාදනය කිරීම මතම පමණක් නොව, ගුණාත්මකභාවයෙන් ඉහළ නිෂ්පාදන වෙළෙඳපොළට ඉදිරිපත් කිරීම තුළය.
අගය එකතු කළ තේ නිෂ්පාදන දැන් රටේ සමස්ත තේ අපනයන ධාරිතාවෙන් අඩකට වඩා වැඩි ප්‍රමාණයක් නියෝජනය කරයි. නිෂ්පාදකයින් මචා (matcha) හරිත තේ (green tea) සහ ශිල්පීය තේ (artisanal teas) ඇතුළු විශේෂිත නිෂ්පාදන සඳහා රුපියල් මිලියන සිය ගණනින් ආයෝජනය කරමින් සිටිති. ඉහළ වටිනාකමකින් යුත් නිෂ්පාදන කරා මෙලෙස යොමු වීම සාධනීය තත්ත්වයකි. කෙසේ වෙතත්, පවතින වෙළෙඳ පරිසරය මගින් මෙවැනි ආයෝජන නිසි ලෙස අගය කරමින් ඊට ගැළපෙන ප්රතිලාභ ලබා දීමට කටයුතු කළ යුතුය.
දේශීයව නිෂ්පාදනය කරන හරිත තේ සහ CTC තේවලින් 30%කට ආසන්න ප්‍රමාණයක් අලෙවි නොවී පවතින අතර, අඩු පිරිවැයකින් යුත් ආනයනික තේ වර්ග, 30%ක දේශීය තේ සමඟ මිශ්‍ර කර නැවත අපනයනය කිරීම සඳහා තීරුබදු රහිතව රට තුළට ඇතුළු වේ. මෙම 30%ක දේශීය අන්තර්ගතය පිළිබඳ අවශ්‍යතාව දශක තුනකට ආසන්න කාලයක් තිස්සේ වෙනස් නොවී එලෙසම පවතී.
වැවිලි කරුවන්ගේ සංගමය යෝජනා කරන්නේ මෙම අවශ්‍යතාව 50% දක්වා ඉහළ නැංවීමට සහ ආනයනික තේ සඳහාද දේශීය තේවලට සමාන තත්ත්ව පරීක්ෂණ ප්රමිතීන් ක්‍රියාත්මක කිරීමටයි. මෙහි අරමුණ ජාත්‍යන්තර තරඟකාරීත්වයෙන් පසුබැසීම නොව, ගුණාත්මකභාවය සහ අගය එකතු කිරීම වෙනුවෙන් දේශීයව කරන ආයෝජනවලට සමාන සහ සාධාරණ කොන්දේසි යටතේ තරඟ කිරීමට අවස්ථාව සැලසීමයි.
විද්‍යාත්මක හා තාක්ෂණික පර්යේෂණ ක්ෂේත්රයේ පවතින හැකියාවන් ද තරඟකාරීත්වය සඳහා එකලෙසම අත්‍යවශ්‍ය වේ. ජාත්‍යන්තර වෙළඳපොළවල් විසින් කෘෂි රසායන ද්‍රව්‍යවල උපරිම අවශේෂ සීමාවන් දැඩි කරමින් සිටින පසුබිමක, බහුලව භාවිත වන වල්නාශක කිහිපයක් සඳහා වාණිජමය වශයෙන් සුදුසු විකල්ප තවමත් සීමිත මට්ටමක පවතින අතර, දේශීය රසායනාගාර පරීක්ෂණ යටිතල පහසුකම් තවදුරටත් ශක්තිමත් කළ යුතුව ඇත.
ප්‍රායෝගික බෝග-ආරක්ෂණ විසඳුම්, දේශගුණයට ඔරොත්තු දෙන රෝපණ ද්‍රව්‍ය සහ රෝගවලට ඔරොත්තු දෙන බෝග ප්‍රභේද ආදිය සංවර්ධනය කිරීම සඳහා වැවිලි සමාගම් සමඟ වඩාත් සමීපව කටයුතු කිරීමට හැකි වන පරිදි තේ, රබර් සහ පොල් පර්යේෂණ ආයතන ද තවදුරටත් ශක්තිමත් කළ යුතුය.
රබර් වගාවට එල්ල වී ඇති ‘පෙස්ටා‘ (Pesta) රෝගයේ තර්ජනය මගින් මෙම හදිසි අවශ්‍යතාව තවදුරටත් තහවුරු කරයි. ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික අනාගතය වඩ වඩාත් රඳා පවතින්නේ විද්‍යාත්මක පර්යේෂණ කෙතරම් ඵලදායී ලෙස නිෂ්පාදනය ඉහළ නංවන වගා බිම් කරා ප්‍රායෝගිකව දායක කරගන්නේද යන්න මතය. මෙම පර්යේෂණ ධාරිතාව අඛණ්ඩව පවත්වාගෙන යාම රඳා පවතින්නේ දක්ෂ වෘත්තිකයන් ක්ෂේත්රය තුළ රඳවා ගැනීම මතය. ශ්‍රී ලංකාව සිය සම්පූර්ණ විද්‍යාඥයින් පිරිස රඳවා ගැනීම සහතික කරන, ඔවුන්ට බලපාන ගැටලුවලට විසඳුම් ලබා දෙන සහ පර්යේෂණ ආයතනවල සේවක ව්‍යුහය විශ්වවිද්‍යාල ආචාර්ය මණ්ඩලවලට සමාන මට්ටමකට පත් කරන හිතකර පරිසරයක් නිර්මාණය කළ යුතුය.
නවීන වැවිලි ආර්ථිකයක් සඳහා ඇති අවස්ථාව
නවීකරණය සඳහා නියාමන කටයුතු වඩාත් ප්‍රායෝගික ප්රවේශයකින් සිදු කිරීම ද අත්‍යවශ්‍ය වේ.
බිංදු ජල සම්පාදනය මගින් ජලය වඩාත් කාර්යක්ෂමව භාවිත කිරීමටත්, අධික ඝනත්ව වගාවන් සඳහා සහාය වීමටත්, නියඟයට ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කිරීමටත් විශාල පිටුවහලක් ලැබේ. කෙසේ වුවද, භූගත ජලය වගකීම් සහගත ලෙස කළමනාකරණය කරන බව පෙන්වා දිය හැකි අවස්ථාවලදී පවා, දැනට පවතින නල ළිං අනුමැතිය ලබා ගැනීමේ ක්‍රියා පටිපාටීන් හේතුවෙන් ආයෝජන ප්‍රමුඛතා ප්‍රමාද විය හැක.
පරිසර ආරක්ෂණය සහ කෘෂිකාර්මික ඵලදායීතාවය යනු එකිනෙකට පටහැනි හෝ තරඟකාරී ප්‍රමුඛතා විය යුතු නොවේ. විනිවිදභාවයකින් යුත්, විද්‍යාත්මක පදනමක් සහිත නියාමනයක් මගින් වගකීම් සහගත ආයෝජනවලට ඉඩ සලසන අතරම ජල සම්පත් සුරක්ෂිත කිරීමටද හැකියාව ලැබේ.
එලෙසම, ඵලදායී වතු ඉඩම් කළමනාකරණයක් පැවතීමද අත්‍යවශ්‍ය වේ. වගා බිම්, සේවක නිවාස සහ දිය පහරවල් ආශ්රිත රක්ෂිත ඉඩම් අනවසරයෙන් අත්පත් කර ගැනීම හේතුවෙන් මෙහෙයුම් කටයුතුවල අවිනිශ්චිතතාවයක් සහ පාරිසරික අවදානම් නිර්මාණය වේ. නීත්‍යානුකූල නියෝග බලාත්මක කිරීමේදී සිදුවන ප්‍රමාදයන් මෙම දුෂ්කරතා තවදුරටත් සංකීර්ණ කිරීමට හේතුවක් වේ.
සුදුසු නීතිමය ආරක්ෂණ ක්‍රමවේදයන් සහිතව, කලින් පුරෝකතනය කළ හැකි පරිදි නීතිය ක්‍රියාත්මක කිරීම මගින් ඉඩම් සහ අවට ප්‍රජාවන් ආරක්ෂා කරන අතරම ආයෝජකයින්ගේ විශ්වාසයද ඉහළ යනු නිසැකය.
මෙම අභියෝග එකිනෙකට සම්බන්ධ වී පවතින අතර ඒවාට ඇති විසඳුම්ද එලෙසමය. සුරක්ෂිත බදු කාලයක් ලැබීම මගින් නැවත වගා කිරීම් දිරිමත් වේ. පර්යේෂණ මගින් ඵලදායීතාවය සහ ගුණාත්මකභාවය ඉහළ නැංවීමට සහාය ලැබේ. වගා විවිධාංගීකරණය මගින් ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් වේ. සාධාරණ වෙළඳ විධිවිධාන මගින් නවෝත්පාදනයන් ඇගයීමට ලක්වන අතර, ඵලදායී නියාමනයක් මගින් දිගුකාලීන ආයෝජන සුරක්ෂිත කෙරේ.
වැවිලි කර්මාන්තය තාක්ෂණය වැළඳ ගැනීම, මෙහෙයුම් ප්‍රතිසංස්කරණ සහ වගකීම් සහගත ඉඩම් කළමනාකරණය හරහා තමන්ට පැවරුණ වගකීම නිසි අයුරින් ඉටු කළ යුතුය. ඒ අතරම, ප්‍රතිපත්ති සම්පාදකයින්ටද මෙවැනි ආයෝජන සාර්ථකව පවත්වාගෙන යා හැකි හිතකර වටපිටාවක් නිර්මාණය කිරීමට හොඳ අවස්ථාවක් තිබේ.
ශ්‍රී ලංකාව සතුව ජාත්‍යන්තරව පිළිගත් කෘෂිකාර්මික නිෂ්පාදන, ස්ථාවර අපනයන වෙළෙඳපොළවල්, පළපුරුදු නිෂ්පාදකයින් සහ තාක්ෂණික වෙනස්කම් සඳහා විශාල අවකාශයක් පවතී. මේවා අප සතු ඉතා සුවිශේෂී තරඟකාරී වාසි වේ.
එබැවින් අපගේ ඉලක්කය විය යුත්තේ අතීතයේ පැවති නිෂ්පාදන මට්ටම් නැවත ළඟා කර ගැනීම පමණක් නොවේ. සෑම හෙක්ටයාරයකින්ම උපරිම වටිනාකමක් ලබා ගත හැකි, වඩාත් විවිධාංගීකරණය වූ, ඵලදායී සහ ඔරොත්තු දීමේ හැකියාවෙන් යුත් කෘෂි ව්‍යාපාරික ආර්ථිකයක් ගොඩනැඟීමයි.
එම දැවැන්ත පරිවර්තනය සඳහා අවශ්‍ය මූලික පදනම දැනටමත් පවතී. ශ්‍රී ලංකාවට දැන් අවශ්‍ය වන්නේ එම පදනම මත ශක්තිමත්ව ඉදිරියට යාමට අවශ්‍ය ස්ථාවර ප්‍රතිපත්තිමය තීරණ ගැනීම පමණි.


