
Eco Spindles (Pvt) Ltd සහ ගුණදමින් Elephant House එක්ව රුවන්වැලිසෑය පරිශ්‍රය කේන්ද්‍ර කරගනිමින්, පොසොන් පොහෝ දිනට පසු දින විශේෂ පරිසර සුරැකීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කළේය. ඉවතලන ප්ලාස්ටික් අපද්‍රව්‍ය ප්‍රයෝජනවත් ද්‍රව්‍ය බවට පරිවර්තනය කළ හැකි බවට සමාජය දැනුවත් කිරීම අරමුණු කරගත් මෙම වැඩසටහනට ආයතනික සේවකයින්, ස්වේච්ඡා සේවකයින් සහ ප්‍රජා සාමාජිකයින් රැසක් එක්වූහ.
පොසොන් පොහොය දිනට පසු දින, එනම් 2026 ජූනි 30 වන දින අනුරාධපුරයේදී පවත්වන ලද මෙම ආයතනික සාමාජීය වගකීම් (CSR) වැඩසටහන සඳහා ස්වේච්ඡා සේවකයන් 60 දෙනෙකු එක්වූහ. ඊට Eco Spindles සහ Elephant House සමාගම්වල සේවකයන් 20 දෙනෙකු මෙන්ම Thilaka Eco Centre හි නියෝජිතයන් සහ ප්‍රදේශවාසීන් ඇතුළත් විය. නිසියාකාරව අපද්‍රව්‍ය එකතු කිරීම, වර්ග කිරීම සහ ප්‍රතිචක්‍රීකරණය කෙරෙහි අවධානය යොමු කළ මෙම ව්‍යාපෘතිය මගින් ශ්‍රී ලංකාවේ සංස්කෘතික හා ආගමික උරුමයන් සුරැකීමේ වැදගත්කම පිළිබඳව වන්දනාකරුවන් දැනුවත් කිරීමට ද පියවර ගැනුණි.
මෙම පිරිසිදු කිරීමේ වැඩසටහනේදී ඉවතලන ලද ප්ලාස්ටික් බෝතල් කිලෝග්‍රෑම් 350 කට ආසන්න ප්‍රමාණයක් එකතු කිරීමට හැකි විය. එම බෝතල් Eco Spindles සමාගම මගින් ප්‍රතිචක්‍රීකරණය කර නූල් සහ මොනොෆිලමන්ට් බවට පත්කිරීමට නියමිතය. ප්ලාස්ටික් අපද්‍රව්‍ය ප්‍රයෝජනවත් ද්‍රව්‍ය බවට පත්කරමින් චක්‍රීය ආර්ථිකයක් කරා ගමන් කිරීමට සමාගම දක්වන දායකත්වය මෙයින් මනාව පිළිඹිමු වේ.
Eco Spindles සමාගමේ ප්‍රතිචක්‍රීකරණ අංශයේ ප්‍රධාන විධායක නිලධාරී ප්‍රශාන්ත මලිම්බඩගේ මහතා අදහස් දක්වමින් මෙසේ පැවසීය. “අප රටේ සංස්කෘතික හා ආගමික වටිනාකම් සුරැකීමත්, පරිසරය ආරක්ෂා කිරීමත් එකිනෙකට සමානව සිදු විය යුතුයි. නිසි අපද්‍රව්‍ය කළමනාකරණය සහ ප්‍රතිචක්‍රීකරණය තුළින් දිගුකාලීන පාරිසරික වටිනාකමක් නිර්මාණය කළ හැකි බවත්, චක්‍රීය ආර්ථිකයට ප්‍රජාව සක්‍රීයව සම්බන්ධ කරගත හැකි බවත් මෙම වැඩසටහන මඟින් පෙන්වා දෙනවා.”
Elephant House සමාගමේ අලෙවි ප්‍රධානී දිල්ෂානි එදිරිසිංහ මහත්මිය අදහස් දක්වමින්, “වගකීම්සහගත ආයතනයක් ලෙස, අනාගත පරපුර වෙනුවෙන් සමාජයට යහපත් බලපෑමක් ඇති කිරීම අපගේ දැක්මයි. Eco Spindles, ස්වේච්ඡා සේවකයින් සහ ප්‍රදේශවාසීන් සමඟ අත්වැල් බැඳගනිමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීම තුළින්, පූජනීය උරුමය සුරැකීමට දායක වන අතරම වන්දනාකරුවන් තුළ පාරිසරික වගකීම්සහගත බව වර්ධනය කිරීමට අපට පුළුවන් වුණා.” යනුවෙන් පැවසුවාය.


