
ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශය (CRIB), තාක්ෂණික දායකත්වය සදහා ලංකා රේටිං ඒජන්සි (LRA) ආයතනය සමඟ එක්ව, කෘතිම බුද්ධිය (AI) පදනම් කරගත් Digital Dynamic Credit Ratings (DDCR) ව්‍යාපාර සදහා ණය ශ්‍රේණිගත කිරීමේ ක්‍රමවේදයක් පසුගියදා හඳුන්වා දෙන ලදී. මෙය සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් (SME) විසින් ණය සහ මුදල් ආයෝජන ලබා ගැනීමේදී ඇගයීමේ හැකියාව නව තලයකට ගෙන යන ක්‍රමවේදයකි.
මෙලෙස සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් මුහුණ දෙන ප්‍රධානතම බාධාවක් වන්නේ, ඔවුන්ගේ ආදායම්, වියදම් සහ ණය වාර්තා ඇගයීමට විධිමත් දත්ත පද්ධතියක් නොමැතිකම වේ. මෙම ගැටලුවට සාර්ථක විසඳුම් ලබා ගැනීමට DDCR නව ඩිජිටල් ශ්‍රේණිගත කිරීමේ ක්‍රමවේදය මගින් හැකියාව ඇත.
මෙම Digital Dynamic Credit Ratings (DDCR) ආකෘතිය සකස් කිරීමේදී ආර්ථික අස්ථාවරත්වයන්, පොලී අනුපාත වෙනස්වීම්, උද්ධමනය සහ විවිධ ක්ෂේත්‍රවලට අදාළ අවදානම් තත්ත්වයන් යටතේ පරීක්ෂාවට ලක් කර ඇත. ණය ලබා දීමේදී සිදුවිය හැකි අවදානම් කල්තියා හඳුනා ගැනීමටත්, වඩාත් නිවැරදි මූල්‍ය තීරණ ගැනීමටත් මෙය ඉවහල් වේ. සිංගප්පූරුවේ INF Technologies ආයතනය සමඟ එක්ව ගෝලීය තාක්ෂණික දැනුමද මෙම ආකෘතියට එක් කිරීමට ලංකා රේටිං ඒජන්සි ආයතනය පියවර ගෙන ඇත.
ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශයේ අධ්‍යක්ෂ/සාමාන්‍යාධිකාරී පුෂ්පික ජයසුන්දර මහතා මෙම සුවිශේෂී පියවර පිළිබඳව අදහස් දක්වමින් පවසා සිටියේ, “විශ්වාසනීය දත්ත සහ නවීන තාක්ෂණය භාවිත කරමින් ශ්‍රී ලංකාවේ මූල්‍ය යටිතල පහසුකම් ශක්තිමත් කිරීමට CRIB නිරන්තරයෙන් කැපවී සිටිනවා. මෙම නව ණය ශ්‍රේණිගත කිරීමේ ආකෘතිය හරහා ණය තොරතුරු ලබා දීම පමණක් නොව, එම දත්ත මූල්‍ය පද්ධතියේ ප්‍රගතිය උදෙසා ප්‍රායෝගිකව භාවිත කළ හැකි තොරතුරු බවට පරිවර්තනය කිරීමට අපට හැකියාව තිබේ” යන්නයි.
සිංගප්පූරුවේ INF Technologies හි හවුල්කරුවකු වන, ආචාර්ය ඇලන් කුයි (Dr. Alan Qi) මහතා තාක්ෂණික සහයෝගීතාව පිළිබඳව අදහස් දක්වමින්,”කෘතිම බුද්ධිය හරහා ලෝකයේ ණය පද්ධති ක්‍රියාත්මක වන ආකාරය සහ ඒවා අර්ථකථනය කරන ආකාරය සම්පූර්ණයෙන්ම වෙනස් වෙමින් පවතිනවා. DDCR ආකෘතිය අනාගතයට ගැලපෙන, කාලීනව වෙනස් වන දත්ත විශ්ලේෂණය කළ හැකි ක්‍රමවේදයක්. ජාතික මට්ටමේ ආර්ථික ස්ථාවරත්වය ශක්තිමත් කිරීමට මෙවැනි පද්ධතීන් අත්‍යවශ්‍යය,”යැයි ප්‍රකාශ කරන ලදී.
ලංකා රේටිං ඒජන්සි ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය කෙනත් ද සිල්වා මහතා DDCR ක්‍රමවේදය පිළිබදව අදහස් දක්වමින් පවසා සිටියේ, “මෙය ශ්‍රී ලංකාවේ මූල්‍ය ක්ෂේත්‍රයේ තීරණාත්මක සන්ධිස්ථානයක්. ලංකා රේටිං ඒජන්සි ආයතනය සහ ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශය එක්ව හඳුන්වා දුන් මෙම ව්‍යාපාර ණය ශ්‍රේණිගත කිරීමේ ක්‍රමය මගින් වඩාත් නිවැරදි සහ පුරෝකථනය කළ හැකි ණය ශ්‍රේණිගත කිරීම් සිදු කළ හැකියි. INF Technologies සමඟ ඇති කරගත් හවුල්කාරීත්වය හරහා මෙම ආකෘතියේ තාක්ෂණික පදනම තවදුරටත් ශක්තිමත් වී ඇත.” යන්නයි.
මෙම ඒකාබද්ධ ප්‍රයත්නය මගින් කලාපීය වශයෙන් ණය ශ්‍රේණිගත කිරීමේ නව්‍ය ක්‍රමවේදයන් අතින් ශ්‍රී ලංකාව පෙරමුණට පැමිණ ඇත. ඉදිරි මාස කිහිපය තුළ මෙම පද්ධතිය පියවර කිහිපයක් ඔස්සේ සම්පූර්ණයෙන්ම ක්‍රියාවට නැංවීමට සැලසුම් කර ඇත.
1990 අංක 18 දරන ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශ පනතින් (1995 අංක 8 සහ 2008 අංක 42 දරන පනත් මඟින් සංශෝධිත) ස්ථාපිත කරන ලද CRIB ආයතනය, දකුණු ආසියානු කලාපයේ ප්‍රථම ණය තොරතුරු කාර්යාංශයයි. ශ්‍රී ලංකා මහ බැංකුවේ සහ මුදල් අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් ඇරඹි මෙම කාර්යාංශය, සියලුම ණය ලබාගන්නන්ගේ තොරතුරු සුරක්ෂිතව තබා ගන්නා ජාතික මධ්‍යස්ථානය ලෙස කටයුතු කරමින්, වඩාත් වේගවත් හා අඩු පිරිවැයකින් යුත් ණය පහසුකම් ලබා ගැනීමට සහ මූල්‍ය අන්තර්ගතභාවය (Financial Inclusion) ප්‍රවර්ධනය කිරීමට සහාය වන සේවාවන් රැසක් සපයනු ලබයි.
මූල්‍ය විශ්ලේෂණ සහ ශ්‍රේණිගත කිරීමේ ක්ෂේත්‍රයේ නියැලෙන ආයතනයක් වන ලංකා රේටිං ඒජන්සි (LRA) ආයතනය, විනිවිදභාවයෙන් යුතු මූල්‍ය වෙළඳපොළක් නිර්මාණය කිරීමට තාක්ෂණික විසඳුම් සපයනු ලබයි. සිංගප්පූරුවේ පිහිටි INF Technologies ආයතනික මට්ටමේ කෘතිම බුද්ධි (AI) සහ දත්ත විසඳුම් සම්බන්ධයෙන් ලොව පිළිගත් තාක්ෂණික සමාගමකි.


