DFCC බැංකුව අඛණ්ඩව 3 වන වරටත් Euromoney Cash Management – Market Leader සම්මානය දිනාගනී

DFCC (LBN)

 



 

 

වර්තමානයේ පවතින ප්‍රවේගකාරී මූල්‍ය සේවා ක්ෂේත්‍රය තුළ විශිෂ්ටත්වය වෙනුවෙන් ඇගයීමට ලක්වීම පහසු නැත. ඒ සඳහා නවෝත්පාදනය, පාරිභෝගිකයන්ගේ යහපත උදෙසා වන නොසැලෙන කැපවීම, ව්‍යාපාර කෙරෙහි පරිවර්තනීය බලපෑමක් ඇතිකිරීම, ශක්තිමත් වටිනාකම් පද්ධතියක් තිබීම සහ දීප්තිමත් අනාගතයක් උදෙසා ඉටුකරන මෙහෙවර වැනි සාධක රැසක් අවශ්‍ය වේ. තමන් මෙම සාධක මැනැවින් සපුරා ඇති බව යළිත් තහවුරු කරමින් DFCC බැංකුව අඛණ්ඩව 3 වන වරටත් Euromoney Cash Management – Market Leader සම්මානය දිනාගැනීමට පසුගියදා සමත් විය. මෙම සුවිශේෂී ජයග්‍රහණය, වර්තමාන ආර්ථික පරිසරය තුළ සාර්ථක වීමට ව්‍යාපාර සවිබල ගන්වන, නව්‍ය, සේවා-නැඹුරු සහ පාරිභෝගික-කේන්ද්‍රීය මූල්‍ය විසඳුම් සැපයීමේ පුරෝගාමියෙකු ලෙස DFCC බැංකුව සතු පිළිගැනීම නැවතත් තහවුරු කරයි.

DFCC iConnect යනු නවීන තාක්ෂණය භාවිතා කරමින් සුරක්ෂිත, කාර්යක්ෂම හා ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතාවන්ට අනුකූලව සකස් කළ හැකි ඩිජිටල් ගෙවීම් විසඳුම් සහ මුදල් කළමනාකරණ විසඳුම් සපයන ඩිජිටල් බැංකු සේවාවකි. එමෙන්ම මෙම සේවාව තවදුරටත් කාර්යක්ෂම කරමින් නිරතුරුවම නවතම තාක්ෂණය සමගින් නිරන්තරයෙන් යාවත්කාලීන කිරීමටද DFCC බැංකුව පියවර ගනී.

“අඛණ්ඩව 3 වන වරටත් Euromoney Cash Management – Market Leader සම්මානය හිමි වීම අප ලැබූ සුවිශේෂී ජයග්‍රහණයක්. එය විශිෂ්ටත්වය හා නවෝත්පාදනය උදෙසා අප තුළ ඇති කැපවීම නිරූපණය කරමින්, වෙළඳපොළ ප්‍රමුඛයා ලෙස අප සතු ස්ථානය නැවතත් තහවුරු කර තිබෙනවා. ඉදිරියේදී මෙය තවත් දියුණු කරමින් ගනුදෙනුකරුවන්ට මීටත් වඩා විශිෂ්ට සේවාවක් ලබාදීම අපගේ බලාපොරොත්තුවයි. හුදෙක් සේවාවක් සැපයීමෙන් නොනැවතී, විශ්වාසය සහ දීර්ඝකාලීන සම්බන්ධතා ගොඩනංවා ගැනීම ඉලක්ක කරගත් අපගේ පාරිභෝගික-කේන්ද්‍රීය ප්‍රවේශය නිසා, අප මෙරට සෑම ප්‍රමාණයකම ව්‍යාපාරවල ප්‍රමුඛතම තේරීමක් බවට පත් වී තිබෙනවා. ඒ වෙනුවෙන් අපගේ ගනුදෙනුකරුවන්ට ස්තූතිවන්ත වන අතරම, ශ්‍රී ලංකාවේ ඩිජිටල් මූල්‍ය සේවාවන් අතර පෙරමුණේ සිටීමට අප දක්වන කැපවීම නැවත වරක් අවධාරණය කිරීමට මෙය අවස්ථාවක් කරගැනීමට මා කැමතියි.” DFCC බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී තිමල් පෙරේරා මහතා පැවසී ය.

ව්‍යාපාරවල එදිනෙදා කටයුතුවලදී අවශ්‍ය වන මැදිහත්වීම අවම කරමින්, ඒවා වඩාත් කාර්යක්ෂම හා පහසු කිරීමේ හැකියාව DFCC iConnect සතු ය. එමෙන්ම වේගයෙන් වෙනස් වන මූල්‍ය සේවා ක්ෂේත්‍රය තුළ ඉක්මනින් අනුවර්තනය වීමට එයට ඇති හැකියාව නිසා ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු බවට පත්වීමට එයට හැකියාව ලැබී තිබේ. ඉහළම තලයේ දත්ත ආරක්ෂණ ප්‍රමිතීන් අනුගමනය කරන DFCC iConnect සේවාව, දැඩි මූල්‍ය රෙගුලාසිවලට අනුකූලව ක්‍රියාත්මක වන අතර, එම නිසා ගනුදෙනුවල ආරක්ෂාව මෙන්ම විනිවිදභාවයද තහවුරු වේ.

ඉහත සඳහන් ගුණාංග හේතුවෙන් DFCC iConnect යනු ඕනෑම ප්‍රමාණයක ව්‍යාපාරයකට ගැළපෙන සේවාවක් බවට පත් වී ඇත. මෙය සැලසුම් කර කළමනාකරණය කරනු ලබන්නේ ක්ෂේත්‍රයේ ඉදිරියෙන්ම සිටින පළපුරුදු වෘත්තිකයන් කණ්ඩායමක් විසිනි. ඔවුන්ගේ දක්ෂතාව හේතුවෙන් තරගකාරීත්වය අභිභවා ඉදිරියටම පැමිණීමට DFCC iConnect සේවාවට හැකි වී තිබේ.

මේ වනවිට DFCC iConnect සේවාව පූර්ණ වැඩිදියුණු කිරීමකට ලක්කෙරෙමින් පවතින අතර, 2024 වර්ෂයේ මුල් භාගයේදී එය වඩාත් කාර්යක්ෂම සේවාවක් ලෙස නව අංග රැසක්ද සමගින් යළි දියත් වනු ඇත. මෙම වෙනස්කම් අතරට වෙළඳ මූල්‍ය සේවා සහ සැපයුම් දාම මූල්‍ය පහසුකම් මොඩියුල ඇතුළත් කිරීම ඇතුළු විශේෂාංග රැසක් ඇතුළත් වී තිබේ.

අඛණ්ඩව 3 වන වරටත් Euromoney Cash Management – Market Leader සම්මානයෙන් පිදුම් ලැබීම තුළින් පන්නරය ලබමින්, ඉදිරියේදී මෙම සේවාව තවදුරටත් වැඩිදියුණු කරමින්, ගනුදෙනුකරුවන්ට වඩාත් විශිෂ්ට සේවාවක් ලබාදීම DFCC බැංකුවේ අරමුණ වී ඇත.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව