
ඩිජිටල් අධ්යාපනය සහ අනාගතයට ගැලපෙන කුසලතා සංවර්ධනය කිරීමේ සිය කැපවීම නැවතත් ප්රදර්ශනය කරමින් කොමර්ෂල් බැංකුව සිය 200 වැනි STEM (විද්යාව, තාක්ෂණය, ඉංජිනේරු විද්යාව සහ ගණිතය) පන්ති කාමරය පානදුර අගමැති බාලිකා මහා විද්යාලයේදී විවෘත කර ඇත. ශ්රී ලංකාවේ අධ්යාපන ක්ෂේත්රය නංවාලීම සඳහා බැංකුව සිදුකරන දායකත්වයේ තවත් සුවිශේෂී සන්ධිස්ථානයක් මෙයින් සනිටුහන් කරයි.
දිවයින පුරා සිසුන් 325 000 කට අධික පිරිසකට නවීන තාක්ෂණය මුසු අධ්යාපනය ලබාදෙන බැංකුවේ දිගුකාලීන වැඩසටහනේ තවත් පියවරක් ලෙස මෙම පරිත්යාගය සැලකිය හැක. පහසුකම්ලාභී පාසලේ 1 ශ්රේණියේ සිට 13 ශ්රේණිය දක්වා සිසුන් 2500 කට අධික පිරිසක් අධ්යාපනය ලබන අතර ගුරු මණ්ඩලය 110 දෙනෙකුගෙන් සමන්විත වේ. නව STEM පන්ති කාමරය මඟින් නවීන ආර්ථිකයට අදාල ප්රධාන තාක්ෂණයන් පිළිබඳ ප්රායෝගික අත්දැකීම් ලබාගැනීමට සිසුන්ට අවස්ථාව සැලසේ.
නවීන SMART Board තිරයකින් සහ ලිවීමේ පහසුකම් සහිත පුටුවලින් නවීන ඉගෙනුම් පරිසරයක් ලබා දෙන ලෙස මෙම STEM පන්ති කාමරය ස්ථාපිත කර තිබේ. මෙම පහසුකම මඟින් STEM සහ තොරතුරු තාක්ෂණ විෂයයන් බහුමාධ්ය තාක්ෂණය ඔස්සේ ඉගැන්වීමට ගුරුවරුන්ට අවස්ථාව සැලසේ. එමෙන්ම කණ්ඩායම් වශයෙන් ඉගෙනීම, පරිගණක කේතකරණය සහ ඩිජිටල් කුසලතා වර්ධනය කරගැනීමට ද සිසුන්ට අවස්ථාව හිමිවන අතර ඒ සඳහා පාසලේ තොරතුරු තාක්ෂණ අංශය ද වැදගත් දායකත්වයක් ලබාදෙයි.
අධ්යාපනය සහ ඩිජිටල් සාක්ෂරතාවය නංවාලීම සඳහා වන දීර්ඝකාලීන කැපවීමේ කොටසක් ලෙස කොමර්ෂල් බැංකුවේ STEM පන්ති කාමර වැඩසටහන හඳුනාගත හැකිය. මෙම වැඩසටහන 2020 වසරේ බැංකුවේ සියවස් සැමරුමට සමගාමීව ආරම්භ ‘Smart STEM පාසල් 100’ ව්යාපෘතිය හරහා තවදුරටත් පුළුල් විය. එම ව්යාපෘතිය යටතේ පාසල් 100 ක පන්ති කාමර සඳහා ඩිජිටල් අධ්යාපනික අන්තර්ගතයන් හඳුන්වා දෙන ලදී. බැංකුව විසින් එම පන්ති කාමර අලුත්වැඩියා කර, අවශ්ය ගෘහභාණ්ඩ සහ උපකරණ සපයා සකස් කල අතර ඩිජිටල් අධ්යාපනික අන්තර්ගතයන් ඵලදායී ලෙස භාවිත කිරීම සඳහා ගුරුවරුන්ට පුහුණුව ද ලබා දෙන ලදී.
මීට අමතරව, පාසල් සිසුන්ගේ ඩිජිටල් අධ්යාපනය නංවාලීම සඳහා කොමර්ෂල් බැංකුව තොරතුරු තාක්ෂණ විද්යාගාර 400 කට අධික සංඛ්යාවක් පරිත්යාග කර ඇති අතර එමඟින් දිවයින පුරා සිසුන් 500,000 කට අධික පිරිසකට ප්රතිලාභ සැලසී ඇතැයි ඇස්තමේන්තු කර තිබේ. විද්යාව, තාක්ෂණය, ඉංජිනේරු විද්යාව සහ ගණිතය යන විෂයයන් ඉගැන්වීම සඳහා තාක්ෂණය යොදා ගැනීමට අවශ්ය පහසුකම් සලසමින් STEM පන්ති කාමර ද මෙම වැඩසටහනට එක්වී ඇත.
අගමැති බාලිකා මහා විද්යාලයේ විදුහල්පති අනුරාධ වැලිකඩ මහතා පැවසුවේ නව පන්ති කාමරය තුළින් සිසුන්ට වඩාත් ක්රියාකාරී හා ප්රායෝගික අධ්යාපන අත්දැකීමක් ලබාගැනීමටත් අධ්යාපන කටයුතු සඳහා තාක්ෂණය වැඩි වශයෙන් භාවිත කිරීමටත් අවස්ථාව සැලසෙන බවයි. “මෙම පන්ති කාමරය තුළින් සිසුන්ට වඩාත් ප්රායෝගිකව හා උනන්දුවෙන් ඉගෙනීමට අවස්ථාව හිමි වන අතර විශේෂයෙන්ම තාක්ෂණය භාවිත කිරීමේ විශ්වාසය ගොඩනඟා ගැනීමටත් අනාගත අධ්යාපන කටයුතු සහ රැකියා ජීවිතයට වැදගත් වන කුසලතා වර්ධනය කර ගැනීමටත් අපේ සිසුවියන්ට මෙවැනි පහසුකම් ලැබීම පිළිබඳව අපි සතුටු වෙනවා,” යැයි ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
ඇමරිකානු ඩොලර් බිලියන 1 ඉක්මවන වෙළඳපල ප්රාග්ධනීකරණයක් සහිත පළමු ශ්රී ලාංකික බැංකුව කොමර්ෂල් බැංකුව වන අතර, එක්සත් රාජධානියේ ද බෑන්කර් සඟරාව විසින් ප්රකාශයට පත් කරන ලද ලොව කීර්තිමත් බැංකු 1000 ශ්රේණිගත කිරීම්වල 2026 සංස්කරණයේ ශ්රී ලංකාවේ අංක 1 බැංකුව ලෙස ශ්රේණිගත විය. ශ්රී ලංකාවේ සියලුම බැංකු අතරින් ඉහළම ප්රාග්ධන පදනමක් ඇති කොමර්ෂල් බැංකුව, ශ්රී ලංකාවේ පුද්ගලික අංශයේ විශාලතම ණය දෙන්නා වේ. බිස්නස් ටුඩේ සඟරාවේ හි ඉහළම ආයතන 40 අතර අංක 1 ශ්රේණිගත කර ඇති කොමර්ෂල් බැංකුව ශ්රී ලංකාවේ වඩාත්ම ගෞරවනීය සහ වඩාත්ම සම්මානලාභී බැංකුව ලෙස පිළිගැනේ. ඩිජිටල් නවෝත්පාදනයේ ප්රමුඛයා වන කොමර්ෂල් බැංකුව ශ්රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප්රථම බැංකුව ද වේ.
දිවයින පුරා උපායමාර්ගිකව පිහිටා ඇති ශාඛා 270කට අධික සංඛ්යාවක් සහ පුළුල් ස්වයංක්රීය යන්ත්ර ජාලයක් ක්රියාත්මක කරන කොමර්ෂල් බැංකුව බංග්ලාදේශයේ ශාඛා 21 ක්, මාලදිවයිනේ බහුතර කොටස් හිමිකාරිත්වයක් සහිත පූර්ණ මට්ටමේ පළමු පෙළ බැංකුවක්, මියන්මාරයේ ක්ෂුද්ර මූල්ය සමාගමක් සහ ඩුබායි ජාත්යන්තර මූල්ය මධ්යස්ථානය (DIFC) තුළ නියෝජිත කාර්යාලයක් සමඟින් ශ්රී ලාංකික බැංකු අතර පුළුල්ම ජාත්යන්තර පියසටහනක් තබා ඇත. මීට අමතරව බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය දරන CBC ෆිනෑන්ස් පීඑල්සී සහ කොමර්ෂල් ඉන්ෂුවරන්ස් බ්රෝකර්ස් සමාගම තම ශාඛා ජාල හරහා පුළුල් පරාසයක මූල්ය සේවා සපයයි.


