
ආර්ථික වර්ධනයේ ප්‍රධාන ගාමක බලවේගයක් ලෙස කොළඹ වරාය නගරයේ භූමිකාව නව ආයෝජන මඟින් තවදුරටත් ශක්තිමත් කෙරේ
කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනතේ රෙගුලාසිවලට යටත්ව, ක්‍රමෝපාය වැදගත්කමක් ඇති ව්‍යාපාර (Businesses of Strategic Importance – BSIs) 77ක් සඳහා 2026 අප්‍රේල් මාසයේදී කැබිනට් අනුමැතිය හිමිවීමත් සමඟ, කොළඹ වරාය නගරය කලාපීය ප්‍රමුඛතම ව්‍යාපාරික සහ ආයෝජන ගමනාන්තයක් ලෙස සිය සංවර්ධන ගමනේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කර ඇත.
මෙම අනුමැතිය ලබා දීම, කොළඹ වරාය නගරය විශේෂ ආර්ථික කලාපයේ (SEZ) වර්ධනය ඉදිරියට ගෙනයාම වෙනුවෙන් තැබූ දැවැන්ත පියවරක් වන අතර, ආයෝජන, නවෝත්පාදන සහ ජාත්‍යන්තර වෙළඳ සේවා සඳහා වන ගෝලීය වශයෙන් අනුබද්ධිත වේදිකාවක් ලෙස එහි ස්ථානය තවදුරටත් තහවුරු කරන්නකි.
අනුමැතිය ලත් ආයතන අතර ක්‍රමෝපාය වැදගත්කමක් ඇති ප්‍රාථමික ව්‍යාපාර තුනක් ඇතුළත් වේ. ඒ අනුව, යාත්‍රාංගණය ඉදිරිපිට නේවාසික සංකීර්ණයක් සහ යාත්‍රාංගණ ආශ්‍රිත සංවර්ධන කටයුතු දියත් කිරීම වෙනුවෙන් Prime Melwa Port City (Pvt) Ltd සහ Marina Hotel Holdings (Pvt) Ltd සමාගම් කටයුතු කරන අතර, විශේෂ ආර්ථික කලාපය තුළ පිහිටි Central Park යාබදව නිවාස, කාර්යාල සහ වෙළඳසැල් ඇතුළත් බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම Home Lands Port City (Pvt) Ltd සමාගම වෙත පැවරී ඇත. මෙම ව්‍යාපෘතිවල ඉඩම් සහ සංවර්ධන පිරිවැය එකතුව රුපියල් බිලියන 125ක් පමණ වන අතර, ඉදිරි වසර පහ තුළ මෙරටට ගලා ඒමට නියමිත ඇමෙරිකානු ඩොලර් මිලියන 262ක විදේශ ආයෝජන ද ඊට ඇතුළත් වේ.

සංවර්ධකයන්ගෙන් ලැබී ඇති ප්‍රතිපෝෂණවලට අනුව, සැලසුම් කර ඇති නේවාසික සහ බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘති සඳහා, වෙළඳපොළ තුළ සිටින පාරිභෝගිකයින්ගේ සහ ආයෝජකයින්ගේ ඉහළ උනන්දුවක් පවතින බව පෙනී යයි. මෙම ඉල්ලුම, කොළඹ වරාය නගරයේ නැඟී එන දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ ආකර්ෂණීය බව මනාව කියාපාන අතර, තරගකාරී කලාපීය ආයෝජන කේන්ද්‍රස්ථානයක් ලෙස ශ්‍රී ලංකාවේ අනාගතය කෙරෙහි ඇති විශ්වාසය වර්ධනය වීම ද ඉන් පිළිබිඹු වේ.
මීට සමගාමීව, අනුමැතිය ලත් ක්‍රමෝපාය වැදගත්කමක් ඇති ද්විතීයික ව්‍යාපාර හරහා එම කාලසීමාව තුළදීම ඇමෙරිකානු ඩොලර් මිලියන 364ක පමණ විදේශ විනිමය ගලා ඒමක් අපේක්ෂා කරන අතර, සෘජු රැකියා අවස්ථා 10,000ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් උත්පාදනය කිරීමට ද අපේක්ෂිතය.
මෙම ජයග්‍රහණ අත්කර ගැනීමට හැකි වූයේ, පාලන ව්‍යුහයන් ශක්තිමත් කිරීම, නියාමන අධීක්ෂණය විධිමත් කිරීම සහ විශේෂ ආර්ථික කලාපය තුළ ව්‍යාපාර කිරීමේ පහසුව තවදුරටත් ඉහළ නැංවීම වෙනුවෙන් සම්මත කරන ලද 2026 අංක 1 දරන කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභා (සංශෝධන) පනත ක්‍රියාත්මක වීමත් සමඟය. මෙම සමස්ත ප්‍රගතිය මඟින් විනිවිදභාවයකින් යුතු, කාර්යක්ෂම සහ ජාත්‍යන්තර වශයෙන් තරගකාරී ආයෝජන පරිසරයක් නිර්මාණය කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා රජය සහ කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව (CPCEC) සතු අඛණ්ඩ කැපවීම මනාව ප්‍රදර්ශනය කරයි.
රටේ ආර්ථිකයට සුවිශේෂී බලපෑමක් ඇති කරන ව්‍යාපාර ලෙස නම් කරනු ලබන්නේ, ප්‍රාග්ධන ආයෝජන, රැකියා උත්පාදනය, විදේශ විනිමය උපයන්නන් සහ ගෝලීය වෙළඳපොළ සමඟ ඒකාබද්ධ වීම හරහා රටේ ආර්ථිකයට ප්‍රමාණාත්මක බලපෑමක් ඇති කිරීමට ඇති හැකියාව පදනම් කරගෙනය. අනුමැතිය ලත් ව්‍යාපාර, සමුද්‍රීය හා මූල්‍ය පහසුකම්, තොරතුරු තාක්ෂණය, ඩිජිටල් ආර්ථිකය, කලාපීය මූලස්ථාන මෙහෙයුම්, සංචාරක සහ විවේකී කටයුතු මෙන්ම දේපළ වෙළඳාම් සංවර්ධනය ඇතුළු විවිධ ක්ෂේත්‍ර ගණනාවක් පුරා විහිදී පවතී. සුදුසුකම් ලත් ආයතන සඳහා යටිතල පහසුකම් සංවර්ධනය සහ ජාත්‍යන්තර වෙළඳ සේවා සැපයීම දිරිමත් කිරීම වෙනුවෙන් විශේෂිත මූල්‍ය සහ මූල්‍ය නොවන දිරිගැන්වීම් රැසක්ද හිමි වේ.

කොළඹ වරාය නගරයේ නියාමකයා වන කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව, සියලුම අනුමැතීන් සහ පහසුකම් එකම ස්ථානයකින් ලබා දීමේ විධිමත් ක්‍රියාවලියක් ක්‍රියාත්මක කරන අතර, එමඟින් ආයෝජකයන්ට ව්‍යාපාර ස්ථාපිත කිරීම සඳහා මැනවින් සම්බන්ධීකරණය වූ කඩිනම් සේවාවක් සලසා දෙයි.
මැද පෙරදිග කලාපයේ පවතින භූදේශපාලනික තත්ත්වයන් ඇතුළු ගෝලීය ව්‍යාපාරික වෙනස්වීම් සැලකිල්ලට ගනිමින්, වරාය නගරය තුළ සිය අතිරේක මෙහෙයුම් ආරම්භ කිරීමට කැමති ව්‍යාපාර සඳහා කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව විශේෂ කඩිනම් පහසුකම් සැලසීමේ වැඩසටහනක් හඳුන්වා දී ඇත. මෙමඟින් අවශ්‍ය පසුබිම් පරීක්ෂාවලින් පසු, දින 7ක් ඇතුළත ආයෝජකයන් ‘බලයලත් තැනැත්තෙකු’ (Authorised Person – AP) ලෙස ලියාපදිංචි කර ඩිජිටල් ක්‍රමයට ගිවිසුම් අත්සන් කළ හැකිය. එමෙන්ම සේවා වීසා බලපත්‍ර ද වැඩකරන දින 5ක් ඇතුළත නිකුත් කෙරෙන බැවින්, කාර්ය මණ්ඩලය කඩිනමින් අනුයුක්ත කරමින් ව්‍යාපාරික මෙහෙයුම් ඉතා ඉක්මනින් ආරම්භ කිරීමට ආයෝජකයන්ට අවස්ථාව ලැබේ.
මෙම ව්‍යාපෘතියේ රාජ්‍ය-පෞද්ගලික හවුල්කරු සහ ප්‍රධාන සංවර්ධකයා වන CHEC Port City Colombo (Pvt) Ltd සමාගම, ඉඩම් ගොඩකිරීම සහ මූලික යටිතල පහසුකම් වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 1.4ක් පමණ ආයෝජනය කරමින් ආයෝජකයන්ට වහාම වැඩ ආරම්භ කළ හැකි පරිසරයක් නිර්මාණය කර ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස, ආයෝජකයන්ට සහ සංවර්ධකයන්ට දැන් විශේෂ ආර්ථික කලාපය තුළ පවතින ඉඩම් කොටස් සඳහා කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව සමඟ බදු ගිවිසුම්වලට එළඹිය හැකිය. එමෙන්ම ඉදිකිරීම් සහ මෙහෙයුම් ආරම්භ කිරීමට අවශ්‍ය සංවර්ධන බලපත්‍ර, සැලසුම් අනුමැතීන් සහ අනෙකුත් නියාමන නිෂ්කාශන එකම ස්ථානයකින් කඩිනමින් ලබා දීමේ විධිමත් ක්‍රියාවලියේ ප්‍රතිලාභ ද ඔවුන්ට හිමි වේ.
සම්පූර්ණ වූ පසු ඇස්තමේන්තුගත සංවර්ධන වටිනාකම ඇමෙරිකානු ඩොලර් බිලියන 15ක් පමණ වන කොළඹ වරාය නගරය, දකුණු ආසියාවේ විශාලතම සෘජු විදේශ ආයෝජන ව්‍යාපෘතිවලින් එකකි. දකුණු ආසියාවේ ප්‍රධාන වෙළඳ පිවිසුම මෙන්ම කලාපීය ව්‍යාපාරික සහ නවීන ජීවන රටා කේන්ද්‍රස්ථානයක් ලෙස ස්ථානගත කර ඇති මෙම විශේෂ ආර්ථික කලාපය, ආයෝජකයන්ට නෛතික ස්ථාවරත්වය, තරගකාරී මෙහෙයුම් පිරිවැය, උපායමාර්ගික සන්නිවේදන සබඳතා සහ ජාත්‍යන්තර මට්ටමේ පාලන ප්‍රමිතීන්ගේ සුවිශේෂී එකතුවක් පිරිනමයි. මෙම වාසිදායක තත්ත්වයන් හරහා උසස් තත්ත්වයේ ආයෝජන ආකර්ෂණය කර ගැනීමටත්, නව රැකියා උත්පාදනය කිරීමටත්, කලාපීය මෙන්ම ගෝලීය වෙළඳපොළට ප්‍රවේශ වීමටත් හැකි වන අතර, එය ශ්‍රී ලංකාවේ දිගුකාලීන ආර්ථික වර්ධනය සහ තරගකාරීත්වය තවදුරටත් ශක්තිමත් කරනු ඇත.
මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය සමඟ එක්ව ආයෝජන දිරිගැන්වීමට, නීතිමය පියවරයන් තවදුරටත් සරල කිරීමට සහ ශ්‍රී ලංකාවේ දිගුකාලීන සංවර්ධන අරමුණුවලට ගැළපෙන, ඉහළ වටිනාකමකින් යුතු අපනයන සහ සේවා ගණයේ කර්මාන්තයන්හි වර්ධනයට අඛණ්ඩව සහය වීමට කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව නිරන්තරයෙන් කැපවී සිටියි.
කොළඹ වරාය නගරය විශේෂ ආර්ථික කලාපයේ පවතින ආයෝජන අවස්ථා පිළිබඳ වැඩිදුර තොරතුරු සඳහා කරුණාකර www.portcitycolombo.lk වෙත පිවිසෙන්න. එමෙන්ම එහි පවතින නීතිමය රාමුව, එකම ස්ථානයකින් සියලු අනුමැතීන් ලබා දීමේ සේවාවන්, ලියාපදිංචි ව්‍යාපාර සහ අයදුම් කිරීමේ ක්‍රියා පටිපාටි පිළිබඳ විස්තර දැනගැනීම සඳහා www.portcitycolombo.gov.lk වෙබ් අඩවියට පිවිසිය හැකිය.


