Arimac සම නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී චමීර ජයසිංහ, මෙරට වසරේ AI ප්‍රමුඛයා බවට පත් වෙයි

Arimac Image 1 (LBN)

සමාගම් මට්ටමින් තවත් සම්මාන දෙකක් හිමිකර ගනිමින් Arimac සමාගම 2026 ජාතික AI සම්මාන උළෙලේදී සම්මාන ත්‍රිත්වයකින් පිදුම් ලබයි

කොළඹදී: ශ්‍රී ලංකාවේ ඩිජිටල් තාක්ෂණ ක්ෂේත්‍රයේ පුරෝගාමියෙකුවන Arimac සමාගම, පසුගියදා පැවති 2026 ජාතික AI සම්මාන උළෙලේදී ජාතික සම්මාන තුනක් හිමිකර ගැනීමට සමත් විය. AI Leadership, බැංකුකරණය සහ මුල්‍යකරණය මෙන්ම සිංහල සහ ද්‍රවිඩ AI නවෝත්පාදනය යන අංශ යටතේ එම සමාගම එලෙස සම්මානයට පාත්‍ර වූයේය. ශ්‍රී ලංකාවේ AI තාක්ෂණය පදනම් කර ගත් නවෝත්පාදනය සහ තාක්ෂණික පරිවර්තනය වෙනුවෙන් දැක්වූ දායකත්වය වෙනුවෙන් Arimac සමාගමේ සම නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී චමීර ජයසිංහ මහතා හට මෙහිදී ජාතික AI Leadership විශිෂ්ටතා සම්මානය හිමි විය.




තවද, කර්මාන්ත හා ක්ෂේත්‍ර විශිෂ්ටතා සම්මාන යටතේ බැංකුකරණ, මුල්‍යකරණ සහ රක්ෂණ ක්ෂේත්‍ර තුළ විශිෂ්ටතම AI විසඳුම සඳහා පිදෙන රන් සම්මානය ද, නවෝත්පාදන හා අනාගතවාදී සම්මාන යටතේ විශිෂ්ටතම සිංහල/ද්‍රවිඩ AI හා දේශීයකරණ නවෝත්පාදන අංශයේ රිදී සම්මානය ද එම සමාගම හිමිකර ගත්තේය.

සැබෑ ව්‍යාපාරික ප්‍රතිඵල හිමිකර දීම සඳහා Arimac සමාගම නිර්මාණය කරන ලද AI තාක්ෂණික විසඳුම් පෙළ සඳහා එම සමාගම මෙලෙස සම්මානයට පාත්‍ර වූයේය. පාරිභෝගික විමසීමක් සම්බන්ධව කටයුතු කිරීම සඳහා වැයවන මෙහෙයුම් පිරිවැය 32% කින් අඩු කිරීම, පාරිභෝගිකයෙකුගේ පළමු විමසීමට ප්‍රතිචාර දැක්වීම සඳහා ගතවන කාලය පැය හතරේ සිට මිනිත්තු තුන දක්වා අඩු කිරීම සහ තෝරාගත් ජාත්‍යන්තර මෙහෙයුම් කටයුතු සඳහා AI නියෝජිතයින් 100 කට අධික පිරිසක් යෙදවීම එම වැඩසටහන් අතර කැපී පෙනෙයි. වේගය, නිරවද්‍යතාව සහ විශ්වසනීයත්වය යන කරුණු ඉතා වැදගත්වන වාණිජ අංශ තුළ AI තාක්ෂණය ප්‍රායෝගිකව යොදා ගැනීමට ඇති හැකියාව මෙම ප්‍රතිඵල මගින් පෙන්නුම් කරයි.

AI තාක්ෂණය, පර්යේෂණ සහ අත්හදා බැලීමේ අදියර ඉක්මවා යමින් බැංකුකරණ, විදුලි සංදේශ, ගුවන් ගමන් සහ පාරිභෝගික මෙහෙයුම් කටයුතු තුළ වාණිජ මට්ටමින් යොදා ගැනීම සඳහා ඒ මහතා සිදු කර ඇති මෙහෙය, ජයසිංහ මහතාට හිමි වූ ඇගයුම මගින් නිරූපණය කෙරේ. නියෝජිතයින් හරහා සිදු කරන ව්‍යාපාරික මෙහෙයුම් කටයුතු වෙනුවෙන් හඳුන්වා දෙන ලද AgentOS පහසුකම, AI තාක්ෂණය හරහා සිංහල හා ද්‍රවිඩ භාෂාවලින් සංවාද කළ හැකි AIDAS පහසුකම, AI තාක්ෂණයෙන් බලගැන්වූ වංචා හඳුනා ගැනීමේ බුද්ධිමය විසඳුම මෙන්ම මුල්‍ය සේවා සඳහා හඳුන්වා දෙන ලද eKYC විසඳුම චමීර ජයසිංහ මහතාගේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක කෙරුණු වැඩසටහන් අතර කැපී පෙනේ.

“මෙම සම්මාන තුළ මා වඩාත් අගය කරන දෙය නම්, ශ්‍රී ලංකාව තුළ ගොඩනැගෙන යමක් වෙනුවෙන් ජාතික මට්ටමේ ඇගයීමක් සිදු කිරීමයි. අප රට තුළ අසමසම තාක්ෂණික හැකියාවෙන් යුතු පිරිසක් සිටිනවා. එම කුසලතාපූර්ණ පිරිසට අර්ථාන්විතව ගැටළුවක් විසඳීම සඳහා අවස්ථාව ලබා දීමෙන්, අපට ජාත්‍යන්තර වේදිකාව තුළ තරග කිරීමේ හැකියාව තිබෙනවා. AI මගින් අප වැනි රටවලට තාක්ෂණය සරලව යොදාගැනීමෙන් ඔබ්බට ගොස්, එය සැබවින්ම අලුතින් නිර්මාණය කිරීමට සහ ගොඩනැගීමට නව අවස්ථාවක් උදාකර දෙමින් සිටිනවා,” යනුවෙන් චමීර ජයසිංහ මහතා සඳහන් කළේය.

චමීර ජයසිංහ මහතාගේ නායකත්වය යටතේ Arimac සමාගම, දේශීයව නිර්මාණය කෙරෙන තාක්ෂණය සහ කුසලතා සහිත ඩිජිටල් ශ්‍රම බලකායක් වෙනුවෙන් අඛණ්ඩව ආයෝජනය කරන අතරම ශ්‍රී ලංකාව, ඩුබායි, සිඩ්නි සහ ෆීජී හි පිහිටි කාර්යාල හරහා විවිධ කර්මාන්ත සහ ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ ගෝලීය සේවා ලාභීන් රැසකට සේවා සපයයි. එම සමාගම මේවන විට, ගෝලීය වශයෙන් පරිශීලකයින් මිලියන 330 කට අධික සංඛ්‍යාවක් ආවරණය කරමින් ක්ෂේත්‍ර 20 කට අධික සංඛ්‍යාවක සේවා ලාභීන් 112 කට අධික පිරිසක් සඳහා තාක්ෂණික විසඳුම් 850 කට අධික සංඛ්‍යාවක් පිරිනමා ඇත. තවද, චමීර ජයසිංහ මහතා ශ්‍රී ලංකාවේ නවෝත්පාදනය සහ අනාගත ඩිජිටල් වෘත්තිකයින් ගොඩනැගීම සඳහා තාක්ෂණික ව්‍යවසායකත්වය වෙනුවෙන් විවිධ වැඩසටහන් සඳහා අඛණ්ඩව සිය සහයෝගය ලබා දී තිබේ.

මෙම ජාතික AI සම්මාන ත්‍රිත්වය, Arimac සමාගමේ ගමන්මගේ සුවිශේෂී සංධිස්ථානයක් සනිටුහන් කරයි. සිය තාක්ෂණික විශේෂඥ දැනුම පදනම් කර ගනිමින්, ශ්‍රී ලංකාව තුළ ගොඩනැගෙන මීළඟ පරපුරේ AI විසඳුම් වඩාත් පුළුල් ගෝලීය වෙළෙඳපොළක් වෙත ගෙන යාම එම සමාගමේ අපේක්ෂාවයි.

ඩිජිටල් ආර්ථික අමාත්‍යංශය සහ SLT-Mobitel එක්ව සංවිධාන කෙරෙන ජාතික AI සම්මාන උළෙල, 2026 AI සතියේ එක් අංගයක් ලෙස පැවැත්විණි. කාණ්ඩ 16 ක් තුළ AI නවෝත්පාදනය ඇගයුමට ලක් කරමින් සංවිධාන කෙරුණු AI සතිය සඳහා 300 කට අධික ඇතුළත් කිරීම් ප්‍රමාණයක් හිමි වීම විශේෂත්වයකි.



ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව