
ලෝක මානසික සෞඛ්ය දිනයට සමගාමීව Flora Tissues ආයතනය සහ ශ්රී ලංකා සුමිත්රයෝ සංවිධානය එක්ව පසුගියදා ‘The Wall of Unspoken Words’ නැමති වැඩසටහනක් Colombo City Centre පරිශ්රයේදී අති සාර්ථක අන්දමින් සංවිධානය කර තිබුණි. ලෝක සෞඛ්ය සංවිධානයේ සහාය ඇතිව ලෝක මානසික සෞඛ්ය සම්මේලනය විසින් පිහිටුවන ලද ලෝක මානසික සෞඛ්ය දින නිමිති කොට ගෙන පැවති මෙම වැඩසටහන තුළ දී ඊට සහභාගි වූ අයට, තමන් පැවසීමට සිතා සිටි නමුත් කිසිදිනෙක පැවසීමට අවස්ථාවක් නොලැබුණු සිය අදහස් හා හැඟීම් ටිෂූ කඩදාසියක සටහන් කර The Wall of Unspoken Words සුවිශේෂි පුවරුවේ අමුණා ප්රදර්ශනය කිරීමට ආරාධනා ලැබුණි.
මෙම සුවිශේෂී පුවරුව නිර්මාණය කර ලද්දේ “Lived Experiences Heard: Real Voices, Real Change”යන මෙවර ලෝක මානසික සෞඛ්ය දින තේමාව පදනම් කරගනිමිනි. එහි අමුණන ලද සෑම සටහනක්ම මෙතෙක් නිහඬව සිත තුළ සඟවාගෙන සිටි අදහසකට හෝ හැඟීමකට හඬක් ලබා දුනි. එහිදී සිය අදහස් බෙදාගැනීමට කැමති අය වෙනුවෙන් #WallOfUnspokenWords යන hashtag භාවිත කරමින් ඒවා සමාජ මාධ්ය ඔස්සේ පළ කිරීමට ද අවස්ථාව ලැබුණි. එමෙන්ම පැමිණි පිරිසට මානසික සෞඛ්ය පිළිබඳ දැනුවත්භාවයේ සංකේතය වන කොළ පැහැති රිබන් පටියක් පැළඳවීමට ද මෙහිදී කටයුතු කෙරුණි.
කුඩා දරුවෙකුගේ කඳුළු බිඳුවක සිට පවුලක දුක /වේදනාව දක්වා මිනිස් ජීවිතයේ ඉතා පෞද්ගලික අවස්ථාවන්හි දී, මෙම ටිෂූ කඩදාසි නිරන්තරයෙන්ම අපගේ ජීවිතය හා බැඳී පවතී. දශක හතරකට වැඩි කාලයක සිට මෙවැනි සංවේදී අවස්ථාවන්හි දී ජනතාව අතරට ගිය විශ්වසනීය සන්නාමයක් වන Flora Tissues, මානසික සෞඛ්යය පිළිබඳව සමාජය දැනුවත් කිරීමට ඉදිරිපත් වූයේ ද ජනතාව සමඟ පවතින එම සමීප සබඳතාවය නිසාවෙනි. දෛනික ජීවිතයේ නිරන්තරයෙන් අප සමඟ රැඳෙන මෙවැනි නිෂ්පාදනයක් තුළින්, මානසික සහනයේ වැදගත්කමත්, එය බොහෝ විට හදවතේ සිරකරගෙන සිටි හැඟීම් වචනවලට පෙරළා ප්රකාශ කිරීමෙන් ලැබෙන බවත් අපට මතක් කර දෙයි.
මෙ පිළිබඳ අදහස් දක්වමින් Pee Bee Management Services (Pvt) Ltd හි උපායමාර්ගික සහ ආයතනික සංවර්ධන ප්රධානී ශේෂය සුර්ටානි මහත්මිය ප්රකාශ කර සිටියේ ශ්රී ලාංකීය පවුල් පරම්පරා ගණනාවක් පුරා Flora Tissues කෙරෙහි තබා ඇති විශ්වාසය, හුදෙක් නිෂ්පාදනයකට සීමා නොවී, ඊට වඩා පුළුල් සමාජීය වගකීමක් අප වෙත පැවරීම තිබෙන බවයි. බොහෝ දෙනෙක් නිහඬව පීඩා විඳින අතර, බොහෝ විට ඒ ගැන කීමට කිසිවෙකු නොමැති බව පෙන්වා දුන් ඇය වැඩිදුරටත් සඳහන් කළේ ඔවුන්ට සිය අදහස් ප්රකාශ කිරීමට ආරම්භයක් ලබා දීම මෙහි අරමුණ වූ අතර, ඒ සඳහා ඉදිරිපත් වීමට කොපමණ පිරිසක් සූදානම් ද යන්න අද දිනයේ දැනගැනීමට හැකි වූ බවයි.
මානසික සෞඛ්යය යනු තවමත් රට තුළ ඉතා අඩුවෙන්ම කතාබහට ලක්වන විෂය පථයකි. 2018 සහ 2019 අතර කාලය තුළ පුද්ගලයින් 6,627 දෙනෙකු ඇසුරින් සිදු කරන ලද 2025 දී ප්රකාශයට පත් කෙරණු ජාතික මට්ටමේ අධ්යයනයකින් හෙළි වී තිබුණේ, 2007 ජාතික මානසික සෞඛ්ය සමීක්ෂණයට වඩා සමස්ත විශාද අනුපාතය අඩු මට්ටමක පවතින නමුත් අවදානමට ලක්විය හැකි කණ්ඩායම්වලට ඉන් වැඩි බලපෑමක් එල්ල වී ඇති බවයි. විශේෂයෙන්ම, තරුණ පරපුර අතර මෙම තත්ත්වය පිළිබඳව වැඩි අවධානයක් යොමු කිරීම අත්යවශ්ය වේ. 2024 ගෝලීය පාසල් පදනම් කරගත් ශිෂ්ය සෞඛ්ය සමීක්ෂණයට අනුව වයස අවුරුදු 13 ත් 17 ත් අතර සිසුන්ගෙන් පස්දෙනෙකුගෙන් එක් අයෙකුට වඩා වැඩි පිරිසක් හුදකලා බවින් පෙළෙන බව වාර්තා කර ඇත. ඒ අතරින් 18% කට ආසන්න ප්රමාණයක් දිගුකාලීන විශාදයෙන් පෙළෙන බවට ද හදුනාගෙන ඇත. විශේෂයෙන්ම පිරිමි පුද්ගලයින් තමන් මුහුණ දෙන ගැටලු අන් අය සමඟ බෙදාගැනීම වෙනුවට සිත තුළම සිරකරගෙන සිටීමට පෙළඹී සිටින අතර දිනකට පුද්ගලයින් 8 සිට 10 දක්වා ප්රමාණයක් තවමත් සියදිවි නසාගන්නා බව සුමිත්රයෝ සංවිධානය විසින් අනාවරණය කරගෙන තිබේ.
ශ්රී ලංකා සුමිත්රයෝ සංවිධානය 1974 වසරේදී අභාවප්රාප්ත ජෝන් ඩි මෙල් මහත්මිය විසින් ආරම්භ කරන ලද්දේ, මහ රෝහලේ වෛද්යවරයකු විසින් එක් දිනක් තුළ සියදිවි නසා ගැනීමට තැත් කළ අවස්ථා හතරක් නිරීක්ෂණය කිරීමෙන් අනතුරුවය. එය රජයේ අනුමැතිය ලත් රාජ්ය නොවන සංවිධානයක් වන අතර Befrienders Worldwide හි අනුබද්ධිත ආයතනයකි. එමඟින් මානසික පීඩාව, කනස්සල්ල හෝ සියදිවි නසාගැනීමේ සිතුවිලි ඇති වන පුද්ගලයින්ට රහස්යභාවය සුරකිමින් මානසික සහනය ලබා දෙයි. එහි ස්වේච්ඡා සේවකයන් සායනික උපදේශන සේවා ලබා නොදෙන අතර, ඔවුන්ගේ ප්රධාන කාර්යභාරය වන්නේ පුද්ගලයන්ට නිදහසේ අදහස් හා හැඟීම් ප්රකාශ කිරීමට අවස්ථාව සලසමින් මිත්රශීලීව සවන් දීමයි. මෙම සේවාව නොමිලේ සපයන අතර සිංහල, දෙමළ සහ ඉංග්රීසි භාෂාවලින් වසරේ දින 365 පුරාම පෙ.ව 9.00 සිට ලබා ගත හැකිය. දිනපතා පෙ.ව. 9.00 සිට ප.ව. 4.00 දක්වා 0707 308308 දුරකථන අංකය ඔස්සේ ශ්රී ලංකා සුමිත්රයෝ සංවිධානය හා ඔබට සම්බන්ධ විය හැකිය.
ශ්රී ලංකා සුමිත්රයෝ සංවිධානයේ සභාපතිනි සුරංජනී වික්රමරත්න මහත්මිය අදහස් දක්වමින් පැවසුවේ සිය ස්වේච්ඡා සේවකයන්ට දිනපතාම මෙවැනි නොකියූ වදන්වලට සවන් දීමට ලැබෙන බවයි. බොහෝ විට ඒවා වෙනත් කිසිවකු සමඟ මෙතෙක් බෙදාගෙන නොමැති, බවත් සිත තුළ සඟවාගෙන සිටින හැඟීම් සහ අදහස් මෙලෙස ප්රසිද්ධියේ ප්රකාශ කිරීමට ඉඩක් නිර්මාණය කිරීම පිළිබඳව අප Flora Tissues ආයතනයට ස්තූතිවන්ත වන බව ඇය සඳහන් කරයි . එදින සිය අදහස් සටහන් කළ සියලු දෙනා වෙත ලබාදීමට අපේක්ෂා කරන පණිවිඩය ලෙස ඇය පවසා සිටියේ ඔවුන්ගේ හඬට සවන් දීමට තමන් සූදානම් බවත්, ඒ වෙනුවෙන් කිසිදු ආකාරයක විනිශ්චයකට ඔවුන් ලක් නොකරන බවත් ය.
යම් කරුණක් ඔබට මානසික පීඩාවක් ඇති කරන්නේ නම්, එය තනිවම දරාගැනීමට ඔබට අවශ්ය නැත. ඕනෑම දිනක ඉහත සඳහන් දුරකථන අංකය ඔස්සේ සුමිත්රයෝ සංවිධානය හා සම්බන්ධ විය හැකි අතර, ඔබට සවන් දීමට එහි ස්වේච්ඡා සේවකයෝ සෑම විටම සූදානමින් සිටිති.


