AppiGo යෙදුම බලගන්වා කුඩා ව්‍යාපාරවලට ශක්තියක් වීම සඳහා HNB අතහිත දෙයි

appgo

ශ්‍රී ලංකාවේ වඩාත් ඩිජිටල් නවෝත්පාදන බැංකුව වන HNB, සිය පාරිභෝගිකයින්ට AppiGo නම් විප්ලවීය අන්තර්ජාල භාණ්ඩ හා සේවා විකුණුම් වේදිකාව බලගැන්වීමට මූලිකත්වය ගෙන ඇති අතර එමඟින්  ඕනෑම ව්‍යාපාරයකට පහසුවෙන් හා ඉක්මනින් අඛණ්ඩව e-commerce හැකියාවන් පිහිටුවීමට හැකියාව ඇති කරයි.

සුප‍්‍රසිද්ධ මෘදුකාංග සංවර්ධන විශේෂඥයින් වන hSenid සමඟ එක්ව වැඩි දියුණු කර ඇති AppiGo Powered by HNB ක්ලික් කිරීම් කිහිපයකින්  ඕනෑම ව්‍යාපාරයකට අන්තර්ජාලය හරහා වෙළෙඳාම් කිරීම සඳහා නිර්මාණය කර ඇත. මෙයට, පාරිභෝගික ඇණවුම් ලබා ගැනීමට සහ පාරිභෝගික අවශ්‍යතාවන් ඉටු කිරීමට හැකියාව ඇති, එමෙන්ම පාරිභෝගිකයින් වෙත භාණ්ඩ බෙදා හැරීම නිරීක්ෂණය කිරීමේ පද්ධතිවලට අමතරව අන්තර්ජාල ගෙවීම් භාර ගැනීම සහ පාරිභෝගික විශ්වාසය දිනා ගැනීමේ වැඩසටහන් පවා නිර්මාණය කළ හැකි ඒ ඒ ව්‍යාපාරයට ආවේණික වූ වෙබ් අඩවි ඇතුළත් වේ.

‘‘ශ්‍රී ලංකාව e-commerce වෙත මාරු වීම මෑත වසරවල ස්ථාවර සාර්ථකත්වයක් අත්පත් කර ගනිමින් සිටියි. කෙසේවෙතත්, කොවිඞ්-19 ව්‍යාප්තයත් සමඟ මෙම ඉල්ලූම ඉතා විශාල වශයෙන් ඉහළ ගොස් ඇති අතර බොහෝ කුඩා ව්‍යාපාර සහ ආපනශාලාවලට ඩිජිටල් විසඳුම් සොයමින් මෙම අභියෝගාත්මක තත්වය තුළ ගමන් කිරීමට සිදුව තිබේ. බොහෝ දෙනෙකුට තම පාරිභෝගිකයින්ගේ ඇණවුම් පිළිබඳ කටයුතු කිරීම සඳහා සමාජ මාධ්‍ය වේදිකාවන් සහ Whatsapp වෙත විශ්වාසය තැබීමට සිදුව ඇත.

‘‘එබැවින් AppiGo යෙදුම කඩිනමින් හඳුන්වා දීම අතිශයින් කාලෝචිතය. ඒ මක්නිසාද යත් මෙම ව්‍යාපාරවලට සමස්ත ක‍්‍රියාදාමයන් මුළුමනින්ම විධිමත් කිරීමට හැකියාව ඇති කරන හෙයිනි. මෙමගින් ඔවුන්ගේ නිෂ්පාදන පාරිභෝගිකයින්ට පහසුවෙන් ලබා ගත හැකි වන අතරම ඔවුන්ගේ පරිපාලනමය වශයෙන් ඇති වැඩ කටයුතු ප‍්‍රමාණය ද බොහෝ සෙයින් අඩු වෙයි. අපගේ ඉදිරි ඉලක්කය වන්නේ e-commerce අවකාශය තුළට තම ව්‍යාපාරය සමඟ ක‍්‍රමයෙන් ඉදිරියට යාමට අපේක්ෂා කරන  ඕනෑම වෙළෙන්දෙකුට අවම වියදමකින් පහසුවෙන් ප‍්‍රවේශ වීමට ඉඩ සැලසීමයි,’’ යනුවෙන් HNB හි පාරිභෝගික බැංකු කටයුතු සහ කුඩා සහ මධ්‍ය පරිමාණ බැංකු කටයුතු පිළිබඳ නියෝජ්‍ය සාමාන්‍යධිකාරී, සන්ජේ විජේමාන්න මහතා පැවසුවේය.

ඕනෑම වෙළෙඳ ව්‍යාපාරයකට ඉතාමත්ම පහසුවෙන් මෙම වේදිකාව භාවිතා කිරීම සඳහා ලියාපදිංචි විය හැකි බව තහවුරු කිරීමට බැංකුව පියවර ගෙන තිබේ. AppiGo යෙදුම භාවිතා කිරීමට බලාපොරොත්තු වන ඕනෑම වෙළෙන්දෙක් මූලික ලියකියවිලි අන්තර්ජාලය හරහා ඉදිරිපත් කළ යුතුය.

අනුමත වූ පසු, එම වෙළෙන්දාම ඔවුන්ගේ වෙළෙඳ ලාංඡනය, වෙළෙඳ සන්නාම වර්ණ, නිෂ්පාදන සහ මිල ලැයිස්තු ආදියෙන් තම වෙබ් දොරටුව තමාට ආවේණික ලෙස වෙනස් කිරීම වහාම ආරම්භ කළ හැකි අතර පාරිභෝගික ඇණවුම් ලබා දීම ද ආරම්භ කළ හැකිය. සමස්ත වෙබ් අභිරුචිකරණ ක‍්‍රියාවලිය නොහොත් තමාම අවශ්‍ය පරිදි වෙනස් කිරීම ඉතා විධිමත් වන අතර එය විනාඩි 15ක් වැනි සුළු කාලයකින් සම්පූර්ණ කළ හැකිය. සම්පූර්ණ වෙළෙඳ වෙබ් පිටුව සියලූම උපාංගවල ක‍්‍රියාත්මක වන පරිදි එනම් අනුවර්තනය හා ප‍්‍රතිචාර දැක්වීමට හැකි වන ලෙස වැඩි දියුණු කර ඇත. HNB හරහා ගෙවීම් ලබා ගන්නා අතරතුර මෙමගින් පාරිභෝගික ඇණවුම් සුරක්ෂිතව සහ ක‍්‍රමානුකූලව ලබා ගැනීමට හා ඉටු කිරීම ඇරඹීමට වෙළෙන්දන්ට හැකියාව ලබා දෙයි.

අන්තර්ජාල වේදිකාව භාවිතය සහ සමස්ත ලියාපදිංචි කිරීමේ ක‍්‍රියාවලිය මුළුමනින්ම නොමිලේ වන අතර නාමික ගනුදෙනු ගාස්තුවක් පමණක් අය කෙරේ.

සැලකිය යුතු කරුණක් නම්, පද්ධතිය සැලසුම් කර ඇත්තේ  ඕනෑම වෙළෙන්දකුගේ දැනට පවතින බෙදා හැරීමේ සේවාවන් සමඟ එකාබද්ධ වීමට හැකි වන අතර, බෙදා හැරීම ආරම්භ කර නොමැති අයට අතිරේක වියදමකින් AppiGo හරහා තෙවන පාර්ශ්වීය බෙදා හැරීමේ සේවාවන්ට ප‍්‍රවේශ විය හැකියි.

Business Today සඟරාව විසින් ශ්‍රී ලංකාවේ හොඳම සමාගම් අතර අංක 1 ව්‍යාපාරික ආයතනය ලෙස HNB නම් කරන ලද අතර වසර ගණනාවක් පුරා හැටන් නැෂනල් බැංකුව සමස්ත බැංකු ක්ෂේත‍්‍රය තුළ පෙන්වු සාර්ථකත්වය වෙනුවෙන් සම්මාන රැසකින් පිදුම් ලබා ඇත. ඒෂියන් බෑන්කර් සඟරාව මගින් පිරි නැමූ ‘ශ‍්‍රී ලංකාවේ හොඳම කළමනාකරණය සහිත බැංකුව’ සම්මානය මෙන්ම හැටන් නැෂනල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප‍්‍රධාන විධායක නිලධාරී ජොනතන් අලස් මහතා ‘CEO Leadership Achievement’ සම්මානය මගින් ද පිදුම් ලැබීම හැටන් නැෂනල් බැංකුවේ සාර්ථකත්වයට දිය හැකි හොඳම උදාහරණ වේ.

මීට අමතරව තවත් සම්මාන රැසකින් පිදුම් ලබා ඇති හැටන් නැෂනල් බැංකුව යුරෝමනී සඟරාව මගින් ශ‍්‍රී ලංකාවේ හොඳම බැංකුව ලෙස අඛණ්ඩව තුන්වන වරටත් නම් කරන ලදී. එමෙන්ම එක්සත් රාජධානියේ ප‍්‍රමුඛතම බැංකු සඟරාවක් වන ‘ද බෑන්කර්’ සඟරාව මගින් ලෝකයේ හොඳම බැංකු 1000 අතරට ද, ශ්‍රී ලංකාවේ පිහිටි ජාත්‍යන්තර වානිජ්‍ය මණ්ඩලය (International Chamber of Commerce, Sri Lanka) හා කළමනාකරණ ගණකාධිකාරී වරලත් ආයතනය (CIMA) විසින් ශ්‍රී ලංකාවේ ‘වඩාත්ම අගය කරන ලද සමාගම් 10’ අතරට ද HNB නම් කරන ලදී. HNB හි විශිෂ්ටතවය ප‍්‍රකට කළ තවත් අවස්ථාවක් ලෙස ශ්‍රී ලංකාවේ සියලූම බැංකු අභිබවා LMD සඟරාව මගින් Top 100 Club පළමු ස්ථානයට පත් වීම දැක්විය හැකියx පසුගිය වසර 25 තුළ එකී සමාගමේ කාර්යසාධනය මත පදනම්ව මෙම ඇගයීම සිදු කෙරේ.

HNB AppiGo පිළිබඳව වැඩි විස්තර සඳහා 072-080-8080 අමතන්න නැත්නම් cardipg@hnb.lk වෙත ඊමේල් පණිවිඩයක් යොමු කරන්න.

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව