
PickMe සේවාව හරහා 2026/27 මූල්ය වර්ෂයේ මුල් මාස හය තුළ ස්වාධීන රියැදුරන් සහ වෙළෙන්ඳන් රුපියල් බිලියන 46.7ක ආදායමක් උපයා ඇතැයි සමාගම පවසයි.
2026/27 මුල්ය වර්ෂයේ පළමු භාගයේදී PickMe හරහා සිදුවූ ගනුදෙනුවල මුළු වටිනාකම රුපියල් බිලියන 53.8ක් වූ අතර, එය පෙර මූල්ය වර්ෂයේ අදාළ කාලයට වඩා සියයට 43ක වැඩිවීමකි. රියැදුරන්, වෙළෙඳුන් සහ පාරිභෝගිකයන් වැඩි පිරිසක් සේවාවට එක්වීමෙන් ආදායම් අවස්ථා පුළුල් කිරීමටත්, පාරිභෝගික සේවාව වැඩිදියුණු කිරීමටත් හැකි වන බව PickMe සඳහන් කරයි.
මෙම මූල්ය වර්ෂයේ දෙවැනි කාර්තුවේදී පමණක් ස්වාධීන රියැදුරන් සහ වෙළෙඳුන් වෙත රුපියල් බිලියන 24.7ක මුදලක් ලැබී ඇතැයි සමාගම වාර්තා කරයි. එම කාර්තුවේදී PickMe හරහා සිදුවූ ගනුදෙනුවල මුළු වටිනාකම රුපියල් බිලියන 28.5කි.
මාසිකව සේවාව භාවිත කළ සාමාන්ය පාරිභෝගිකයන් සංඛ්යාව දෙවැනි කාර්තුවේදී මිලියන 2.1 දක්වා ඉහළ ගොස් ඇති අතර, එය පෙර වසරේ අදාළ කාර්තුවට වඩා සියයට 38ක වැඩිවීමකි. මාසිකව සේවාවට එක්ව ආදායම් ඉපැයූ සාමාන්ය ස්වාධීන රියැදුරන් සංඛ්යාව ද සියයට 58කින් ඉහළ ගොස් ඇත.
PickMe නිර්මාතෘ සහ ප්රධාන විධායක නිලධාරී ජිෆ්රි සුල්ෆර් මහතා පැවසුවේ සමාගම හරහා සිදු කෙරෙන ගනුදෙනුවල වටිනාකමෙන් වැඩි කොටසක් සේවා සපයන ස්වාධීන රියැදුරන් සහ වෙළෙඳුන් වෙත ලැබෙන බවත්, ඉන් සුළු කොටසක් ආයතනයට ආදායම වශයෙන් ලැබෙන බවත්ය. “තව තවත් පාරිභෝගිකයන්, රියැදුරන් සහ ව්යාපාර අප සමඟ එක්වනවිට මෙම ජාලයේ ශක්තිමත්බව ඉහලයාමත් සමඟින් ආදායම් ඉපැයීමේ අවස්ථා තව තවත් වැඩි වෙනවා. ඒ සමගින්ම පාරිභෝගික අත්දැකීම වැඩිදියුණු කරන තාක්ෂණයට වෙනුවෙන් තවදුරටත් ආයෝජන සිදු කිරීමටත්, කොටස් හිමියන්ට එමගින් ප්රතිලාභ ලබා දීමටත් අපට හැකි වෙනවා. අපේ සේවාව භාවිත කරන ජනතාව සහ ව්යාපාර දියුණු වන විට PickMe ද සාර්ථකත්වයට පත්වෙනවා.”
පළමු කාර්තුවේදී ඉන්ධන සැපයුම් ක්රියාවලියට ඇති වූ බාධාවෙන් පසු රියැදුරන්ගේ සේවා නැවත විශ්වාසනීය ලෙස ලබා ගැනීමට හැකි වන පරිදි කටයුතු කිරීම ප්රමුඛ අවශ්යතාවක් වූ බව ද ජිෆ්රි සුල්ෆර් මහතා සඳහන් කළේය. “ඉල්ලුම යළි වැඩි වන විට, රියැදුරන්ගේ සේවා සැපයීමේ හැකියාව ඉහළ නැංවීමටත්, විශ්වාසනීය සේවාවක් පවත්වා ගැනීමටත් අප අවධානය යොමු කළා. පාරිභෝගිකයන්ගේ භාවිතය, රියැදුරන්ගේ සහභාගිත්වය සහ සේවාව හරහා සිදුවන ගමන් හා බෙදාහැරීම්වල වැඩිවීමෙන් ගනු ලැබූ එම පියවර ප්රතිඵල ලබාදෙන බව අපට පෙනෙනවා,” යැයි ඒ මහතා පැවසීය.
දෙවැනි කාර්තුවේදී PickMe හරහා සිදුවූ මුළු ගමන් සහ බෙදාහැරීම් සංඛ්යාව පෙර වසරේ අදාළ කාර්තුවට වඩා සියයට 37කින් සහ මෙම වසරේ පළමු කාර්තුවට වඩා සියයට 18කින් ඉහළ ගොස් තිබේ. සියලුම සේවා අංශවල වර්ධනයක් වාර්තා වූ බව ද සමාගම පවසයි.
PickMeහි හිමිකාරීත්වය දරන සහ එය පවත්වාගෙන යන Digital Mobility Solutions Lanka PLC සමාගමේ දෙවැනි කාර්තුවේ ආදායම රුපියල් බිලියන 2.9ක් වූ අතර, එය පෙර වසරේ අදාළ කාර්තුවට වඩා සියයට 37ක වැඩිවීමකි. ශුද්ධ ලාභය සියයට 53කින්, රුපියල් මිලියන 784ක් දක්වා ඉහළ ගොස් තිබේ. එම ප්රතිඵල අනුව කොටසකට රුපියල් 2.75ක අතුරු ලාභාංශයක් ගෙවීමට සමාගමේ අධ්යක්ෂ මණ්ඩලය අනුමැතිය ලබා දී ඇත.
PickMeහි සභාපති අජිත් ගුණවර්ධන මහතා පැවසුවේ කොටස් හිමියන්ට ප්රතිලාභ ලබා දෙන අතරම, සේවාව ශක්තිමත් කිරීමටත්, තාක්ෂණය වෙනුවෙන් ඉදිරියට ආයෝජනය කිරීමටත් අනාගතයේ වර්ධන අවස්ථා සඳහා ආයෝජනය කිරීමට අවශ්ය හැකියාව පවත්වා ගැනීමටත් සමාගම කටයුතු කරන බවයි. දේශීයව ගොඩනැගුණු තාක්ෂණික ව්යාපාරයක් ලෙස, සමාගම වර්ධනය වන විට තවතවත් පාරිභෝගිකයන්, ස්වාධීන ආදායම් ලබන්නන් සහ ව්යාපාර, ඩිජිටල් ආර්ථිකයට සම්බන්ධ කිරීමට හැකි වන බව ද ඒ මහතා සඳහන් කළේය.
මූල්ය වර්ෂයේ මුල් මාස හය තුළ සමාගමේ ආදායම පෙර වසරේ රුපියල් බිලියන 3.9 සිට රුපියල් බිලියන 5.4 දක්වා සියයට 38කින් ඉහළ ගොස් තිබේ. එම කාලයේ මුළු ගමන් සහ බෙදාහැරීම් සංඛ්යාව ද පෙර වසරට වඩා සියයට 39කින් ඉහළ ගොස් ඇති අතර, පාරිභෝගිකයන් සහ ස්වාධීන රියැදුරන් යන දෙකොටසෙහිම මාසික සාමාන්ය අගයන් මෙතෙක් වාර්තා වූ ඉහළම මට්ටමට ළඟා වී ඇත.
මුල් මාස හයේ ශුද්ධ ලාභය ද පෙර වසරේ රුපියල් මිලියන 950 සිට රුපියල් බිලියන 1.4 දක්වා සියයට 49කින් වැඩි වී තිබේ. දේශීයව නිර්මාණය කළ තාක්ෂණය ඔස්සේ PickMe, මගී ප්රවාහනය, බෙදාහැරීම් සහ භාණ්ඩ ප්රවාහන සේවා සඳහා පාරිභෝගිකයන්ව ස්වාධීන රියැදුරන් හා වෙළෙඳුන් සමඟ සම්බන්ධ කරයි.


