කොමර්ෂල් බැංකුව Payable හා එක්ව කුඩා ව්‍යාපාරවලට ඩිජිටල් ගෙවීම් පහසුකම් සලසන ‘Soundbox’ හඳුන්වා දෙයි

ComBank New Sustainable Logo

නවීනතම ගෝලීය තාක්ෂණයන් හඳුන්වා දීමට හා පාරිභෝගික අත්දැකීම් ඉහළ නැංවීමට නිරන්තරයෙන් කැපවන කොමර්ෂල් බැංකුව ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා ම විශේෂයෙන් නිර්මාණය කර ඇති ශ්‍රව්‍ය පහසුකම් සහිත නව්‍ය ඩිජිටල් ගෙවීම් පිළිගැනීමේ උපාංගයක් වන ‘Soundbox’ හඳුන්වා දී ඇත.

Mastercard හි සහය ඇතිව Payable ප්‍රයිවට් ලිමිටඩ් සමඟ හවුල්කාරීත්වයෙන් ක්‍රියාත්මක කෙරෙන මෙම ‘Soundbox’ විසඳුම් සකස් කර ඇත්තේ තවමත් අත්පිට මුදල් ගනුදෙනු මත යැපෙන ක්ෂුද්‍ර හා කුඩා පරිමාණ ව්‍යාපාරිකයින්ව දැරිය හැකි මිල ගණන් සහිත, සරල සහ කාර්යක්ෂම ගෙවීම් ලබාගැනීමේ ක්‍රමවේදයක් හරහා විධිමත් ඩිජිටල් ගෙවීම් පද්ධතියට සම්බන්ධ කර ගැනීමේ අරමුණෙනි. වෙළඳපලේ පවතින සියලුම ප්‍රධාන කාඩ්පත් ජාල හා QR ක්‍රමවේදයන්ගෙන් ලැබෙන ගෙවීම් භාර ගැනීමට මෙම උපාංගයට හැකි වන අතර මෙය මෙරට ගෙවීම් ක්ෂේත්‍රයේ පරිණාමීය මාවතෙහි සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරනු ඇත.



Soundbox මගින් සම්බන්ධතා රහිත කාඩ්පත් ගෙවීම් හා QR පාදක කරගත් ගනුදෙනු යන දෙවර්ගයට ම සහය වන අතර, සෑම සාර්ථක ගෙවීමක් සඳහා ම තත්‍ය කාලීන ශ්‍රව්‍යමය තහවුරු කිරීමේ පණිවිඩයක් ලබා දෙයි. මෙම උපාංගය සම්පූර්ණ කරන ලද සෑම ගනුදෙනුවක් ම එලෙස නිවේදනය කරන අතර, වෙළඳ මහතුන්ට ඔවුන්ගේ ව්‍යාපාරික ක්‍රියාවලට බාධාවක් නොවී ක්ෂණිකව ගෙවීම් සත්‍යාපනය කිරීමට හැකියාව ලැබේ. QR පාදක කරගත් ගනුදෙනු මගින් ක්ෂණිකව මුදල් බැර කිරීමෙන් ද තවත් ප්‍රතිලාභ ලැබෙනු ඇති අතර, එමගින් කුඩා ව්‍යාපාරවල ද්‍රවශිීලතාවය තවදුරටත් වැඩි දියුණු කරයි.

මෙම නව මුලපිරීම පිළිබඳව අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ කළමනාකර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිළධාරී සනත් මනතුංග මහතා මෙසේ පැවසීය: “මෙම නව සේවාවෙ හි  විශේෂ ලක්‍ෂණය වන්නේ එහි දැරිය හැකි මිල සහ ක්ෂණික ප්‍රතිචාර ලබා දෙමින් කුඩා ව්‍යාපාර වෙළඳ මහතුන්ට වෙළඳපලට ප්‍රවේශ වීමට ඇති දිගුකාලීන බාධක ඉවත් කිරීමේ හැකියාවයි. නව පරිශීලකයින් ක්ෂණිකව ඇතුලත් කර ගැනීම, තත්‍ය කාලීනව ගනුදෙනු පිළිබඳව දැනුවත් වීමේ හැකියාව සහ බහුවිධ ගෙවීම් ක්‍රම වලට සහය දැක්වීම යන සේවාවන් සියල්ල තනි උපාංගයක් හරහා සිදුකර ගැනීමේ හැකියාව ලබා දෙමින්, අපි මේ හරහා ඩිජිටල් වෙළඳපලට වඩාත් තරඟකාරී ලෙස සහභාගී වීමට අවශ්‍ය වන මෙවලම්වලින් ව්‍යාපාරිකයින් සන්නද්ධ කරන්නෙමු.”

Payable හි සම නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිළධාරී යොහාන් විජේසිරිවර්ධන මහතා මෙසේ පැවසීය: “Payable හි අපි දශකයකටත් අධික කාලයක් පුරාවට ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකය තුළ කිසිදු වෙළඳ මහතෙකු මඟ නොහැරෙන බවට සහතික කිරීමේ ඒකායන අරමුණින් කටයුතු කරමින් සිටිමු. Soundbox හරහා එම දැක්ම යථාර්ථයක් බවට පත් කරයි. පසුගිය සතියේ ව්‍යාපාරයක් ආරම්භ කළ කුඩා ව්‍යාපාරිකයෙකුට වුවද, මෙරට විශාලත ම සිල්ලර වෙළඳසැලට හිමිවන ඩිජිටල් පහසුකම් සියල්ලම, තම වර්තමාන ව්‍යාපාරික තත්වයට සරිලන මිලකට ලබා ගැනීමේ හැකියාව තිබිය යුතු ය. කොමර්ෂල් බැංකුව සහ Mastercard අතර ඇතිකරගත් මෙම හවුල්කාරීත්වය තුළින් එම අරමුණ යතාර්ථයක් බවට පත් කරයි.”

Mastercard හි ශ්‍රී ලංකාවේ දේශීය කළමණාකාරිණී මහේෂා අමරසූරිය මහත්මිය මෙසේ පැවසීය: Mastercard හි අවධානය යොමු වී ඇත්තේ දියුණුවේ ඉහළටම ළඟා වීමට කුඩා ව්‍යාපාර බලගැන්විය හැකි ආරක්ෂිත, සරල හා සියලු පහසුකම් අන්තර්ගත වූ ගෙවීම් අත්දැකීමක් ලබා දීම කෙරෙහි ය. කොමර්ෂල් බැංකුව සහ Payable සමඟ එක්ව Soundbox හඳුන්වා දීම, ශ්‍රී ලංකාව තුළ ඩිජිටල් ක්‍රමවේද භාවිතය පුළුල් කිරීමේ වැදගත් පියවරකි. දැරිය හැකි මිල හා නව්‍යෝත්පාදනය ඒකාබද්ධ කරමින් දියත් කෙරෙන මෙම විසඳුම් ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර පද්ධතියට විශ්වාසයෙන් යුතුව ඩිජිටල් ගෙවීම් වැළඳ ගැනීමටත්, මූල්‍ය සේවාවන් සඳහා සුදුසුකම් ලැබීම ශක්තිමත් කිරීමටත්, අත්පිට මුදල් භාවිතය අඩු වූ ඩිජිටල් ආර්ථිකයක් කරා දිවෙන ශ්‍රී ලංකාවේ ගමන ඉදිරියට ගෙන යාමට සහය වේ.”

ඇමරිකානු ඩොලර් බිලියන 1 ඉක්මවන වෙළඳපල ප්‍රාග්ධනීකරණයක් සහිත පළමු ශ්‍රී ලාංකික බැංකුව කොමර්ෂල් බැංකුව වන අතර, එක්සත් රාජධානියේ ද බෑන්කර් සඟරාව විසින් ප්‍රකාශයට පත් කරන ලද ලොව කීර්තිමත් බැංකු 1000 ශ්‍රේණිගත කිරීම්වල 2026 සංස්කරණයේ ශ්‍රී ලංකාවේ අංක 1 බැංකුව ලෙස ශ්‍රේණිගත විය. ශ්‍රී ලංකාවේ සියලු‍ම බැංකු අතරින් ඉහළම ප්‍රාග්ධන පදනමක් ඇති කොමර්ෂල් බැංකුව, ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ විශාලතම ණය දෙන්නා වේ. බිස්නස් ටුඩේ සඟරාවේ හි ඉහළම ආයතන 40 අතර අංක 1 ශ්‍රේණිගත කර ඇති කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ වඩාත්ම ගෞරවනීය සහ වඩාත්ම සම්මානලාභී බැංකුව ලෙස පිළිගැනේ. ඩිජිටල් නවෝත්පාදනයේ ප්‍රමුඛයා වන කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප්‍රථම බැංකුව ද වේ.

දිවයින පුරා උපායමාර්ගිකව පිහිටා ඇති ශාඛා 270කට අධික සංඛ්‍යාවක් සහ පුළුල් ස්වයංක්‍රීය යන්ත්‍ර ජාලයක් ක්‍රියාත්මක කරන කොමර්ෂල් බැංකුව බංග්ලාදේශයේ ශාඛා 21 ක්, මාලදිවයිනේ බහුතර කොටස් හිමිකාරිත්වයක් සහිත පූර්ණ මට්ටමේ පළමු පෙළ බැංකුවක්, මියන්මාරයේ ක්ෂුද්‍ර මූල්‍ය සමාගමක් සහ ඩුබායි ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානය (DIFC) තුළ නියෝජිත කාර්යාලයක් සමඟින් ශ්‍රී ලාංකික බැංකු අතර පුළුල්ම ජාත්‍යන්තර පියසටහනක් තබා ඇත. මීට අමතරව බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය දරන CBC ෆිනෑන්ස් පීඑල්සී සහ කොමර්ෂල් ඉන්ෂුවරන්ස් බ්‍රෝකර්ස් සමාගම තම ශාඛා ජාල හරහා පුළුල් පරාසයක මූල්‍ය සේවා සපයයි.



ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව