
අමානා බැංකුවේ අනුග්‍රහය ලබන දෘශ්‍යාබාධිත ශ්‍රී ලාංකික ක්‍රීඩක කාලිඩ් ඔෂ්මාන්, 2026 සැප්තැම්බර් 12 සහ 13 දිනවල ප්‍රංශයේ නීස් නුවරදී පැවැත්වුණු 2026 IRONMAN 70.3 ලෝක ශූරතා තරගාවලියට සහභාගී විය. ඔහුගේ ක්‍රීඩා දිවියේ තවත් වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කළ එම අවස්ථාව වෙනුවෙන් අමානා බැංකුව ඔහුට උණුසුම් සුබපැතුම් පිරිනමයි. ලොව වඩාත්ම සුවිශේෂී තුන් ප්‍රයාම (Triathlon) තරගාවලියක් වන IRONMAN 70.3 ලෝක ශූරතාවලියේ 2026 අදියර සඳහා ලොව ප්රමුඛ පෙළේ තුන් ප්‍රයාම ක්‍රීඩකයෝ රැසක් සහභාගී වූහ.
වයස අවුරුදු 26 දී පෙනීම අහිමි වූ කාලිඩ්, ජීවිතයේ තමන්ට මුහුණ දීමට සිදු වූ අභියෝග ජයගැනීමේ මඟක් ලෙස Endurance Sports වර්ගයේ ක්‍රීඩා වෙත යොමුවෙමින්, එම ක්‍රීඩා තුළින් ජයග්‍රහණ රැසක් වාර්තා කිරීමට සමත් වූ අයෙකි. ඔහු මේ වන විට IRONMAN 70.3 ඉසව් පහකට සහභාගි වී ඇති අතර, මැරතන් සහ අල්ට්රා මැරතන් ඇතුළු ජාත්‍යන්තර ‘Endurance Challenge’ වර්ගයේ තරග රැසකටද එක් වී තිබේ. දෘශ්‍යාබාධිත ක්‍රිකට් සහ දෘශ්‍යාබාධිත බොක්සිං ක්‍රීඩා ඉසව් තුළින්ද ශ්‍රී ලංකාව නියෝජනය කර ඇති කාලිඩ් ඔෂ්මාන් මෙම ජාත්‍යන්තර තරගාවලිය සඳහා සුදුසුකම් ලැබීම, ඔහුගේ අධිෂ්ඨානය, විනය සහ නොපසුබස්නා උත්සාහය මැනැවින් පිළිබිඹු කරන ජයග්‍රහණයක් ලෙස හැඳින්විය හැක.
IRONMAN 70.3 තරග කිලෝමීටර් 1.9 ක පිහිනුම් ඉසව්වකින්, කිලෝමීටර් 90 ක පාපැදි ධාවන අදියරකින් සහ කිලෝමීටර් 21.1 ක දිවීමේ ඉසව්වකින් සමන්විත වන අතර, එහි සමස්ත දුර ප්‍රමාණය කිලෝමීටර් 113 කි. මෙම තරගාවලියට සහභාගී වීම කාලිඩ් ඔෂ්මාන්ගේ ක්‍රීඩා ජීවිතයේ තවත් වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරන අතරම, ශාරීරික ආබාධ සහිතව ජීවිතය ජය ගැනීමට උත්සාහ කරන බොහෝ දෙනෙකුට මනා ආදර්ශයක්ද වේ.
අමානා බැංකුව මුලින්ම කාලිඩ් ඔෂ්මාන්ගේ පුහුණු කටයුතු සඳහා අනුග්‍රහය ලබාදීමට ඉදිරිපත් වූයේ 2022 වසරේදීය. එතැන් පටන් ඔහු වාර්තා කරගත් ජාතික සහ ජාත්‍යන්තර ජයග්‍රහණ රැසක් හමුවේ අමානා බැංකුව අඛණ්ඩව ඔහුට සහය ලබා දී තිබේ.
මෙම හවුල්කාරීත්වය පිළිබඳ අදහස් දක්වමින් අමානා බැංකුවේ සහකාර උප සභාපති (අලෙවි සහ ආයතනික සන්නිවේදන) ආසිම් රාලි මහතා මෙසේ පැවසීය. “කාලිඩ් ඔෂ්මාන්ගේ ජයග්‍රාහී ගමන්මඟ, ධෛර්යය, අධිෂ්ඨානය සහ ආත්ම විශ්වාසය මැනැවින් නිරූපණය කරන්නක් ලෙස හැඳින්වීමට පුළුවන්. IRONMAN 70.3 ලෝක ශූරතා තරගාවලිය සඳහා සුදුසුකම් ලැබීම හුදෙක් ක්‍රීඩා ජයග්‍රහණයක් පමණක් නොවෙයි. එය අධිෂ්ඨානය ශක්තිමත් වූ විට ඕනෑම අභියෝගයක් ජයගත හැකි බව අපට පෙන්වා දෙනවා. දීර්ඝ කාලයක් පුරා කාලිඩ් ඔෂ්මාන්ගේ පුහුණු කටයුතු සඳහා අනුග්‍රහය ලබාදීමට හැකි වීම පිළිබඳව අප බෙහෙවින් සතුටු වන අතර, ප්‍රංශයේදී ශ්‍රී ලංකාවට කීර්තියක් අත්කර දීම වෙනුවෙන් ඔහුට උණුසුම් සුබපැතුම් පිරිනැමීමට මා මෙය අවස්ථාවක් කරගන්නවා.”
මේ අතර තමන් වෙත ලබාදෙන සහයෝගය වෙනුවෙන් අමානා බැංකුවට ස්තූතිය පළ කරමින් කාලිඩ් ඔෂ්මාන් මෙසේ පැවසීය: “IRONMAN 70.3 ලෝක ශූරතාවලිය සඳහා සුදුසුකම් ලැබීම යනු මා වසර ගණනාවක් තිස්සේ දුටු සිහිනයක්. ඒ වෙනුවෙන් මා ඉතා කැපවීමෙන් යුතුව පුහුණුවීම් සිදු කළා. මා කෙරෙහි අඛණ්ඩව විශ්වාසය තබමින් මගේ ගමනට සහය දැක්වීම පිළිබඳව මා අමානා බැංකුවට බෙහෙවින් කෘතඥ වනවා. ප්‍රංශයේදී ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට ලැබීම මට මහත් ගෞරවයක් වන අතර, මගේ සහභාගීත්වය තවත් බොහෝ දෙනෙකුට ආදර්ශයක් වනු ඇතැයි කියා මා බලාපොරොත්තු වනවා.”
කාලිඩ් ඔෂ්මාන් සහ අමානා බැංකුව අතර පවතින හවුල්කාරීත්වය සහ, අමානා බැංකුවේ ප්‍රමුඛතම ආයතනික සමාජ වගකීම් වැඩසටහන වන OrphanCare භාරය අතරද විශේෂ සම්බන්ධයක් ඇත. OrphanCare භාරය යනු දෙමාපිය රැකවරණය අහිමි වී ළමා නිවාසවල හැදී වැඩෙන දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කිරීම අරමුණු කරගත් වැඩසටහනක් වන අතර, කාලිඩ් ඔෂ්මාන්ද කුඩා වියේදී දෙමාපිය රැකවරණය අහිමි දරුවෙකු ලෙස හැදී වැඩුණු පුද්ගලයකි. එබැවින් කාලිඩ් ඔෂ්මාන් OrphanCare භාරය සහ එමඟින් ඉටුවන සමාජ මෙහෙවර වෙත තම පූර්ණ සහයෝගය පළකර තිබේ.
මෙබඳු හවුල්කාරීත්වයන් ඔස්සේ, සීමාවන් අභියෝගයට ලක් කරමින් විශිෂ්ටත්වය ළඟා කරගන්නා පුද්ගලයන්ට අත්වැලක් වන අතරම, එලෙස විශිෂ්ටත්වය කරා අධිෂ්ඨානයෙන් යුතුව පියනැගීම සඳහා සියලු දෙනා දිරිගැන්වීම අමානා බැංකුවේ අරමුණ වී ඇත.


