
SLT-MOBITEL Nebula Institute of Technology, එක්සත් රාජධානියේ London South Bank University (LSBU) සහ Pearson Education Limited එක්ව ක්‍රියාවට නංවන වැඩපිළිවෙළක්
SLT-MOBITEL Nebula Institute of Technology ආයතනය, එක්සත් රාජධානියේ London South Bank University (LSBU) සහ Pearson Education Limited සහ අතර සුවිශේෂී ත්‍රෛපාර්ශ්වික ගිවිසුමකට පසුගියදා අත්සන් තැබිණි. මෙම ගිවිසුම තුළින් ශ්‍රී ලාංකික සිසු සිසුවියන්ට ජාත්‍යන්තර පිළිගැනීමක් හිමි උපාධි හැදෑරීම සඳහා නව අවස්ථා රාශියක් උදා වනු ඇත. රටේ දියුණුව උදෙසා සාධනීය දායකත්වයක් ලබාදෙනු පිණිස මෙරට තරුණ පරපුර දැනුම තුළින් සවිබල ගැන්වීම මෙම හවුල්කාරීත්වයේ ප්‍රධානතම අරමුණ වී තිබේ.
SLT සමාගමේ අධ්යක්ෂ මණ්ඩල රැස්වීම් ශාලාවේදී මෙම ගිවිසුමට අත්සන් තබන ලද අතර, එක්සත් රාජධානියේ London South Bank University හි සහකාර උප කුලපති මහාචාර්ය රොඩ්නි ඩේ, London South Bank University හි LSBU Global ආයතනයේ අධ්‍යයන කටයුතු ප්‍රධානී මහාචාර්ය රවීන්ද්‍රන් සුන්දරරාජන් සහ Pearson South Asia හි කලාපීය කළමනාකරු සූරිය බිබිලේ යන මහත්වරුන් ඇතුළුව ආයතන තුන නියෝජනය කරන ජ්‍යෙෂ්ඨ නිලධාරීහු රැසක් එම අවස්ථාවට එක්ව සිටියහ. SLT-MOBITEL සහ Nebula Institute of Technology නියෝජනය කරමින් ප්‍රධාන විධායක නිලධාරී රියාස් රෂීඩ් මහතා සහ ප්‍රධාන මානව සම්පත් නිලධාරී ආචාර්ය නලීන් ජයසූරිය මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.
SLT-MOBITEL හි අධ්‍යාපන අංශය ලෙස ක්‍රියාත්මක වන Nebula Institute of Technology, මෙරට ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුත් උසස් අධ්‍යාපනයක් හිමිකර ගැනීමට අවස්ථාව උදා කර දෙයි. LSBU සහ Pearson සමඟ ඇති කරගත් මෙම හවුල්කාරීත්වය මඟින්, මෙරට සිසුන්ට ගෝලීය අධ්‍යාපන සුදුසුකම් හිමිකර ගැනීමට අවස්ථාව උදා කර දෙන ආයතනයක් ලෙස Nebula Institute ඉටුකරමින් සිටින කාර්යභාරය තවදුරටත් පුළුල් වනු ඇත. Nebula Institute දැනටමත් University of Hertfordshire සමඟ සමීප සම්බන්ධතාවක් පවත්වාගෙන යන අතර, නව ගිවිසුම එහි ඉදිරි පියවරක් ලෙස හැඳින්විය හැකි වේ. එමෙන්ම, අධ්‍යාපන මෙරට සිසු පරපුරේ කුසලතා වැඩිදියුණු කිරීම සඳහා ප්‍රබල මෙවලමක් ලෙස භාවිතා කිරීමට SLT-MOBITEL දරන උත්සාහය මෙම ගිවිසුම මඟින් තවදුරටත් ශක්තිමත් වනු ඇත.
මෙම ගිවිසුම පිළිබඳ අදහස් දක්වමින් Pearson හි Enterprise Learning & Skills අංශයේ උප සභාපතිනිය වන ජේන් බේකර් මහත්මිය මෙසේ පැවසුවාය:
“Pearson, London South Bank University සහ SLT-MOBITEL Nebula Institute of Technology අතර ඇති කරගත් මෙම ත්‍රෛපාර්ශ්වික ගිවිසුම, සිසුන්ට වඩාත් ඵලදායී අධ්‍යාපනික විසඳුම් පිරිනැමීම සඳහා සහයෝගයෙන් කටයුතු කිරීමට මෙම ආයතන තුන දක්වන කැපවීම මැනැවින් පිළිබිඹු කරනවා. රැකියා ලෝකයේ සැබෑම අවශ්‍යතාවන්ට ගැළපෙන උසස් අධ්‍යාපනයක් සිසුන් වෙත ලබාදෙමින් ඔවුන්ට තම හැකියාවන්ගේ උපරිමය වෙත ළඟා වීමට අවස්ථාව උදාකර දීම මේ ආයතන තුනෙහිම පොදු අරමුණයි. Pearson හි උපාධි මට්ටමේ Higher National සුදුසුකම් සමඟින් සිසුන්ට ජාත්‍යන්තරව පිළිගත් උපාධි සුදුසුකම් පිරිනැමීමට හැකි වීම අපට මහත් සතුටක්.”
මෙම ගිවිසුම යටතේ Higher National Diploma (HND) සිසු සිසුවියන්ට Top-up degree පාඨමාලා හැදෑරීමට අවස්ථාව හිමි වන අතර, එමඟින් ඔවුන්ට වඩාත් කාර්යක්ෂම ලෙස ජාත්‍යන්තරව පිළිගත් උපාධි සුදුසුකම් සපුරාලීමට අවස්ථාව හිමි වේ. මේ යටතේ හැදෑරිය හැකි පාඨමාලා අතරට BSc (Hons) Computer Science (Artificial Intelligence), BSc (Hons) Computer Science (Cyber Security) සහ BSc (Hons) Electrical and Electronic Engineering යනාදී පාඨමාලා ඇතුළත් වී ඇත. SLT කාර්ය මණ්ඩලයටද මෙම පාඨමාලා හැදෑරිය හැකි අතර, එමඟින් ඔවුන්ට තමන් සතුව දැනටමත් පවතින කුසලතා වැඩිදියුණු කරගනිමින් සහ නව කුසලතා වර්ධනය කරගනිමින් වෘත්තීය ජීවිතයේ තවදුරටත් ඉදිරියට යාමට අවස්ථාව හිමි වේ.
ඉංජිනේරු විද්‍යාව, සයිබර් ආරක්ෂාව සහ කෘත්‍රිම බුද්ධිය (AI) වැනි ඉහළ ඉල්ලුමක් සහිත ක්ෂේත්‍ර කෙරෙහි ප්‍රධාන වශයෙන් අවධානය යොමු කරමින්, රැකියා ලෝකයේ පවතින සැබෑම අවශ්‍යතා මත පදනම් වූ පාඨමාලා පිරිනමන Nebula Institute, ඩිජිටල් ආර්ථිකයකට ගැළපෙන කුසලතාවලින් සන්නද්ධ වීමට සිසුන්ට අවස්ථාව උදාකර දෙයි. ඒ ඔස්සේ එම ආයතනය ශ්‍රී ලංකාවේ ඩිජිටල් පරිවර්තන ක්‍රියාවලිය සාර්ථක කරගැනීමට සහ දැනුම් ආර්ථිකයක් ගොඩනැංවීමට ප්‍රශංසනීය දායකත්වයක් ලබාදෙමින් සිටී.
වසරක කාලයක් සති අන්තවල පැවැත්වෙන අර්ධකාලීන වැඩසටහන් ලෙස ක්‍රියාත්මක වන මෙම පාඨමාලා මඟින් සිසු සිසුවියන්ට රැකියා සඳහා ගැළපෙන ප්‍රායෝගික දැනුමක් හා පුහුණුවක් හිමි වේ. එමඟින් සිසුන්ට වර්තමාන ගෝලීය තලය තුළ සැබැවින්ම වැදගත් වන කුසලතා වර්ධනය කරගැනීමටත්, විදෙස්ගත වීමෙන් තොරව ශ්‍රී ලංකාවේදීම ජාත්‍යන්තර උපාධි සුදුසුකම් හිමිකර ගැනීමටත් අවස්ථාව හිමි වේ.
SLT-MOBITEL හි සාමාන්‍යාධිකාරී (මානව ප්‍රාග්ධන සංවර්ධන) ජනක සිල්වා මහතා මෙසේ සිය අදහස් පළකළේය:
“ඩිජිටල් පරිවර්තනය මෙන්ම රටේ දියුණුව වේගවත් කිරීම සඳහා සිසු පරපුර තුළ අනාගතයට ගැළපෙන කුසලතා වර්ධනය කළ යුතු බව SLT-MOBITEL විශ්වාස කරනවා. London South Bank University සහ Pearson සමඟ ඇති කරගත් මෙම හවුල්කාරීත්වය, සිසුන්ට ජාත්‍යන්තරව පිළිගත් අධ්‍යාපනික සුදුසුකම් හිමිකර ගැනීමට අවස්ථාව උදා කර දෙන අතරම, අධ්‍යාපනය සහ රැකියා ක්ෂේත්රය අතර පරතරය අවම කිරීම සඳහා ගත් වැදගත් පියවරක් ලෙස හැඳින්වීමට පුළුවන්. ඉදිරියටත් මෙලෙසින්ම, වේගයෙන් වෙනස් වෙමින් පවතින ඩිජිටල් ආර්ථිකය තුළ සාර්ථක වීමට අවශ්‍ය දැනුම, කුසලතා සහ ගෝලීය අත්දැකීම් තුළින් සිසු පරපුර සවිබල ගන්වන අර්ථවත් අධ්‍යාපනික මංපෙත් නිර්මාණය කිරීමට Nebula Institute කැප වී සිටිනවා.”


