ඕනෑම අභියෝගයකට ඔරොත්තු දෙමින් තාක්ෂණය හා නවෝත්පාදනයෙන් වැවිලි ඵලදායීතාව යළි අර්ථකථනය කරන මල්වත්ත වැලි වැවිලි සමාගම

ST JAMES MACHA TEA PROCESSING CENTRE(1) (LBN)

ආරම්භයේ සිටම ශ්‍රී ලංකාවේ වැවිලි කර්මාන්තය මෙරට ආර්ථිකයේ ප්‍රධානතම කුළුණක් ලෙස කටයුතු කර තිබේ. එහිදී තේ කර්මාන්තයට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. ලොව පුරා පිළිගැනීමක් දිනාගත් කලාපීය වැවිලි සමාගමක් වන මල්වත්ත වැලි ප්ලාන්ටේෂන්ස් පීඑල්සී සමාගමට ද තේ යනු සිය ව්‍යාපාරික උරුමයේ මෙන්ම ආර්ථික ශක්තියේ ද ප්‍රධාන පදනමකි.

එම සමාගමට අයත් වැවිලික්ෂේත්‍රය ආශ්‍රිත පාංශු සම්පත, උන්නතාංශය සහ නිම්නය හරහා හමා යන වියළි සුළං එකිනෙකට එක්වීමෙන්, වෙනත් ප්‍රදේශවලදී පහසුවෙන් ප්‍රතිනිර්මාණය කළ නොහැකි සුවිශේෂී භූමි හා දේශගුණික ලක්ෂණයක් නිර්මාණය වී තිබේ. එම ස්වභාවික පරිසරය හේතුවෙන් මල්වත්ත වැලි තේ සඳහා මෘදු, සුමට සහ ඉහළ සුවඳකින් යුත් විශේෂ රස මාවතක් හිමිව ඇති අතර, ලොව පුරා උසස් තත්ත්වයේ තේ රසිකයන් අතර ඒ සඳහා ඉහළ ඉල්ලුමක් පවතී.




එහෙත් වර්තමානයේ අනෙකුත් සියලුම කෘෂි ව්‍යාපාර මෙන්ම මල්වත්ත වැලි සමාගම ද බහුවිධ අභියෝගවලට මුහුණ දෙමින් සිටී. නිෂ්පාදන පිරිවැය අඛණ්ඩව ඉහළ යාම, බෝග රෝග ව්‍යාප්තිය, දේශගුණික විපර්යාස සහ ගෝලීය වෙළෙඳපොළේ ඇතිවන මිල හා ඉල්ලුම් අස්ථාවරත්වය එම අභියෝග අතර ප්‍රධාන වේ. මේ තත්ත්වය හමුවේ සාම්ප්‍රදායික වැවිලි ක්‍රමවේදවලට පමණක් සීමා නොවී, තාක්ෂණය, නවෝත්පාදනය සහ වෙනස්වන තත්ත්වයන්ට අනුව හැඩගැසීමේ හැකියාව ඔස්සේ වැවිලි ඵලදායීතාව යළි අර්ථකථනය කිරීම සමාගමේ ඉදිරි ගමනේ මූලික අවශ්‍යතාවක් බවට පත්ව තිබේ.

ඌව පළාත පුරා විහිදී ඇති තේ වතු සහ අවිස්සාවේල්ල අවට පහතරට ප්‍රදේශවල පිහිටි වගා බිම් මත සිය මෙහෙයුම් පවත්වාගෙන යන මල්වත්ත වැලි ප්ලාන්ටේෂන්ස් සමාගම, උසස් තත්ත්වයේ ශ්‍රී ලාංකේය තේ, ර්රබර්, කුළුබඩු සහ වටිනාකම් එකතු කළ නිෂ්පාදන රැසක් සපයන මෙරට ප්‍රමුඛ වැවිලි සමාගමක් ලෙස දශක ගණනාවක් පුරා කීර්තියක් ගොඩනඟාගෙන තිබේ.

වර්තමානයේ සමාගමේ නිෂ්පාදන මැද පෙරදිග, යුරෝපය, රුසියාව, චීනය, ඕස්ට්‍රේලියාව සහ ජපානය ඇතුළු ජාත්‍යන්තර වෙළෙඳපොළ රැසකට අපනයනය කෙරෙන අතර, මෙරට ප්‍රමුඛතම තේ අපනයනකරුවන් විසි දෙනා අතර ද මල්වත්ත වැලි සමාගම ස්ථානගත වී සිටී. එහෙත් අද මල්වත්ත වැලි සෙසු වැවිලි සමාගම්වලින් කැපී පෙනෙන්නේ එහි නිෂ්පාදනවල ගුණාත්මකභාවය නිසා පමණක් නොවේ. වැවිලි කෘෂිකර්මාන්තය සම්බන්ධයෙන් සමාගම අනුගමනය කරන සම්පූර්ණයෙන් නවීකරණය වූ, තාක්ෂණය හා නවෝත්පාදනය මත පදනම් වූ ප්‍රවේශය ද ඊට ප්‍රධාන හේතුවකි.

මෙම නව ප්‍රවේශය පිටුපස ඇති ප්‍රධාන බලපෑමක් වන්නේ දේශගුණික විපර්යාසයයි. අවිස්සාවේල්ල අවට සමාගමට අයත් පහතරට ප්‍රදේශවල වාර්ෂික වර්ෂාපතනය මිලිමීටර් 7,000ත් 10,000ත් අතර මට්ටමක් දක්වා ඉහළ ගොස් තිබේ. අධික වර්ෂාපතනයට අමතරව, “පෙස්ටා” ලෙස හඳුන්වන Pestalotiopsis තේ දළුැ හා පත්‍ර රෝගය ව්‍යාප්ත වීම ද ප්‍රදේශයේ සාම්ප්‍රදායික රබර් වගාව ආර්ථික වශයෙන් පවත්වාගෙන යාම අපහසු කටයුත්තත් බවට පත් කර තිබේ.

මෙම තත්ත්වය හමුවේ, පැරණි වගා රටාවන් මත පමණක් රඳා නොසිට, දේශගුණික අවදානම්වලට ඔරොත්තු දිය හැකි විකල්ප වගා, නව තාක්ෂණික ක්‍රමවේද සහ වටිනාකම් එකතු කළ නිෂ්පාදන වෙත යොමුවීම සමාගමේ දිගුකාලීන තිරසාරභාවය සඳහා අත්‍යවශ්‍ය වී ඇත.

මෙම නව අර්බුදයේ බරපතල භාවය කල්තියා හඳුනාගත් මල්වත්ත වැලි සමාගම, ඊට ප්‍රතිචාර දැක්වීමට තීරණාත්මකව කටයුතු කළේය. ඒ අනුව හෙක්ටයාර 400ක පමණ භූමි ප්‍රමාණයක කුරුඳු වගාව ව්‍යාප්ත කිරීමට සමාගම පියවර ගත් අතර, තවත් හෙක්ටයාර 300ක නව තේ වගාවක් ස්ථාපිත කරමින් ඊට සහාය වන නව තේ කර්මාන්තශාලාවක් ද ඉදිකරමින් සිටී. මීට අමතරව රඹුටන් සහ දූරියන් ඇතුළු නිවර්තන පලතුරු වගාවන් ද සමාගමේ වගා විවිධාංගීකරණ වැඩපිළිවෙළට එක්කර තිබේ.

කෙසේ වෙතත්, මෙම පරිවර්තනය අභියෝගවලින් තොර එකක් නොවීය. රබර් වගාවට විකල්පයක් ලෙස මීට පෙර ඔයිල් පාම් වගාවට යොමුවීමට සමාගම ගත් උත්සාහය, පසුව සිදුවූ නියාමන ප්‍රතිපත්ති වෙනසක් හේතුවෙන් අතරමඟ නතර කිරීමට සිදුවිය. එම තීරණයත් සමඟ සමාගමට සකස් කර තිබූ පැළ තවාන් අත්හැර දැමීමටත්, ඒ වනවිටත් සිදුකර තිබූ රුපියල් මිලියන 100කට ආසන්න ආයෝජනයක් අහිමි කර ගැනීමටත් සිදුවිය.

එහෙත් එම පසුබෑම හමුවේ නතර නොවූ මල්වත්ත වැලි සමාගම, එහි බලපෑම අවශෝෂණය කරමින් සිය වගා සැලසුම් යළි සංවිධානය කළේය. භූමියේ ස්වභාවය, දේශගුණික තත්ත්වය සහ දිගුකාලීන වගා හැකියාවන් වඩාත් පැහැදිලිව තක්සේරු කරමින්, ඒ අනුව ඉදිරි ගමන සඳහා වඩාත් ප්‍රායෝගික සහ තිරසාර මාර්ගයක් තෝරාගැනීමට සමාගම පියවර ගෙන තිබේ.

යාන්ත්‍රීකරණයෙන් අභිනව වැවිලි කර්මාන්තයක් ගොඩනඟන මල්වත්ත වැලි

මල්වත්ත වැලි සමාගමේ නවෝත්පාදන වැඩපිළිවෙළ වඩාත් පැහැදිලිව දැකගත හැක්කේ, සමාගම විසින් සංවර්ධනය කර ඇති යාන්ත්‍රික කුරුඳු තැලීමේ තාක්ෂණය (කුරුඳු පොතු ඉවත් කිරීම) තුළිනි. කුරුඳු සැකසීම ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ වැඩිම ශ්‍රමයක් අවශ්‍ය වන ක්‍රියාවලියක් වන අතර, එහිදී පළපුරුදු කුරුඳු තලන්නන්ගේ සේවය සඳහා ඉහළ මිලක් ගෙවීමට සිදුවේ. ඇතැම් අවස්ථාවල එම ශ්‍රම පිරිවැය අවසාන නිෂ්පාදනයේ වටිනාකමෙන් සියයට 50ක් දක්වා ඉහළ යා හැකිය.

විශාල පරිමාණයෙන් කුරුඳු නිෂ්පාදනය සඳහා අවශ්‍ය පළපුරුදු කුරුඳු තලන්නන්ගේ හිඟය හමුවේ, මල්වත්ත වැලි සමාගම සාම්ප්‍රදායික නොවන විසඳුමක් තෝරා ගත්තේය. ඒ අනුව කුරුඳු සැකසීම සඳහා යාන්ත්‍රික විසඳුමක් සංවර්ධනය කිරීමේ වගකීම, සමාගමේම පුනර්ජනනීය බලශක්ති අංශයේ ඉංජිනේරුවන් වෙත පැවරීය. මොරටුව විශ්වවිද්‍යාලයෙන් බඳවාගත් එම ඉංජිනේරු කණ්ඩායමේ ප්‍රධාන කාර්යභාරය වූයේ සූර්ය බලශක්ති පද්ධති ස්ථාපනය කිරීම වුවද, කුරුඳු කර්මාන්තයට අවශ්‍ය මෙම නව තාක්ෂණික විසඳුම සංවර්ධනය කිරීමේ අභියෝගය ද ඔවුන් භාරගත්තේය.

දීර්ඝ කාලයක් පුරා සිදුකළ අත්හදා බැලීම් සහ තාක්ෂණික සංවර්ධන කටයුතුවල ප්‍රතිඵලයක් ලෙස, කුරුඳු තැලීමේ වඩාත් සංකීර්ණ අදියර සිදුකළ හැකි නව යන්ත්‍රයක් නිර්මාණය කිරීමට සමාගම සමත්ව තිබේ. මේ වනවිට පේටන්ට් බලපත්‍රය සඳහා අයදුම් කර ඇති මෙම යන්ත්‍රය භාවිතයෙන්, පෙර පුහුණුවක් හෝ අත්දැකීමක් නොමැති සේවකයන්ට ද පළපුරුදු කුරුඳු තලන්නන්ට සමාන නිෂ්පාදන ධාරිතාවක් ලබාගැනීමේ හැකියාව ලැබී තිබේ.

මෙම නවෝත්පාදනය කුරුඳු සැකසීමේ ඵලදායීතාව සැලකිය යුතු ලෙස ඉහළ නැංවීමට පමණක් නොව, ක්‍රමයෙන් අඩුවෙමින් පවතින පුහුණු ශ්‍රම බලකාය මත සමාගමට ඇති රඳාපැවැත්ම අවම කිරීමට ද උපකාරී වී ඇත. එය යාන්ත්‍රීකරණය මඟින් ශ්‍රම හිඟයට විසඳුම් සොයමින්, සාම්ප්‍රදායික වැවිලි කර්මාන්තය නවීන තාක්ෂණය සමඟ සම්බන්ධ කළ හැකි ආකාරය පෙන්වන ප්‍රායෝගික නිදසුනක් බවට ද පත්ව තිබේ.

විදේශ ශ්‍රමිකයන් ආනයනය කිරීමට නොහැකි ශ්‍රී ලංකාව වැනි රටක, මෙවැනි තාක්ෂණික විසඳුම් දේශීයවම සංවර්ධනය කර ගැනීමට ඇති හැකියාව සුවිශේෂී ජයග්‍රහණයකි. එය වැවිලි කර්මාන්තයේ සාම්ප්‍රදායික සීමාවන්ට ඔබ්බෙන් සිතමින්, පවතින ගැටලු සඳහා ආයතනය තුළින්ම ප්‍රායෝගික හා නව්‍ය විසඳුම් සොයාගන්නා සංස්කෘතියක් මල්වත්ත වැලි සමාගම තුළ ගොඩනැඟී ඇති බව පෙන්වා දෙයි.

වෙනස් පරිමාණයකින් වගාවට නව අර්ථයක්

මල්වත්ත වැලි සමාගමේ වගා ක්‍රමවේද තුළ ද පෙර සඳහන් කළ නවෝත්පාදන චින්තනය පැහැදිලිව දැකගත හැකිය. ශ්‍රී ලංකාවේ සාමාන්‍ය තේ වගාවක හෙක්ටයාරයකට තේ පුෂ්ප පරාගනය හරහා නිපදවන VP තේ පැළ 8,000ත් 13,500ත් අතර ප්‍රමාණයක් සිටුවීම සම්මත ක්‍රමය වේ. එහෙත් මල්වත්ත වැලි සමාගම තෝරාගත් පහතරට වතුවල හෙක්ටයාරයකට VP තේ පැළ 40,000ක් දක්වා ඉහළ ඝනත්වයකින් වගා කිරීම ආරම්භ කර තිබේ.

ජාත්‍යන්තර වගා ක්ෂේත්‍රයේ පිළිගත් ක්‍රමවේද දේශීය පස, කාලගුණය සහ වගා තත්ත්වයන්ට අනුව සකස් කරමින් මෙම නව ක්‍රමය ක්‍රියාත්මක කෙරේ. සාම්ප්‍රදායික වගා පද්ධති සමඟ සැසඳීමේදී, මෙම අධි-ඝනත්ව වගාව යටතේ තේ පඳුරු සැලකිය යුතු ලෙස කෙටි කාලයකින් අස්වනු ලබාගත හැකි පරිණත මට්ටමට පැමිණෙන බව දැනටමත් නිරීක්ෂණය කර ඇත.

අලිගැටපේර වගාවේදී ද සමාගම සාමාන්‍ය කර්මාන්ත ප්‍රමිතීන් ඉක්මවා ගොස් තිබේ. සාමාන්‍යයෙන් හෙක්ටයාරයකට අලිගැටපේර ගස් 200ක් පමණ වගා කෙරෙන නමුත්, මල්වත්ත වැලි සමාගම හෙක්ටයාරයකට ගස් 800ක් පමණ සිටුවා ඇති අතර, එම සංඛ්‍යාව 1,000 ඉක්මවා වැඩි කිරීමේ හැකියාව ද අත්හදා බලමින් සිටී.

ගස්වල ශාඛා හා පත්‍ර ව්‍යුහය කළමනාකරණය කිරීම සහ අස්වනු නෙළීම පහසු කිරීම සඳහා මිදි වගාවල භාවිත වන ආධාරක රාමු ක්‍රම ද අත්හදා බැලෙමින් පවතී. මෙවැනි මහා පරිමාණ වාණිජ අලිගැටපේර වගාවකට යොමු වූ ශ්‍රී ලංකාවේ මුල්ම වැවිලි සමාගම් අතර මල්වත්ත වැලි සමාගම ද සිටී. එමඟින් දේශීය හා අපනයන වෙළෙඳපොළ සඳහා ඉහළ අගය එකතු කළ නිෂ්පාදන රැසක් සංවර්ධනය කළ හැකි නව කෘෂි ව්‍යාපාරික අවස්ථාවක් විවෘත වෙමින් පවතී.

යාන්ත්‍රික තේ දලු නෙළීම ද මේ වනවිට සමාගම සංවර්ධනය කරමින් සිටින තවත් නවෝත්පාදන වැඩසටහනකි. එහිදී තාක්ෂණික අභියෝග කිහිපයක් තවමත් පවතී. විශේෂයෙන් ඩ්‍රෝන යානා මඟින් අස්වනු නෙළීමට සුදුසු දලු හඳුනාගැනීමේදී, ඩ්‍රෝන යානයේ අවර පෙති මඟින් ඇතිවන වායු ප්‍රවාහය නිසා කැමරා දර්ශන බාධාවට ලක්වීම ප්‍රධාන ගැටලුවක් වී තිබේ.

එහෙත් එවැනි අභියෝග හමුවේ ද පර්යේෂණ නවතා නොමැති සමාගම, සිය යාන්ත්‍රික දළු නෙළීමේ විසඳුම් අඛණ්ඩව වැඩිදියුණු කරමින් සිටී. එය සමාගමේ සමස්ත මෙහෙයුම් පද්ධතිය තුළ අතින් සිදුකරන කාර්යයන් සහ සාම්ප්‍රදායික ශ්‍රමය මත ඇති රඳාපැවැත්ම ක්‍රමානුකූලව අඩු කිරීම සඳහා අනුගමනය කරන පුළුල් තාක්ෂණික පරිවර්තනයේ තවත් වැදගත් පියවරකි.

වගා බිමෙන් අවසන් නිෂ්පාදනය දක්වා වන නවීකරණය

මල්වත්ත වැලි සමාගමේ නවීකරණ වැඩපිළිවෙළ වගා බිමට පමණක් සීමා වී නොමැත. එහි තේ කර්මාන්තශාලා තුළ අමු තේ දළු ගෙනයන යාන්ත්‍රික බෙල්ට් පද්ධති, තේ දළු එහා මෙහා පෙරලීමේ අංශ සහ තේ වර්ගීකරණ ක්‍රියාවලිය ස්වයංක්‍රීයකරණය කිරීම සඳහා සමාගම සැලකිය යුතු ආයෝජන සිදුකර තිබේ. මේ වනවිට එහි ප්‍රධාන අවධානය යොමුවී ඇත්තේ තේ නිෂ්පාදනයේ වැදගත්ම අදියරක් වන තේ දළුවල තෙතමනය ඉවත් කිරීමේ ක්‍රියාවලිය ද නවීන තාක්ෂණය ඔස්සේ වැඩිදියුණු කිරීම කෙරෙහිය.

ඒ සමඟම, සමාගමේ තේ නිෂ්පාදන කටයුතු ස්වයංක්‍රීයකරණය කේන්ද්‍ර කරගත් තෝරාගත් කර්මාන්තශාලා කිහිපයකට ඒකාබද්ධ කර තිබේ. සාම්ප්‍රදායික කර්මාන්තශාලාවලට වඩා අඩු ශ්‍රම බලකායකින්, ඉහළ කාර්යක්ෂමතාවකින් සහ වඩාත් ස්ථාවර ගුණාත්මකභාවයකින් නිෂ්පාදන කටයුතු පවත්වාගෙන යාමට හැකිවන අයුරින් මෙම කර්මාන්තශාලා සැලසුම් කර ඇත.

මෙහෙයුම් කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ මෙම උත්සාහයට සමගාමීව, සමාගම නව ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත පිවිසීම සඳහා ද සැලසුම් සහගත පියවර ගනිමින් සිටී. ඒ අනුව ශ්‍රී ලංකාවේ පළමු මැචා හරිත තේ නිෂ්පාදන කර්මාන්තශාලාව ලෙස සැලකෙන පහසුකමක් ස්ථාපිත කිරීමට මල්වත්ත වැලි සමාගම කටයුතු කරමින් සිටී. ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ අනුමැතිය සහිත මෙම කර්මාන්තශාලාව ජපාන යන්ත්‍රෝපකරණ සහ එරට තාක්ෂණික විශේෂඥ දැනුමෙන් සමන්විත වේ.

මැචා තේ සමඟ උසස් තත්ත්වයේ හරිත තේ නිෂ්පාදනය කිරීමට ද සැලසුම් කර ඇති අතර, එමඟින් ශ්‍රී ලංකාව මෙතෙක් සීමිත වශයෙන් නියෝජනය කළ වේගයෙන් වර්ධනය වන ඉහළ වටිනාකමක් සහිත ජාත්‍යන්තර වෙළෙඳපොළ කොටස් වෙත පිවිසීමට මල්වත්ත වැලි සමාගමට අවස්ථාව උදාවනු ඇත.

කෙසේ වෙතත්, සමාගමේ වටිනාකම් එකතු කිරීමේ අරමුණු තේ නිෂ්පාදනයෙන් ඔබ්බට ද විහිදී තිබේ. තේ සහ අනෙකුත් ස්වභාවික සාරයන් ප්‍රධාන අමුද්‍රව්‍ය ලෙස යොදා සකස් කරන මුහුණු, ශරීර සහ හිසකෙස් සත්කාර නිෂ්පාදන රැසකින් සමන්විත රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් ද සමාගම විසින් වෙළෙඳපොළට හඳුන්වා දී තිබේ.

මේ වනවිට එම නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත අපනයනය කෙරෙන අතර, විශේෂයෙන් ජර්මනියේ තමන්ටම හිමි වෙළෙඳපොළක් ගොඩනඟා ගැනීමට ද සමත්ව තිබේ. මෙය සාම්ප්‍රදායික වැවිලි සමාගමක සීමාවන් ඉක්මවා, පර්යේෂණ, තාක්ෂණය, නිෂ්පාදන විවිධාංගීකරණය සහ අගය එකතු කිරීම මත පදනම් වූ නවීන කෘෂි ව්‍යාපාරික ආයතනයක් බවට මල්වත්ත වැලි පරිවර්තනය වී ඇති ආකාරය පැහැදිලිව පෙන්වා දෙයි.

මෙම සියලු පරිවර්තන එකට බැඳ තබන්නේ, දිගුකාලීන අරමුණු මත ගොඩනඟා ඇති ශක්තිමත් මෙහෙයුම් පදනමකි. සමාගමේ කර්මාන්තශාලා පුනර්ජනනීය බලශක්තියෙන් ක්‍රියාත්මක වන අතර, තමන්ගේම ගබඩා පහසුකම් ද මල්වත්ත වැලි සමාගම සතුය. එමෙන්ම වගා බිමේ සිට අවසන් නිෂ්පාදනය දක්වා සෑම මෙහෙයුම් අදියරකම නිෂ්පාදන මූලාශ්‍රය හඳුනාගත හැකි පසුවිපරම් පද්ධතියක් පවත්වාගෙන යනු ලැබේ. ජාත්‍යන්තර ගැනුම්කරුවන් අද සැපයුම් දාමයේ විනිවිදභාවය සම්බන්ධයෙන් අපේක්ෂා කරන ඉහළම ප්‍රමිතීන් සපුරාලීමට එමගින් සමාගමට හැකිව තිබේ.

මල්වත්ත වැලි සමාගම සිය වගා බිම්, කර්මාන්තශාලා සහ විවිධ නිෂ්පාදන පෙළ හරහා ශ්‍රී ලංකාවේ වැවිලි කර්මාන්තයට දිගු කලක් තිස්සේ අවශ්‍යව තිබූ ප්‍රායෝගික ආදර්ශයක් ගොඩ නගමින් සිටී. නිශ්චිත අරමුණක් සහ අඛණ්ඩ කැපවීමක් සමඟ තාක්ෂණය හා නවෝත්පාදනය යොදාගත් විට, වැවිලි කෘෂිකර්මාන්තයේ ඵලදායීතාව, ගුණාත්මකභාවය සහ වෙළෙඳපොළ වටිනාකම කෙතරම් දුරට ඉහළ නැංවිය හැකිද යන්න එම ආදර්ශය පෙන්වා දෙයි.

අධි ඝනත්ව වගාව, අඛණ්ඩ යළි වගා කිරීම් සහ වඩාත් ගැඹුරු අගය එකතු කිරීම කේන්ද්‍ර කරගත් 2030 මාර්ග සිතියමක් යටතේ සමාගම සිය ඉදිරි ගමන සැලසුම් කර තිබේ. එමඟින් ශ්‍රී ලංකාවේ වැවිලි කෘෂිකර්මාන්තය අතීත ක්‍රමවේද තුළම සිරවී නොසිට, වෙනස්වන දේශගුණික, ශ්‍රම හා ගෝලීය වෙළෙඳපොළ තත්ත්වයන්ට අනුව පරිවර්තනනය වෙමින් පවතින බව මල්වත්ත වැලි සමාගම ප්‍රායෝගිකව පෙන්වා දෙයි.

මල්වත්ත වැලි සමාගමේ මෙම ගමන, අභියෝග හමුවේ පසුබැසීම වෙනුවට තාක්ෂණය, දේශීය ඉංජිනේරු දැනුම, වගා විවිධාංගීකරණය සහ අගය එකතු කිරීම හරහා නව අවස්ථා නිර්මාණය කළ හැකි බවට ප්‍රබල සාක්ෂියකි. එහි ප්‍රගතිශීලී දැක්ම සහ නවෝත්පාදන හැකියාව, අනාගතයේදී සමස්ත වැවිලි කර්මාන්තයේ ගමන්මඟටම නව වේගයක් හා දිශාවක් ලබාදිය හැකි ආදර්ශයක් බවට පත්වෙමින් තිබේ.



ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව