අමානා බැංකුව 15 වැනි සංවත්සරය සමරමින් ඉතිහාසයේ විශිෂ්ටතම ප්‍රථම අර්ධ වාර්ෂික කාර්යසාධනය වාර්තා කරයි

Capture
  • ප්‍රථම අර්ධ වර්ෂයේ බදු පසු ලාභය 25% කින් ඉහළ ගොස් පළමු වරට රු. බිලියනය ඉක්මවයි.
  • දෙවැනි කාර්තුවේ බදු පසු ලාභය 33% කින් ඉහළට

අමානා බැංකුවේ ප්‍රධාන ආදායම් කාර්යසාධනය සැලකීමේදී, 2026 පළමු අර්ධ වර්ෂය තුළ 4.3% ක ස්ථාවර මූල්‍යකරණ ආන්තිකයක් (Financing Margin) සමඟින් ශුද්ධ මූල්‍යකරණ ආදායම (Net Financing Income) පෙර වසරට සාපේක්ෂව 16% කින් වර්ධනය වී රු. බිලියන 4.4 ක් ලෙස වාර්තා වී තිබේ. 2026 ජූනි 30 දිනයෙන් අවසන් වූ කාර්තුවේදී බැංකුවේ ශුද්ධ මූල්‍යකරණ ආදායම රු. බිලියන 2.2 ක් වූ අතර, එය පෙර වසරට සාපේක්ෂව 18% ක වර්ධනයකි. බැංකුවේ ශුද්ධ ගාස්තු හා කොමිස් ආදායමද ශක්තිමත් වර්ධනයක් වාර්තා කරමින් 2026 පළමු මාස 6 තුළ 16% කින් ඉහළ ගොස් රු. බිලියන 0.7 ක් බවට පත් වී ඇත. ඒ අනුව, සමස්ත මෙහෙයුම් ආදායම දෙවැනි කාර්තුවේදී රු. බිලියන 2.8 දක්වාත්, පළමු අර්ධ වර්ෂයේදී රු. බිලියන 5.5ක් දක්වාත් ඉහළ ගිය අතර, එය පිළිවෙළින් 22% ක සහ 18% ක වර්ධනයකි. පළමු අර්ධ වර්ෂයේ සහ දෙවැනි කාර්තුවේ ශුද්ධ මෙහෙයුම් ආදායම පිළිවෙළින් 19% කින් සහ 20% කින් ඉහළ ගොස්, එම කාලපරිච්ඡේද දෙක අවසානයේදී පිළිවෙළින් රු. බිලියන 5.4 ක් සහ රු. බිලියන 2.8 ක් ලෙස සටහන් විය. පවතින උද්ධමන පීඩනයන් මධ්‍යයේ වුවද, 2026 පළමු මාස 6 හි පිරිවැය-ආදායම් අනුපාතය (Cost-to-Income Ratio) පළමු කාර්තුව අවසානයේ පැවති 52% මට්ටමේ සිට 51% දක්වා වැඩිදියුණු කරගැනීමට බැංකුව සමත් වී ඇති අතර, එය මෙහෙයුම් කාර්යක්ෂමතාව වැඩිදියුණු වී ඇති බවට සාක්ෂියකි. එහි ප්‍රතිඵලයක් ලෙස, සියලු බදුවලට පෙර බැංකුවේ මෙහෙයුම් ලාභය පෙර වසරට සාපේක්ෂව 18% කින් ඉහළ ගොස් රු. බිලියන 2.5 ක් ලෙස වාර්තා වී ඇත. බැංකුවේ සමස්ත බදු දායකත්වය රු. බිලියන 1.3 ක් වූ අතර, එය බැංකුවේ සියලු බදුවලට පෙර මෙහෙයුම් ලාභයෙන් 55% ක් වැනි ඉහළ අගයක් වේ.




2026 පළමු අර්ධ වර්ෂය තුළ බැංකුව සිය මූල්‍ය තත්වය තවදුරටත් ශක්තිමත් කරගත් අතර, ගනුදෙනුකරුවන් සඳහා ලබා දී ඇති මූල්‍ය පහසුකම් රු. බිලියන 157.0 ක් දක්වා ඉහළ ගියේය. සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සඳහා ලබාදුන් මූල්‍ය පහසුකම් අඛණ්ඩව වර්ධනය වීම මීට ප්‍රධාන වශයෙන් හේතු වූ අතර, එමඟින් ජාතික ආර්ථිකයේ කේන්ද්‍රීය අංශයකට සහය වීම සඳහා බැංකුව දක්වන නිරන්තර කැපවීම මැනැවින් පිළිබිඹු වේ. මෙම වර්ධනයට සමගාමීව බැංකුව ශක්තිමත් වත්කම් ගුණාත්මකභාවයක් පවත්වා ගත් අතර, එහි අදියර 3 අපහායන ණය අනුපාතය (Net Impairment Ratio – NPA) පළමු කාර්තුව අවසානයේ පැවති 1.2% සිට 1.1% දක්වා වැඩිදියුණු විය. ක්ෂේත්‍රයේ අඩුම අදියර 3 අපහායන ණය අනුපාත මට්ටමක් වන මෙය, අමානා බැංකුවේ සුවිශේෂී සංවර්ධන කේන්ද්‍රීය සහ මානුෂ හිතවාදී බැංකුකරණ ප්‍රවේශය මූලික කරගත් විචක්ෂණශීලී අවදානම් කළමනාකරණය සහ ශක්තිමත් ණය ඇගයීම් විධිවිධාන මැනැවින් පිළිබිඹු කරයි. බැංකුවේ ගනුදෙනුකරුවන්ගේ තැන්පතු (Customer Deposits) පළමු අර්ධ වර්ෂය තුළ 5% කින් වර්ධනය වී රු. බිලියන 180.4 ක් බවට පත්වූ අතර, ජංගම ගිණුම් හා ඉතුරුම් ගිණුම් අනුපාතය (CASA ratio) අතින් ක්ෂේත්‍රයේ ඉහළම මට්ටමක් වන  45.2% ක අනුපාතයක් අඛණ්ඩව පවත්වා ගැනීමට බැංකුවට හැකි වී තිබේ.

තවද දෙවැනි කාර්තුව තුළදී බැංකුව සිය නව ප්‍රධාන කාර්යාල පරිශ්‍රය රු. බිලියන 2.7 කට මිලදීගත් අතර, එහි ප්‍රතිඵලයක් ලෙස බැංකුවේ සමස්ත වත්කම් වටිනාකම රු. බිලියන 215.2ක් දක්වා ඉහළ ගියේය. මෙය වසරේ පළමු මාස 6 තුළ 5% ක වර්ධනයකි. 2026 ජූනි 30 වන විට බැංකුවේ කොටසක වෙළෙඳ මිල රු. 26.80 ක් වූ අතර, එය බැංකුවේ කොටසකට ශුද්ධ වත්කම් වටිනාකම (Net Asset Value Per Share) වන රු. 47.30 ට සාපේක්ෂව 43% ක අවප්‍රමාණයකි.

ලාභදායීත්වය අඛණ්ඩව ඉහළ යාමේ ප්‍රවණතාවත් සමඟ, බැංකුවේ හිමිකම් මත ප්‍රතිලාභය (Return on Equity – ROE) 2026 පළමු කාර්තුවේ පැවති 8.1% ට සහ 2025 පළමු අර්ධ වර්ෂයේ පැවති 7.8% ට සාපේක්ෂව විට 8.9% දක්වා වැඩිදියුණු වී ඇති අතර, වත්කම් මත ප්‍රතිලාභය (Return on Assets – ROA) 1.8% ක් විය.

මෑතකදී දේපළ මිලදීගැනීමක් සිදු වුවද, බැංකුවේ ප්‍රාග්ධන තත්ත්වය ඉතා යහපත් මට්ටමක පැවති අතර, පොදු කොටස් පළමු පෙළ ප්‍රාග්ධන අනුපාතය (Common Equity Tier 1 Capital Ratio) 12.4% ක් ලෙසද, සමස්ත ප්‍රාග්ධන අනුපාතය (Total Capital Ratio) 13.8% ක් ලෙසද වාර්තා විය. එම අනුපාත පිළිවෙළින් 7% සහ 12.5% වන අවම නියාමන මට්ටම්වලට පැහැදිලිවම ඉහළින් පවතින අතර, එමඟින් බැංකුවේ මූල්‍ය ශක්තිය සහ ස්ථාවරත්වය මැනැවින් පිළිබිඹු වේ.

2026 පළමු අර්ධ වර්ෂය අවසානයේදී ද්‍රවශීලතා ආරක්ෂිත මට්ටම් (Liquidity buffers) ද ශක්තිමත්ව පැවතිණි. රුපියල් සඳහා සහ සියලු මුදල් වර්ග සඳහා ද්‍රවශීලතා ආවරණ අනුපාත (Liquidity Coverage Ratios) පිළිවෙළින් 321.8% ක් සහ 206.6% ක් වූ අතර, ශුද්ධ ස්ථාවර අරමුදල් සම්පාදන අනුපාතය (Net Stable Funding Ratio) 144.2%ක් විය. මෙම සියලු අනුපාත 100% ක් වන අවම නියාමන අවශ්‍යතාවන්ට වඩා ඉහළින් පවතී.

අමානා බැංකුවේ මධ්‍ය වාර්ෂික කාර්යසාධනය පිළිබඳව අදහස් දක්වමින් එහි සභාපති අස්ගි අක්බරලි මහතා මෙසේ පැවසීය:

“අමානා බැංකුව සිය 15 වැනි සංවත්සරය සමරන 2026 වර්ෂයේ පළමු මාස 6 තුළ වාර්තා වූ මෙම ශක්තිමත් කාර්යසාධනය, වසර ගණනාවක් පුරා අප අත්කරගත් ප්‍රගතිය සහ අප විසින් ගොඩනංවාගෙන ඇති ශක්තිමත් පදනම මනාව පිළිබිඹු කරනවා. අපගේ වර්ධනය තුළින් ගනුදෙනුකරුවන්ට, ව්‍යාපාරවලට සහ ප්‍රජාවන්ට අත්වැලක් වීමට මෙන්ම, අපගේ පාර්ශ්වකරුවන් සියලු දෙනා වෙනුවෙන් තිරසාර වටිනාකම් නිර්මාණය කිරීමට හැකි වීම මට මහත් සතුටක්. අපගේ ගමනේ මීළඟ පරිච්ඡේදයට පිවිසෙන මේ මොහොතේ, මෙම වර්ධන ප්‍රවණතාව තවදුරටත් පවත්වා ගනිමින්, සංවර්ධනය කේන්ද්‍ර කරගත් සහ මානුෂ හිතවාදී බැංකුකරණ ප්‍රවේශය ඔස්සේ අඛණ්ඩව ඉදිරියට යාම අපගේ අරමුණයි.”

අමානා බැංකුවේ අර්ධ වාර්ෂික කාර්යසාධනය පිළිබඳව අදහස් දක්වමින් කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී මොහොමඩ් අස්මීර් මහතා මෙසේ පැවසීය:

“2026 වර්ෂයේ ප්‍රථම අර්ධ වාර්ෂික කාර්යසාධනය, අපගේ ව්‍යාපාර ආකෘතියේ අඛණ්ඩ සාර්ථකත්වය මෙන්ම බැංකුකරණයේදී අප අනුගමනය කරන සුවිශේෂී ප්‍රවේශය මඟින් ලැබී තිබෙන යහපත් ප්‍රතිඵල මැනැවින් පිළිබිඹු කරනවා. පාරිභෝගික, සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සහ ආයතනික යන අංශවල ගනුදෙනුකරුවන්ට මෙන්ම ව්‍යවසායකයන්ට හා ප්‍රජාවන්ට අඛණ්ඩව අත්වැලක් වෙමින්, ශක්තිමත් වත්කම් ගුණාත්මකභාවයක් පවත්වා ගන්නා අතරම මෙහෙයුම් කාර්යක්ෂමතාව තවදුරටත් ශක්තිමත් කරගනිමින් මෙම වර්ධනය අත්කර ගැනීමට හැකිවීම අපට මහත් සතුටක්. අපගේ 15 වැනි සංවත්සරය සමරන මේ මොහොතේ, බැංකුවේ දිශානතිය පිළිබඳව මෙන්ම වසර ගණනාවක් පුරා ගොඩනංවාගත් ශක්තිමත් පදනම ඔස්සේ නොනැවතී ඉදිරියට යාමට අපට ඇති හැකියාව පිළිබඳව අප තුළ ඇති විශ්වාසය, මෙම ප්‍රතිඵල මඟින් තවදුරටත් ශක්තිමත් වී තිබෙනවා. අපගේ නව ආයතනික කාර්යාල පරිශ්‍රය මිලදීගැනීම සහ ඉන් අනතුරුව, මීට පෙර අප සතුව තිබූ දේපළ අලෙවි කිරීම සම්බන්ධයෙන් අධ්‍යක්ෂ මණ්ඩලය අනුමත කළ සැලැස්ම, බැංකුවේ මූල්‍ය තත්ත්වය ශක්තිමත් කිරීමට ධනාත්මක දායකත්වයක් ලබා දෙනු ඇතැයි අප බලාපොරොත්තු වනවා.”

අමානා බැංකුවේ ප්‍රධාන පාර්ශ්වකරුවන්ට ස්තුතිය පළ කරමින් අස්මීර් මහතා වැඩිදුරටත් මෙසේ පැවසීය:

“අපගේ ගනුදෙනුකරුවන් සහ කොටස් හිමියන් අප කෙරෙහි තැබූ විශ්වාසයටත්, අධ්‍යක්ෂ මණ්ඩලයේ සහ ෂරියා අධීක්ෂණ මණ්ඩලයේ විශේෂඥ දැනුම හා මඟපෙන්වීමටත්, නියාමන ආයතන ලබා දෙන අධීක්ෂණ දයකත්වයටත්, මෙම ප්‍රතිඵල වාර්තා ළඟා කරගැනීම සඳහා ඉමහත් අධිෂ්ඨානයෙන් කැප වුණු අපගේ කාර්ය මණ්ඩලයටත් මගේ ස්තූතිය පළකිරීමට මා මෙය අවස්ථාවක් කරගන්නවා. වසරේ ඉතිරි කාලය තුළ මෙම වර්ධනීය ප්‍රවණතාව අඛණ්ඩව පවත්වා ගනිමින්, ‘සංවර්ධනයට අත්වැලක්, ඉසුරුමත් ජීවිතයක්’ යන අපගේ මෙහෙවර වෙනුවෙන් තවදුරටත් කැපවීම අපගේ ඉලක්කයයි.”

අමානා බැංකුව (Amana Bank PLC) යනු ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍රලාභී, කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත ස්වාධීන බැංකුවකි. ජෙඩාහි මූලස්ථානය පිහිටි IsDB Group එහි ප්‍රධාන කොටස් හිමියා වේ. IsDB Group යනු සාමාජික රටවල් 57 ක් සහ ‘AAA’ ශ්‍රේණිගත කිරීමක් සහිත, බහුජාතික (Supra-National) සහ බහුපාර්ශ්වීය සංවර්ධන මූල්‍ය ආයතනයකි.

2026 අගෝස්තු 01 දින සිය 15 වැනි සංවත්සරය සැමරූ අමානා බැංකුව, දිවයින පුරා පිහිටි ශාඛා සහ ස්වයං බැංකුකරණ මධ්‍යස්ථාන 80 කට වැඩි ජාලයක් හරහා ගනුදෙනුකරුවන් 500,000කට අධික පිරිසකට  සේවා සපයයි. මේ දක්වා අමානා බැංකුව අත්කරගෙන තිබෙන කැපීපෙනෙන වර්ධනය, සංවර්ධන කේන්ද්‍රීය සහ මානුෂ හිතවාදී බැංකුකරණ ප්‍රවේශයක් හරහා සිය ගනුදෙනුකරුවන්ගේ සංවර්ධනයට අත්වැලක් වෙමින් ඔවුන්ට ඉසුරුමත් ජීවිතයක් උදාකර දීමට බැංකුව දක්වන කැපවීම පිළිබිඹු කරයි. පොලී රහිත බැංකුකරණයේ පුරෝගාමියෙකු ලෙස අමානා බැංකුව සතු පිළිගැනීම තවදුරටත් තහවුරු කරමින් The Asian Banker විසින් එය ලොව ප්‍රබලතම ඉස්ලාමීය බැංකු 50 අතරට නම් කර තිබේ.

අමානා බැංකුව සතුව වෙනත් උප සමාගම්, හවුල්කාර සමාගම් හෝ අනුබද්ධ සමාගම් නොමැති අතර, එය OrphanCare භාරයේ ආරම්භක අනුග්‍රාහකයා ලෙස කටයුතු කරයි.



ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

one × 4 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව