
මෙරට ප්‍රමුඛතම විවිධාංගිකරණය වූ ව්‍යාපාරික සමූහයක් වන SMS Holdings සමාගමේ 25 වන සංවත්සරය පසුගිය දා අභිමානවත්ව සමරන ලදී. මීට වසර 25කට පෙර නිවසක් ඉදිකිරීමේ දී ඇති වූ සරල නිරීක්ෂණයකින් පාදක කරගනිමින් ආරම්භ කරන ලද SMS Holdings හි ගමන, අද වන විට මෙරට දැවැන්ත ව්‍යාපාරයක් බවට පත්ව ඇත. ගෙමිදුල් ඇතුරුම් ගල් (paving stones) නිෂ්පාදනයෙන් ආරම්භ වී, ගුණාත්මකභාවය, නවෝත්පාදනය සහ තිරසාර ජාතික සංවර්ධනය කෙරෙහි වූ කැපවීම මුල් කරගනිමින් ඉදිකිරීම්, ඉංජිනේරු විද්‍යාව, භූ දර්ශන නිර්මාණය (landscaping), වතු වගාව, ආගන්තුක සත්කාර, නිෂ්පාදන සහ අපනයන යන ක්ෂේත්‍රයන් දක්වා ව්‍යාප්ත වූ සුවිශේෂී ව්‍යවසායකත්ව ගමනක් ඔවුන් පැමිණ ඇත.
පසුගිය කාල පරිච්ඡේදය පුරා සිය ව්‍යාපාරික සමූහයේ ආරම්භක මූලධර්මයන් වන උසස් ගුණාත්මකභාවය, විශ්වාසනීයත්වය සහ පාරිභෝගික තෘප්තිය ඉහළින්ම රැකගනිමින්, නවෝත්පාදනයන් වැළඳ ගැනීමටත්,මානව සම්පත වෙනුවෙන් ආයෝජනය කිරීමට මෙන්ම නව ක්ෂේත්‍රයන් වෙත සාර්ථකව අවතීර්ණ වෙමින් අඛණ්ඩව වර්ධනය වීමට සමාගම කටයුතු කර තිබේ.
ව්‍යවසායක ෂෙහාන් සෙනෙවිරත්න මහතා විසින් ආරම්භ කරන ලද SMS Holdings සමාගම ආනයනික නිෂ්පාදනවල ගුණාත්මකභාවයට සහ කල්පැවැත්මට අභියෝග කළ හැකි දේශීය නිෂ්පාදන නිර්මාණය කිරීමේ සරල මෙන්ම අභියෝගාත්මක දැක්ම පදනම් කරගනිමින් ගොඩනංවා තිබේ. සිය නිවසේ ඉදිකිරීම් කටයුතු අවස්ථාවක දී උසස් තත්ත්වයේ ගෙමිදුල් ඇතුරුම් විසඳුම් නොමැති වීම පිළිබඳ නිරීක්ෂණය කළ සෙනෙවිරත්න මහතා, ශ්‍රී ලාංකේය නිෂ්පාදන ක්ෂේත්‍රයට ශක්තියක් වෙමින් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල ගෝලීය මට්ටමේ ගෙමිදුල් ඇතුරුම් නිෂ්පාදන සංවර්ධනය කිරීම සඳහා ඇති අවස්ථාව හඳුනා ගත්තේය.
පසුගිය දශක දෙකහමාරක කාලය තුළ, එම අරමුණ සිය ආරම්භක සීමාවන්ගෙන් ඔබ්බට ක්‍රමානුකූලව ව්‍යාප්ත විය. SMS Holdings ශ්‍රී ලංකාව පුරා රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ ව්‍යාපෘති රැසක විශ්වාසනීය සහකරුවෙකු බවට පත්ව ඇති අතර, කැපී පෙනෙන යටිතල පහසුකම්, ඉංජිනේරු සහ භූ දර්ශන නිර්මාණ ව්‍යාපෘති සාර්ථකව නිම කරමින්, වතු වගාව, ආගන්තුක සත්කාර, අපනයන සහ ඉහළ වටිනාකමකින් යුත් නිෂ්පාදන වැනි නව ක්ෂේත්‍රයන් වෙත ද සාර්ථකව විවිධාංගීකරණය වී ඇත.
අඛණ්ඩව උසස් ගුණාත්මකභාවයක් පවත්වා ගැනීම, දිගුකාලීන සබඳතා ගොඩනඟා ගැනීම සහ වර්ධනයේ සෑම අදියරකදීම නවෝත්පාදනයන් වැළඳ ගැනීම සමාගමේ සාර්ථකත්වයට ඉවහල් වී තිබේ. මෙම කැපවීම ඔස්සේ ISO 9001, ISO 14001, ISO 45001, ISO 22000, HACCP, GMP සහ එහි ප්‍රමුඛතම කුරුඳු නිෂ්පාදන සඳහා හිමි ජාත්‍යන්තර Protected Geographical Indication (PGI) සහතිකය ඇතුළුව ක්ෂේත්‍රයේ පිළිගත් ජාත්‍යන්තර ප්‍රමිති සහතික සහ සම්මාන 38කට අධික සංඛ්‍යාවක් හිමි කර ගැනීමට SMS Holdings සමත් වී ඇත.
මේ පිළිබඳව අදහස් දක්වමින් SMS Holdings හි නිර්මාතෘ මෙන්ම කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී, ෂෙහාන් සෙනෙවිරත්න මහතා මෙසේ සඳහන් කළේය. “ලොව හොඳම නිෂ්පාදනයන්ට සමාන නිෂ්පාදනයන් ශ්‍රී ලාංකේය ව්‍යාපාරවලට ද නිමවිය හැකි බව විශ්වාස කරමින් මීට වසර 25කට පෙර අපි මෙම ව්‍යාපාරය ආරම්භ කළා. එදා සිට අප ලබා ඇති සෑම ජයග්‍රහණයක්ම ලබා ගැනීම සඳහා අපගේ සේවකයන්ගේ කැපවීම, අපගේ පාරිභෝගිකයන්ගේ විශ්වාසය, අපගේ පාර්ශවකරුවන්ගේ සහයෝගය සහ මෙම ගමනේ කොටස්කරුවන් වූ සෑම දෙනාගේම විශ්වාසය බෙහෙවින් උපකාරී වුණා. මෙම සංවත්සරය අප ආයතනයේ අතීතය ස්මරණය කරන සැමරුමක් මෙන්ම, ශ්‍රී ලංකාව වෙනුවෙන් තිරසාර වටිනාකමක් නිර්මාණය කරන ව්‍යාපාර තවදුරටත් ගොඩනඟමින්, ජාත්‍යන්තර වෙළඳපොළට සැබෑ ශ්‍රී ලාංකේය නිෂ්පාදන හඳුන්වා දීම සඳහා සිදුකළ කැපවීම ඉස්මතු කරන මනා අවස්ථාවක්. ”
මානව සම්පත සෑම විටම සමාගමේ වර්ධනය කෙරෙහි ඉහළ දායකත්වයක් සැපයූ සමාගමේ හදවත වූ අතර, වසර ගණනාවක් පුරා සමාගම සමඟ එකට එක්ව තම වෘත්තීය ජීවිතය වර්ධනය කරගත් සේවකයන් රැසක් SMS Holdings සමඟ අත්වැල් බැඳගෙන සිටිති. මානව සම්පත, ශක්තිමත් සබඳතා සහ විශිෂ්ටත්වය උදෙසා වන පොදු කැපවීම තිරසාර සාර්ථකත්වය ගොඩනංවන බලගතු සාධකයන් බව හඳුනා ගනිමින් SMS Holdings සිය කාර්ය මණ්ඩලය වෙනුවෙන් අඛණ්ඩව ආයෝජනය කරයි.
එහි අඛණ්ඩ වර්ධනයේ පියවරක් ලෙස, සමූහය වතු වගාව, ආගන්තුක සත්කාර, ඉහළ වටිනාකමකින් යුත් නිෂ්පාදන සහ අපනයන ක්ෂේත්‍රයන් වෙත විවිධාංගීකරණය වී ඇති අතර, ඕස්ට්‍රේලියාවේ සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ (UAE) මෙහෙයුම් කටයුතු ආරම්භ කරමින් සිය ජාත්‍යන්තර ව්‍යාප්තිය තහවුරු කර ඇත. එහි ප්‍රමුඛතම කුරුඳු සන්නාමය වන ‘Cinnalon’ හරහා, SMS Holdings සමාගම සැබෑ ලංකා කුරුඳු සහ අනෙකුත් ශ්‍රී ලාංකේය නිෂ්පාදන ගෝලීය වෙළඳපොළට හඳුන්වා දෙමින්, උසස් තත්ත්වයේ අපනයන නිෂ්පාදන සඳහා ශ්‍රී ලංකාවට ඇති කීර්තිනාමය තවදුරටත් සවිමත් කරයි.
අනාගත දැක්ම සමඟින් SMS Holdings, රැකියා උත්පාදනය, දේශීය නිෂ්පාදන සහ ආර්ථික සංවර්ධනයට අඛණ්ඩව දායක වන අතර නවෝත්පාදනයන් මෙහෙයවීම, ජාත්‍යන්තරව ව්‍යාප්ත වීම සහ ගෝලීය වශයෙන් පිළිගත් ශ්‍රී ලාංකේය සන්නාමයන් නිර්මාණය කිරීම කෙරෙහි ද සිය අවධානය යොමු කර සිටියි. සිය 25 වසරක වර්ධනය සමරන SMS Holdings සමාගම, ව්‍යවසායකත්ව දැක්ම, ගුණාත්මකභාවය වෙනුවෙන් වූ නොසැලෙන කැපවීම සහ ශ්‍රී ලංකාවට මෙන්ම ලෝකයට ද තිරසාර වටිනාකමක් නිර්මාණය කිරීමේ අභිප්‍රාය තුළින් ලබාගත හැකි සාර්ථකත්වය සඳහා කදිම නිදසුනකි


